චීන ජාතිකයින් ද ඇතුළු අග්නිදිග කලාපයේ සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන අපරාධවල තියුණු ඉහළ යාමක් ගැන පොලිසිය පසුගිය දා අනතුරු ඇඟවීමක් කළේය. මේ ඒ සම්බන්ධයෙන් කළ විශේෂ විමසුමකි.
‘ඕක කියාපන් කොණ්ඩේ බැන්ඳ චීනෙක්ට’ යම්කිසි පුද්ගලයෙක් විශ්වාස කළ නොහැකි කතාවක් හෝ බොරුවක් කියන විට අදත් මේ ප්‍රකාශය බහුලව භාවිත වෙයි. එහෙත් වර්තමානයේ කොණ්ඩේ බන්ඳ චීනුන් අපට හමුවන්නේ නැත. ඒ වෙනුවෙන් ලංකාවේ කොතැන ගියත් ‘චීනෙක්’ හමුවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
බොහෝ අවස්ථාවල මෙරට තුළ දී චීන ජාතිකයින් හමු වුව ද නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මෙරට තුළ ජීවත් වන චීන ජාතිකයින් සංඛ්‍යාව 3500ක් පමණ වන බව ය. මෙය කිසිසේත් ඉහළ අගයක් ලෙස සැලකිය නොහැකි වන්නේ ගෝලීය වශයෙන් චීන සංක්‍රමණ මීට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා හෙයිනි.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ චිනය දක්වන දායකත්වය සුවිශේෂය, ඉහළය. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව 2025 දී මෙරටට චීන ජාතික සංචාරකයින් 132,035ක් පැමිණි අතර 2025 දී චීනය ශ්‍රී ලංකාවේ ඉහළම සංචාරක මූලාශ්‍ර රටවල් 5 අතරට අඛණ්ඩව ශ්‍රේණිගත විය.

චීන සංචාරකයින්
නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ චිනය දක්වන දායකත්වය සුවිශේෂය, ඉහළය. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව 2025 දී මෙරටට චීන ජාතික සංචාරකයින් 132,035ක් පැමිණි අතර 2025 දී චීනය ශ්‍රී ලංකාවේ ඉහළම සංචාරක මූලාශ්‍ර රටවල් 5 අතරට අඛණ්ඩව ශ්‍රේණිගත විය.
වර්තමානයේ මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද ගැටුම් හමුවේ යුරෝපීය සංචාරක පැමිණීම් 30% – 40%ත් අතර අගයකින් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන වාතාවරණය හමුවේ චීන ජාතික සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටී.
මේ සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ 2026 වර්ෂයේ දී චීන ජාතික සංචාරකයින් 300,000ක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.
“පසුගිය 2025 වසරේ චීන සංචාරකයින් 132,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියා. මේ වසරේ සංචාරකයින් 300,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” ඔහු පැවසුවේය.
මෙරට සංචාරක ව්‍යාපාරය තුළ චීන ජාතිකයින්ගේ කොටස ඉහළ නංවා ගැනීමට සැලසුම් සහ විවිධ ප්‍රවර්ධන ක්රමෝපායන් ක්‍රියාත්මක වන තත්ත්වය තුළ චීන ජාතික සංචාරකයින් සම්බන්ධයෙන් මෙරට තුළ වේගයෙන් ඍණාත්මක ආකල්පයක් වර්ධනය වෙමින් පැවතීම කණස්සල්ලට කරුණකි. එයට හේතුව වන්නේ මෙරට තුළ සිදුවන විවිධ අපරාධ, විශේෂයෙන් සයිබර් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් අතර සැලකිය යුතු පිරිසක් චීන ජාතිකයින් වීමය. එසේම සංචාරක චීසා මත මෙරටට පැමිණ විවිධ අපරාධ සහ අනීතික කටයුතුවල නිරත වන චීන ජාතිකයින් සම්බන්ධයෙන් ද සමාජය තුළ වැඩෙන කණස්සල්ලක් තිබේ.
සංචාරක චීන්නු සහ සයිබර් අපරාධ
ක්‍රමිකව වර්ධනය වන මෙම කණස්සල්ල තව දුරටත් තීව්රර කරන හේතු ගණනාවක් පසුගිය දිනවල වාර්තා විය. ඒ සයිබර් අපරාධ ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් තිස් හත් දෙනෙකු පසුගිය 04 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමත් සමඟය. එමඟින් විදේශීය සයිබර් අපරාධ සංවිධාන ශ්‍රී ලංකාව තුළට ඇතුළුවීමේ හැකියාව පිළිබඳව නව කනස්සල්ලක් මතු විය.
මෙම කණස්සල්ල වර්ධනය කරන තවත් හේතුවක් වූයේ මියන්මාරය, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල කලින් ක්‍රියාකාරීව පැවති සංවිධානාත්මක සයිබර් අපරාධ ජාල දැන් සිය මෙහෙයුම් ශ්‍රී ලංකාවට මාරු කර තිබේ ද යන ප්රශ්නය පැන නැගීම ය. පසුගිය වසර කිහිපය තුළ, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් අග්නිදිග ආසියාව සහ මැද පෙරදිග පුරා ප්‍රධාන වශයෙන් චීන අපරාධ කල්ලි විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ සයිබර් අපරාධ මෙහෙයුම් මර්දනය කිරීමට දැඩි පියවර ගෙන තිබූ අතර එම පීඩනය හමුවේ අපරාධ කල්ලි වඩාත් පහසු සහ නීතියේ හිඩැස් ඇති රටවල් වෙත විතැන් වූ බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් මෙම ලේඛකයා සමඟ අනන්‍යතාව හෙළි නොකිරීමේ පදනම මත තොරතුරු බෙදා ගත් විශේෂඥයෙකු පැවසුවේ ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ සම්බන්ධ නීති ලිහිල් වීම සහ එම අපරාධ මර්දනය සම්බන්ධයෙන් දක්වන අඩු විශේෂඥභාවය සහ තාක්ෂණික හැකියාවන් හේතුවෙන් සයිබර් අපරාධකරුවන්ගේ නවාතැන් පොළක් බවට ශ්‍රී ලංකාව ක්‍රමිකව පත්වෙමින් තිබෙන බවයි.
“වැඩි දුර යන්න අවශ්‍ය නැහැ, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය ගන්න පුළුවන්. මහා භාණ්ඩාගරයෙන් මෙතරම් විශාල මුදලක් වංචා කරන්න පුළුවන් නම් අනෙක් ආයතන ගැන කතා කිරීමත් තේරුමක් නැහැ. එම වංචාව සිදු වුණ අවස්ථාවේ අදාළ ආයතන, විමර්ශන ආයතන සහ ජනමාධ්‍ය ක්‍රියා කළ ආකාරයෙන්ම ලංකාවේ විශේෂඥ ආයතන සතු දැනුම සහ තාක්ෂණය ගැන පහසු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ විෂය සම්බන්ධයෙන් ලංකාව සතුව ප්‍රමාණවත් දැනුමක් සහ සම්පත් නැහැ. ඒ නිසා සයිබර් අපරාධකරුවන්ට මේ රට කෙළිබිමක් වෙලා ඉවරයි. පොලිසියට කරන්න පුළුවන් අත්අඩංගුවට ගැනීම් ගැන තොරතුරු දෙන්න විතරයි. ඊට එහා ගිය දෙයක් කිරීමට තරම් විශේෂඥ දැනුමක් මෙරට ආරක්ෂක අංශ හෝ විමර්ශන අංශ සතුව නැහැ” ඔහු පැවසුවේය.
මෙහි දී ඔහු පැවසුවේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් මිලියන 13,200ක දැවැන්ත මූල්‍ය වංචාව සිදු වූ ආකාරය සහ ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවන ආකාරය පවා මෙරට සයිබර් ආරක්ෂාවේ දුර්වලතා සහ හිඩැස් පෙන්වා දෙන බවයි.
මියන්මාර් සහ ඩුබායි
මේ අතර විශේෂඥයින්ගේ අදහස වන්නේ මියන්මාරයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ සයිබර් අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබේදැයි සොයා බැලිය යුතු බවයි.
“අග්නිදිග ආසියාව සහ මැද පෙරදිග කලාපයේ චීන අපරාධ කල්ලි විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ සයිබර් අපරාධ කල්ලි විසුරුවා හැරීමට පසුගිය කාලයේ විශාල වැඩපිළිවෙළක් දියත් වුණා. මියන්මාරයේ, ආරක්ෂක හමුදා මීට පෙර මයවාඩි කලාපයේ තායි දේශසීමාවේ ක්‍රියාත්මක වූ සයිබර් අපරාධ සංකීර්ණ වැටලූ අතර, ශ්‍රී ලාංකික ජාතිකයන් ඇතුළු වින්දිතයින් විශාල සංඛ්‍යාවක් නිදහස් කර ගත්තා. මීට පෙර ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හි මෙවැනිම සයිබර් අපරාධ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වුණා. 2024 වසර පුරාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සයිබර් අපරාධ මර්දනයට පුළුල් ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස සයිබර් වංචාවලට සම්බන්ධ සිය ගණනක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන කළා. මෙම පසුබිම තුළ මෙම කල්ලි ලංකාවට සංක්‍රමණය විමට සැලකිය යුතු හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් වර්තමානය වන විට මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආරක්ෂක තිප්පොළක් බවට ඩුබායි වැනි මැදපෙරදිග කලාපයේ නගර පත්ව තිබෙනවා. මේ අපරාධකරුවන් සයිබර් අපරාධකරුවන්ට අවශ්‍ය දේශීය පහසුකම් ලබා දෙන්න සහ රැකවරණය ලබා දෙන්න වැඩි අවස්ථාවක් තිබෙනවා. මේ අපරාධ කල්ලි එකිනෙකා යැපෙන හෝ ආරක්ෂා කරන තත්ත්වයක් ද තිබෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට පෙරමුණු කිහිපයක සටන් කිරීමට සිදුවෙනවා. මේක කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි” සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලික උපදේශන සේවයක් කලාපීය වශයෙන් පවත්වා ගෙන යන ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ පැවසුවේය.
මෙහි දී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරික වශයෙන් සයිබර් ආරක්ෂාව සහ අපරාධ සම්බන්ධයෙන් නීති හා ආරක්ෂක හා නියාමන යාන්ත්‍රණ ශක්තිමත් කළ යුතු බවයි.
“මේක කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකි තත්ත්වයක්. ජාතික සංවර්ධන බැංකුව, මහා භාණ්ඩාගාරය කසකරුවන් පමණයි. මීට වඩා දැවැන්ත සයිබර් අපරාධවලට ශ්‍රී ලංකාව පහසුවෙන් නිරාවරණය කළ හැකි නෛතික සහ ආයතනික හිඩැස් ගණනාවක් තිබෙනවා” ඔහු පැවසුවේය.
අමතර ආදායම් වලට ඇති ඉල්ලුම
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අධ්‍යාපනය වෙනුවෙන් අධි ඉල්ලුමක් තිබුණත් ඔවුන්ට ප්‍රමාණවත් රැකියා සහ ආර්ථික අවස්ථා නිර්මාණය නොවීම ද ඉදිරියේ දී සයිබර් අපරාධ වර්ධනය වීමට තවත් උත්තේජනයක් වනු ඇතැයි ආචාර්ය හේවාවිතාරණ පෙන්වා දුන්නේය.
“තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ මාර්ගත රැකියා මේ සඳහා පහසු ඇමක්. ඉතාම පහසුවෙන් තරුණයින් සහ අමතර අදායමක් උපයා ගැනීමේ ආශාවෙන් පසුවන කාන්තාවන් ඇතුළු පිරිස් මේ වෙනුවෙන් ආකර්ෂණය කර ගැනීමට පුළුවන්” ඔහු වැඩි දුරටත් පැවසුවේය.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මීට සති කිහිපයකට පමණ පෙර ප්‍රසිද්ධ කරන ලද මහජන නිවේදනයක් ද ඔහු මෙහි දී උපුටා දැක්වීය.
“පසුගිය අප්‍රේල් 28 වැනිදා පොලිස් මධ්‍ය කොට්ඨාශයට අයත් ෆේස් බුක් පිටුවේ ‘ඔබත් ඔබේ බැංකු ගිණුම් සහ අනන්‍යතාවය මුදලට පාවා දුන් කෙනෙක්ද ? යන ශීර්ෂ පාඨය යටතේ ඉතාම වැදගත් මහජන දැනුවත් කිරීමක් ප්‍රකාශයට පත්කරලා තිබුණා. මෙවැනි මහජන දැනුවත් කිරීම් මේ අවස්ථාවේ ඉතාම වැදගත්” ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

සයිබර් අපරාධ වැඩිවීමට හේතු
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ වේගයෙන් ඉහළ යමින් තිබෙන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම 2019 දී අනතුරු ඇඟවීමක් කර තිබුණේ ය. ඔවුන් පෙන්වා දුන්නේ 2019 දී 596 ක් වූ සිදුවීම්වල තියුණු වැඩිවීමක් 2024 දී 4,300 කට වඩා වැඩි වී ඇති අතර, එමඟින් අපරාධ ක්‍රියාකාරකම්වල අඛණ්ඩ ඉහළ යාමේ ප්‍රවණතාවක් සනාථ වන බවයි. 2025 දී සමාජ මාධ්‍ය අනිසි භාවිතය, මූල්‍ය වංචා සහ තතුබෑම් සම්බන්ධයෙන් පැමිණිලි 12,650කට වඩා වාර්තා වූ අතර, එමඟින් ඩිජිටල් ආරක්ෂාවේ හිඩැස් ඉස්මතු විය.
විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ වර්ධනය වීමට හේතු ගණනාවක් හඳුනා ගෙන ඇත. ඒවා අතර,
- වේගවත් ඩිජිටල්කරණය සහ මාර්ගගත බැංකුකරණය: ඩිජිටල් වේදිකා, ඊ-වාණිජ්‍යය සහ ජංගම මූල්‍ය සේවා මත වැඩි වැඩියෙන් රඳා පැවතීම අපරාධකරුවන්ට ඉලක්ක කර ගැනීම සඳහා විශාල ප්‍රහාරක මතුපිටක් සපයයි.
- ඉහළ සමාජ මාධ්‍ය භාවිතය: ශ්‍රී ලාංකිකයන්ගෙන් 65% කට වඩා සමාජ මාධ්‍ය භාවිතා කරන අතර, එම නිසා ඔවුන් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රාම් වැනි වේදිකාවල ව්‍යාජ ගිණුම් සහ රැකියා වංචා ඇතුළු වංචාවන්ට ගොදුරු වේ.
- අඩු ආරක්ෂක දැනුවත්භාවය: බොහෝ පරිශීලකයින් තතුබෑම්, ස්මිෂිං ගැනීමේ අවදානම් පිළිබඳව අඩු දැනුවත්භාවයකින් යුතු වන අතර එමඟින් සමාජ ඉංජිනේරු විද්‍යාවට ඉහළ සංවේදීතාවයක් ඇති වේ.
- විදේශීය සම්බන්ධිත සංකීර්ණ වංචා: ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව තුළ සිට මාර්ගගත වංචා (ආයෝජන, ආදර සබඳතා සහ දුරස්ථ රැකියා වංචා) සිදු කිරීම සඳහා පුද්ගලයින් බඳවා ගනිමින් සිටී.
- දුර්වල සයිබර් ආරක්ෂණ යටිතල පහසුකම්: සමහර රාජ්‍ය ආයතන ඇතුළු බොහෝ සංවිධාන දුර්වල ජාල ආරක්ෂාව, යල් පැන ගිය පද්ධති සහ සරල මුරපද සමඟ ක්‍රියාත්මක වන අතර එමඟින් ඒවා කප්පම් මෘදුකාංග සහ දත්ත කඩකිරීම් වලට ගොදුරු විය හැකිය.
- දක්ෂ පිරිස් නොමැතිකම: තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සහ විශේෂඥයින්ගේ හිඟය, පරිණාමය වන සයිබර් තර්ජනවලට එරෙහිව ශක්තිමත්, ක්‍රියාශීලී ආරක්ෂාවක් වළක්වයි
පොලිසිය පවසන්නේ කුමක් ද ?
විදේශිකයින්, විශේෂයෙන් චීන ජාතිකයින් විසින් කේන්ද්‍රීය වශයෙන් ක්‍රියාත්මක කරන සයිබර් අපරාධ ඇතුළු අනෙකුත් අනීතික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි. ආගමික – විගාමික පනත උල්ලංඝනය කිරීම මෙන්ම පරිගණක අපරාධ සම්බන්ධයෙන් මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
“2026 ජනවාරී 01 වැනිදා සිට මැයි 05 වැනිදා දක්වා විවිධ වූ අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් විදේශිකයින් අතර ඉන්දීය, චීන, වියට්නාම, පිලිපීන, මියන්මාර් සහ කාම්බෝජ ජාතිකයින් සිටිනවා. කුරුඳුවත්ත, ගල්කිස්ස, මිගමුව, පෝද්දල, හලාවත, කොස්වත්ත යන ප්‍රදේශවලින් තමයි මේ අත්අඩංගුවට ගැනිම් සිදු වුණේ”
ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන සයිබර් අපරාධ රැල්ල හමුවේ පුරවැසියන්ගේ වගකීම ද අවධාරණය කිරීමට මෙහි දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පියවර ගත්තේය. ඔහු මෙහි දී දැඩිව අනතුරු ඇඟවූයේ විදේශිකයින්ට නිවාස, හෝටල් ඇතුළු වත්කම් බද්දට හෝ කුලියට දෙන පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතු බවයි.
“මේ සම්බන්ධයෙන් අපි මහජනතාවට දැනුවත් කිරීමක් කළ යුතුයි. නිවසක්, හෝටලයක්, මහල් නිවාසයක් හෝ වාහනයක් ආදිය කුලියට ලබා දෙන්නේ නම් ජනතාව ඒ පිළිබඳව විචක්ෂණශීලීව කටයුතු කළ යුතුයි. ඔබ ඒ ගැන උනන්දු නොවන්නේ නම් සිදුවෙන්නේ මෙම විදේශිකයින් ඔබේ දේපොළේ සිට යම් කිසි අනීතික හෝ සමාජ විරෝධී කටයුතුවල නිරත වීමයි. යම්කිසි අවස්ථාවක එවැනි කටයුත්තක් අධිකරණයමය ක්‍රියාවලියකට යොමු වුණොත් ඔබත් එහි, එසේ නොමැති නම් මෙම අනීතික කටයුතු වල කොටස්කරුවෙකු වෙන්න පුළුවන්. ඒ නිසා අපි සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා ඔබගේ නිවසක්, හෝටලයක් හෝ වෙනත් දේපොළක් යම්කිසි පාර්ශ්වයකට කුලියට හෝ බද්දට දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබ පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. විශේෂයෙන් පොලිස් ආඥාපනත අනුව එවැනි තොරතුරක් ලබාදීමට ඔබ නීතියෙන් බැඳී සිටිනවා. ඔබ එසේ නොකරන්නේ නම් ඔබේ දේපොළ තුළ යම්කිසි අනීතික දෙයක් සිදු වුණොත් ඔබත් එහි වැරදිකරුවෙක්, පාර්ශ්වකරුවෙක් වෙනවා”. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 10 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















