පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) පැවැත්විණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ. 

මෙහිදී  පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ  (පෙර පාසල් අධ්‍යාපන)  කේ.ඩී.ටී විමලසිරි මහත්මිය අදහස් දැක්වූවාය. පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව විෂයමාලා රාමුවට අදාළව පෙර පාසල් ගුරු අත්පොතක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොතක් අගෝස්තු මාසයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමටත් නියමිත බව මෙහිදී අනාවරණය විය. 

එසේම, පෙර පාසල් ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු පුහුණු කිරීමටත්, ඔවුන් මගින් පළාත් මට්ටමින් තවත් පුහුණුකරුවන් 556 දෙනෙකුට පුහුණුව ලබා දීමටත් අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.  ඒ අනුව දැනට හඳුනාගෙන ඇති 35000 කට ආසන්න පෙර පාසල් ගුරුවරුන්ට දින 10 ක පුහුණුවක් ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා දීමට කටයුතු කරන බවටත් ඒ අනුව එකම විෂය රාමුවකට පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් ඇය සඳහන් කළාය.  එසේම, පෙර පාසල් සඳහා ඇගයීම් හා නියාමන රාමුවක් සකස් කිරීමටත්, ලබන වසර වන විට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන  අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ දායකත්වයෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කළ බව ද ඇය සඳහන් කළාය. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීම් අධ්‍යක්ෂිකා නීතීඥ සජීවනි අබේකෝන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  නීති අධ්‍යක්ෂ නීතීඥ ප්‍රීතිකා සකලසූරිය සහ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි යන මහත්මීන් විසින්   ළමා ආ‍රක්ෂාව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය, ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා යෝජිත නීතිමය සංශෝධන, ළමා සංවර්ධනය කෙරෙහි දඬුවම්වල බලපෑම, දඬුවමට ඇති බිය නිසා විනය ආරක්ෂා කිරීමට වෙනුවට ‘ධනාත්මක විනය’ දරුවන්ට පුහුණු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම සිදු කරන ලදී. 

ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ කායික දඬුවම් වැළැක්වීම සඳහා නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරමින් පවතින බවත්,  ජාතික ළමාරක්ෂක අධිකාරිය සිය නියාමන හා සම්බන්ධීකරණ භූමිකාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් කායික දණ්ඩනය අහෝසි කිරීමට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබූ රටක් ලෙස, දරුවන්ට සිදුවන කායික හා මානසික හිංසනය වැළැක්වීමට ජාත්‍යන්තරව බැඳී සිටින බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට දායකත්වය දැක්වූ සියලු පාර්ශ්වයන්ට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය ස්තුතිය පළ කළ අතර   නෛතික සංශෝධන  කිසිදු පාර්ශ්වයක් ඉලක්ක කර ගනිමින් සිදු නොකළ යුතු බව ද පෙන්වා දුන්නාය.   එසේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම පියවර ගන්නා බව ද ඇය අවධාරණය කළාය.

මෙම වැඩපිළිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීමට ලක්වූ අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසිණි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website