


අපගේ ආරාධනාව පිළිගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට එම සාම මෙහෙවරේ යෙදීම පිළිබඳ මම පළමුකොටම අපේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනමනවා. එමෙන්ම එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනැමිය යුතුයි.
සාමයේ වටිනාකම පිළිබඳව ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් තිබෙනවා. අපි දිගුකාලීන යුද්ධයේ විනාශාකාරීත්වය පිළිබඳ ඉතා ඛේදනීය අත්දැකීම්වලින් යුත් පිරිසක්. එනම් සාමය කෙතරම් වැදගත්ද, ලෝක සාමය මොනතරම් කාර්යයක් ලෝකය වෙනුවෙන් ඉටු කරයිද කියන බලාපොරොත්තුව අපි සියලුදෙනා තුළ තිබෙනවා. ඒ සඳහා පඤ්ඤකර ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේ දරන වෙහෙස පිළිබඳ අපේ කෘතඥතාව සහ ගෞරවය පුද කළයුතුයි.
ධර්ම පාද චාරිකා ශ්‍රී ලංකාවේ අපිට අලුත් දෙයක් නොවෙයි. එය අපේ සංස්කෘතියේම කොටසක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පළමු අග්‍ර ශ්‍රාවකයන්ට දේශනා කළේ “ චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන්. මම හිතනවා එම බුදු වදන පෙරදැරි කරගනිමින් ලෝකය පුරා වෙසෙන අපේ ගරුතර මහා සංඝරත්නය වසර දහස් ගණනක් එම ධර්ම චාරිකාවේ පොදු ජන හිත සුව පිණිස වැඩම කර තිබෙනවා.
මහිදු මහා රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය අපේ රටේ මහා සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක වුණා. අනතුරුව අපි දන්නවා 17 වන සියවස පමණ වන විට අපේ උපසම්පදා භික්ෂුව අපිට අහිමි වී තිබුණා. ඒ නිසා නැවත ශාසනය පිහිටුවීමේ අභියෝගයට අපි මුහුණ දී තිබුණා. එහිදී අපේ සරණංකර සංඝරාජ මහා හිමියන්ගේ නායකත්වය සහ මැදිහත්වීම මත සියම් දේශයෙන් වැඩම කළ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් අපේ රටේ නැවත භික්ෂු ශාසනය ස්ථාපිත කළා. එය තායිලන්තයේ සිට සිදුකළ චාරිකාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ විශාල ධර්ම චාරිකාවක නිරත වුණා. ධර්ම පොත් පත් ගවේෂණය කරමින්, සංඝයා වහන්සේ පිළිබඳ පැතිරි තිබු දුර්මත ඉවත් කරමින් පොදු ජනයා වෙත ධර්මයේ තිබෙන හරය ගෙන යාමට කටයුතු කළා. ඒ නිසා මේ චාරිකා සහ වැඩම කරවීම් පිළිබඳ අපිට දිගු ඉතිහාසයක් අපිට තිබෙනවා.
අපේ හාමුදුරුවන් වහන්සේලා ගම්, නියම්ගම් කරා අවුරුදු දෙදහසකට වැඩි කාලයක්, තමන්ගේ දෙපා ගෙවෙනවා නම් ගෙවෙන තරමට, තමන්ගේ හඩ වියැකි යනවා නම් වියැකෙන තරමට දේශනා කරමින් ධර්ම චාරිකාවේ යෙදුණා. මම හිතනවා අපේ පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායමේ මෙම පාද චාරිකාව අප රට තුළ අලුත් ධර්ම උද්යෝගයක් නිර්මාණය කළා. විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි අපේ පොදු ජනතාව පිළිබඳ මොනතරම් භක්තියක් සහ විශ්වාසය තිබෙනවාද කියලා මෙම චාරිකාවෙන් සනාථ වුණා. බෞද්ධ ජනතාව ඉතා පිබිදීමකින් මඟ දෙපස රැදි සිටිමින් උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය සහ ආදරය ප්‍රකාශයට පත් කරන අයුරු අපි දුටුවා. එය බුදු දහමේ විමුක්තියේ හරය පොදු ජනතාව තුළ කා වැද්දීමට විශාල ව්‍යායාමයක් වුණා කියලා අපි විශ්වාස කරනවා.
අපේ රටේ ඉතිහාසය දෙස බැලුවොත් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත් සෑම අවස්ථාවකම ආගමික ප්‍රබෝධය අත්පත්කරගෙන තිබෙනවා. ආගමික ප්‍රබෝධය බිඳ වැටුණු සෑම අවස්ථාවකම ආර්ථිකය සහ සමාජය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා අපේ ආර්ථිකය, සමාජය උසස් ලෙස වර්ධනය කරවා නම් ඒ හා සමාන ලෙස නව ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි.
අද අපිට දකින්න තිබෙන දේ, විශාල පරිමාවෙන් නොවුණත් ඉදහිට සිදුවන සිදුවීම් අපේ ආගමික ප්‍රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරනවා. ඒ නිසා විශේෂයෙන් අපේ සියලුම ආගමික නායකයන්ට එම ආගමික සංස්ථාවන්වල ගෞරවය සහ වටිනාකම, ඓතිහාසික උරුමය, ධර්මයේ හරය මේ සියල්ල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙනවා. රජයක් ලෙස අපි ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට සූදානම්.
අපේ රට නිවුණු රටක්, ගැටුම් නොමැති රටක් බවට පත් කර ගැනීමට නම් නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඇතිතරම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන ස්ථාපිත කර තිබෙනවා. ඒ ආයතන සඳහා පහසුකම් සපයා දී තිබෙනවා. හැබැයි රට දැහැමි වී තිබෙනවද? නීතිගරුක වී තිබෙනවද? අපි විශ්වාස කරනවා රට දැහැමි සහ නීතිගරුක කිරීමේදී අපේ ආගමික සංස්ථාවන්වලට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.
අපේ රට සංවර්ධනය සහ සාමකාමී සමාජයක් කරා ගෙන යන ගමනේදී ආගමික ප්‍රබෝධයක සහ ආගමට නැඹුරු වූ සමාජයක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා. සාමය පිළිබඳ කතිකාවේදී අපේ රට ලෝකයට විශාල උදාහරණ ලබා දිය හැකි භූමියක්. යුද ගැටුම්, එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය අවිශ්වාසය ගොඩනැගී තිබුණා. නමුත් අපි රටක් ලෙස ක්‍රමානූකූලව එකිනෙකා අතර වෛරය ක්‍රෝධය. අවිශ්වාසය සමනය කර ගනිමින් සාමකාමී රාජ්‍යයක් සහ එකිනෙකාගේ සංස්කෘතින්වලට ගරුකරන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර රැසක් අත්පත් කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරා බහුතර ජනතාවගේ අපේක්ෂාව සාමයයි. බහුතර ජනතාව සාමය අපේක්ෂා කර තිබියදී ගැටුම් ඇතිවන්නේ කෙසේද, මේ මොහොතේත් ලෝකයේ රාජ්‍යයන් ගණනාවක යුද්ධය පැතිරී තිබෙනවා. අපි සිතුවොත් තාවකාලිකව යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වයක් සිටිනවා කියලා, යුද්ධය තාවකාලීකව ජයග්‍රහණය කළ රටක් පවා කියන්නේ අපිට අවශ්‍ය සාමය කියලයි. එයයි යථාර්ථය. හැබැයි පොදු ජනයා සාමය කෙරෙහි විශ්වාස තබා තිබියදී ඇයි යුද්ධය ඇති වන්නේ. එක පැත්තකින් සාමය ගැන පොදු ජනතාව අපේක්ෂා තබන අතරම, යුද්ධය පිළිබඳ බලඅධිකාරීන් විශ්වාස කරනවා.
සැකයෙන්, අවිශ්වාසයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර රාජ්‍යයක් ජන සමාජයක් පොදු ජනතාව අපේක්ෂා කරන අතර අන්තවාදීන්, කුමන්ත්‍රණකරුවන් අසමගියේ සහ ජාතිවාදයේ ගැටුම් අපේක්ෂා කරනවා. එනම් සාමයට ලැදි මහා ජනතාවක් අභිබවා අතළොස්සක් යුද්ධයේ න්‍යාය පත්‍රය අතට ගෙන මෙහෙයවමින් සිටිනවා. ඒ නිසා අපේ මාතෘ භූමියත්, ලෝකයත් බහුජනයා අපේක්ෂා කරන සාමයේ මාවතට අවතීර්ණ විය යුතුයි.
අපේ පඤ්ඥාකාර ස්වාමීන්වහන්සේත්, අපිත් මේ ව්‍යසනය දකිනවා. මේ ව්‍යසනය ඇතිවීමට හේතුව ලෙස උන්වහන්සේ දේශනා කරනවා සතිය අහිමි වීම. සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමට අසමත්වීම. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවන්හි හරය වන්නේ සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමයි. ඒ සඳහා අපි සියලු දෙනා සමත් වුවහොත් කවර පීඩාවක් මධ්‍යයේ හෝ කවර තර්ජන හෝ අවදානම් මධ්‍යයේ වුවද මිනිසුන් ලෙස සම්මා සතියෙන් කටයුතු කිරීමට සූදානම් නම් අපිට හොඳම දේ කරන්න පුළුවන්. සාමයේදී පළමුවෙන්ම උඩට එන්නේ මනුෂ්‍යත්වයයි. යුද්ධයේදි පළමුව මිය යන්නේ මනුෂ්‍යත්වයයි. ඒ නිසා යළි මනුෂ්‍යයන් ලෙස සම්මා සතියෙන් යුතුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුව තිබෙනවා. එම සම්මා සතිය පිළිබඳ අලුත් කථිකාවක් පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ අපේ රට තුළ ආරම්භ කර තිබෙනවා. මම උන්වහන්සේට අපේ කෘතඥතාව පිරිනමනවා.
මේ රට තමයි ලෝකයේ සාමයේ දිවයින. අපි උත්සාහ කරමින් සිටිනවා මේ රට ලෝකයේ ආදර්ශමත් දිවයින බවට පත් කිරීමට. ධනය, යන්ත්‍රසූත්‍රවලින් අපිට අංක එකට පත්විය නොහැකි වුවත් මනුෂ්‍යත්වයෙන් ලෝකයේ අංක එක බවට පත් විය හැකියි. ඒ සදහා අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් නිරන්තරයෙන් සිදු කරන දේශනා ඉවහල් වෙනවා. ඒ තුළින් අපි සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත්කරමු’යි සියලුදෙනාට ආරාධනා කරමින් අපේ පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නැවත ස්තූතිය පුද කරනවා.














