22 වැනි සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය: කතානායකගේ නිල නිවේදනය

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එම නිවේදනය පහත පරිදි වේ;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව,

• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.

• “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු “හැට හතට එලඹෙන දිනය” යන වාක්‍ය ඛණ්ඩය, “හැට හත සම්පූර්ණ කළ දිනය” යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය.

• “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතු ය:

“එසේම, පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය.”

ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ;

•”අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website