ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා මැයි 03 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එම සංචාරය අතරතුර දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ආරක්ෂක, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ලේඛනාරක්ෂක සහ තරුණ හා ක්‍රීඩා යන ක්ෂේත්රවල පුහුණු වැඩසටහන්, කාර්යමණ්ඩල හුවමාරු, ඒකාබද්ධ පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධනය වැනි කටයුතු සඳහා දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීමට මෙම ගිවිසුම් හරහා අපේක්ෂා කෙරේ.
මෙම පියවර මඟින් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් ඊට අදාළ වැඩසටහන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු ඊයේ (අප්‍රේල් 27) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
2026 මැයි 08 සිකුරාදා පෙ.ව. 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත











