තොරතුරු රහිත ආනයනික Drypers ඩයපර්ස් අලෙවිය සහ තොග බෙදාහැරීම් කළ කොට්ටාව සහ පිටකොටුවේ ආයතන දෙකකට නුගේගොඩ අධිකරණයෙන් රුපියල් 35,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
වෙළෙඳපොළේ අලෙවි වන ඇතැම් ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයාම හා දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ පසු විපරම් විමර්ශනවලදී අදාළ ඩයපර්ස් සැපයුම් හා බෙදාහැරීමේ මාර්ගය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන ලදී.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස කොට්ටාව සහ පිටකොටුව ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන දෙකක සිදුකළ වැටලීම්වලදී, ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර, විධාන අංක 85 උල්ලංඝනය කරමින්, ආනයනික Drypers වර්ගයේ ළදරු ඩයපර්ස් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සහ තොග වශයෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
අදාළ නඩු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, Diapershop.lk – කොට්ටාව (හොරණ පාර) වෙත තොරතුරු රහිත ඩයපර්ස් සිල්ලර අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රු.10,000/- ක දඩයක්ද, Soy International (Pvt) Ltd – පිටකොටුව (3 වන හරස් වීදිය) වෙත එවැනි ඩයපර්ස් තොග වශයෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් රු.25,000/- ක දඩයක්ද නියම කරන ලදී.
ඒ අනුව ආයතන දෙකට නියම වූ සමස්ත දඩ මුදල රු.35,000/- කි.
පාරිභෝගිකයින්ට:
ළදරු ඩයපර්ස් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු ඇතුළු අදාළ ලේබල් තොරතුරු හොඳින් පරීක්ෂා කරන්න. භාවිතයේදී ඉරීයාම, දිරාපත්වීම හෝ වෙනත් ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇති වුවහොත්, හැකි නම් අදාළ ඇසුරුම සහ බිල්පත සුරක්ෂිතව තබාගෙන පැමිණිලි කරන්න.
වෙළෙඳුන්ට:
අවශ්‍ය ලේබල් හා ආනයනකරුගේ තොරතුරු නොමැති ආනයනික භාණ්ඩ අලෙවියට තැබීමට හෝ බෙදාහැරීමට පෙර ඒවා අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූලද යන්න තහවුරු කරගන්න. භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි බිල්පත් හා ඉන්වොයිසි නිසි ලෙස තබාගන්න.
වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.










