2026 රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත්රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම ගෞරව සම්මාන පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතා ද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මහතා ද මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබූහ.



ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67වෙනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් 50කට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.









