ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වයි

ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ කිහිපයක්   සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  සාකච්ඡා පවත්වන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමේදී උසස් අධ්‍යාපනය, ආගමික හා සංස්කෘතික ස්ථාන, අබාධ සහිත තැනැත්තන්  සඳහා  ප්‍රවේශ පහසුකම් සහිත නිවාස, ව්‍යවසායකත්වයට ණය ප්‍රවේශය සහ තාක්ෂණික නව නිපැයුම් යන ක්ෂේත්‍ර  සම්බන්දයෙන් ඒක්  එක් අමාත්‍යාංශ  කරුණු ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, 2024/2025 දී ආබාධ සහිත ශිෂ්‍යයන් 143ක් බඳවා ගත් බවත්, 2025/2026 දී එය 203 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රු. මිලියන 25-50 බැගින් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රු. 5,000ක අමතර මාසික දීමනාවක්   ද ලබාදීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීහු පැවසුහ. එමෙන්ම  විශ්වවිද්‍යාල කිහිපයක  වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot study) ක්‍රියාත්මක කරන බව ද ඔවුහු පැවසුහ. එමෙන්ම  විශ්වවිද්‍යාල  සඳහා ස්ථිර සංඥා භාෂා පරිවර්තකවරුන් බඳවා ගැනීමටත්, හදිසි අනතුරු නිසා ආබාධිත වන සිසුන් හඳුනාගෙන ඔවුන්ට රෝද පුටු වැනි ආධාරක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව කටයුතු  සිදු කිරීම සඳහා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දැනටමත් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කර ඇති බව එම අමාත්‍යාංශයේ  නිලධාරීහු පැවැසුහ. මෙහිදී සංසදයේ සභාපතිවරයා ආගමික ස්ථානවලට, විශේෂයෙන් විහාරස්ථානවලට ආබාධ සහිත තැනැත්තන්ට භෞතිකව ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳව පවතින ගැටලු පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ඒ  අනුව ආගමික හා ඓතිහාසික ස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි යටිතල පහසුකම් සැපයීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වෙමින්  එම කටයුතු කිරීමට තීරණය විය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන  අමාත්‍යාංශය බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රු. මිලියන 500ක් වෙන් කර ඇති අතර, 2026 දී නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව  සංසදයේදී අනාවරණය විය. ආබාධ සහිත පිරිසට  ණය දීමේදී විශේෂ ලබාදීමේ  ක්‍රමවේදයක් යොදා  ඇති බවත්  එමෙන්ම  “ආදර්ශ සැලැස්මක්” සකස් කර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන නිවාස ඉදිකිරීමට කටයුතු කිරීමට අමාත්‍යාංශය එකඟ විය.

ආබාධ සහිත තැනැත්තන්ගේ විශේෂ අවශ්‍යතා සලකා බලා සකස් කරන ලද නම්‍යශීලී “ආදර්ශ සැලසුම්”  මත ඔවුන්ගේ නිවාස ඉදිකිරීමට  අමාත්‍යාංශය කටයුතු කිරීමට  සැළසුම්  කරන  බව  අමාත්‍යාංශ නිලධාරීහු සංසදයට දැන්වූහ.

මෙහිදී කරුණු දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ බැංකු සහ ආබාධ සහිත ව්‍යවසායකයන් අතර “විශ්වාසයේ පරතරය” නිසා ණය ලබා ගැනීමට දැඩි අපහසුතා ඇති බවයි. ඒ අනුව, ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන් සඳහා ණය ඇපකර යෝජනා ක්‍රමයක් (Credit Guarantee Scheme) හඳුන්වා දීමේ හැකියාව සොයා බලන ලෙස සභාපතිවරයා  විසින් අමාත්‍යාංශයට උපදෙස් ලබා  දෙන ලදී.

තව ද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නව නිපැයුම් වාණිජකරණය කිරීමේදී ආබාධ සහිත ප්‍රජාව සඳහා පහසුකම් සපයන පර්යේෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසීය. ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය සඳහා පර්යේෂණ කණ්ඩායම් පොළඹවන ලෙසටත්, ඒවා වෙළඳපොළට ගෙන ඒමේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසටත් සංසදය විසින්  අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

ඊට අමතරව තරුණ කටයුතු හා ක්‍රීඩා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක  හා පරිසර  යන  අමාත්‍යාංශයන්  හි නිලධාරිහුද ඔවුන්ගේ අදහස් දැක්වූහ.

ඒ අනුව එක්  එක් අමාත්‍යාංශ මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉහත සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට ද මෙහිදී  සංසදය තීරණය කර  කරන ලදී.   

මෙම රැස්වීම සඳහා  සංසදයේ  නියෝජ්‍ය සම සභාපති (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම් මහතා,සංසදයේ  සාමාජික මන්ත්‍රීවරයන් වන පද්මසිරි බණ්ඩාර, චන්දිම හෙට්ටිආරච්චි සහ සංසදයේ සභාපතිවරයාගේ අවසරය මත  ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, ජගත් මනුවර්ණ යන  මත්වරුන් ඇතුළුව   නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. තවද  ආබාධ සහිත කාන්තාවන්ගේ දේශීය සංසදය, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය, Little People Association, Youth Network with Disabilities (YND) ඇතුළු සංවිධාන වල නියෝජිතයින් සහ  සංසදයේ සභාපති  සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි අබාධිත ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් නිරික්ෂකයින් ලෙස හා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website