ගොවිජන මන්දිර පරිශ්‍රයේ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ “ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය” අද (06) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා සමස්ත චීන කාන්තා සම්මේලනය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත භාණ්ඩ සහ උපකරණ රැසක් ප්‍රදානය කර තිබේ.

“Little Roots” නමින් පෙර පාසලක් ද මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර ඇති අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ සමූහ ව්‍යාපෘතියක් ලෙස මෙය සංවර්ධනය කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අමාත්‍යාංශ සහ රජයේ ආයතන රැසක් පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ පහසුව සඳහා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ. මුල් අදියරේදී එය පාර්ලිමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලයේ දරුවන් සඳහා විවෘත කෙරෙන අතර, ඉදිරියේදී තවත් පුළුල් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් Ms. Ji Lili සහ Mr. Jiang Chang යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website