2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (ජුනි 30) සිය සහතිකය සටහන් කළේය.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 2026 මැයි මස 19 වන දින පළමුවර කියවන ලද අතර 2026 ජුනි මස 23 වන දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
මෙකි පනත මගින් සාම්ප්‍රදායික මූල්‍ය අංශ මෙන්ම වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය ද ඉලක්ක කර ගනිමින් ජාතික බදු රාමුව නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ. නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම, බදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විකුණුම් පර්යන්ත යන්ත්‍ර (point-of-sale machines) භාවිත කිරීම අනිවාර්ය කිරීම මෙම පනත මගින් හඳුන්වා දෙන ප්‍රතිපාදන අතර වේ.
තව ද, බදු පැහැර හැරීම් සහ වංචනික ලෙස බදු ප්‍රතිලාභ ලබා ගැනීමට එරෙහිව පවතින දඬුවම් විධිවිධාන දැඩි කිරීම මගින් බදු අනුකූලතාවය සහ රාජ්‍ය මූල්‍ය අඛණ්ඩතාව ඉහළ නැංවීමට මෙම පනත මගින් යෝජනා කර ඇත.
එසේම, සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත 2025 ජුලි මස 11 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 ජුනි මස 11 වන දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මෙම පනත මඟින් සිවිල් සහ වාණිජ ආරවුල් සමථකරණය සඳහා විධි විධාන සැලසීමත්, 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත ඉවත් කිරීමත්, ඒ හා සම්බන්ධ හා ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමත් අරමුණු කර ඇත.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පිළිවෙලින් 2026 අංක 13 දරන සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත සහ 2026 අංක 14 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.














