පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ 04, බම්බලපිටිය ප්රදේශයේ පිහිටි අවන්හලකට රු.1,000,000/-ක (රුපියල් මිලියනයක) දඩයක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) විසින් නියම කර ඇත.
අදාළ නඩුව Simple Chopstiks (Pvt) Ltd, අංක 716, ගාලු පාර, කොළඹ 04 යන ආයතනයට එරෙහිව පවරා තිබූ අතර, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කර ඇත.
වරද කුමක්ද?
අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළකර ඇති නියෝග අංක 96 අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා වන බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රු.80/- කි.
එහෙත් මෙම අවන්හල විසින් මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු.100/-කට, එනම් නියමිත උපරිම සිල්ලර මිලට වඩා රු.20/-ක් වැඩියෙන් අලෙවි කර තිබීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත.
පාරිභෝගිකයින්ට වැදගත් පණිවිඩයක් – අවන්හලක, හෝටලයක හෝ වෙනත් වෙළෙඳ ස්ථානයකදී මිලදී ගත්තද, උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බෝතල් කළ පානීය ජලය එම මිල ඉක්මවා අලෙවි කළ නොහැක. එබැවින් ජල බෝතලයක් මිලදී ගැනීමේදී බෝතලයේ සඳහන් මිල සහ බිල්පතේ අය කර ඇති මිල පරීක්ෂා කරන්න. වැඩිපුර මුදලක් අය කර ඇත්නම් බිල්පත හෝ රිසිට්පත සුරක්ෂිතව තබාගන්න.
ආපනශාලා, හෝටල් සහ වෙළෙඳ ප්රජාවට – ගැසට් පත්ර මඟින් උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ එම මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්රියාමාර්ග ගනු ලැබේ.
එවැනි අලෙවියක් පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.














