රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේ දී ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළබඳව ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ මාලාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්, වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් නිකුත් කර ඇත.
බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වා ගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණය පරිදි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත.
මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ඒ ආශ්‍රිත ගෝලීය ආර්ථික බලපෑම් හේතුවෙන් ඉන්ධන සැපයුම් සීමාවන් ඇතිවීමත් සමඟ කාර්යාල සේවා සීමිතව පවත්වාගෙන යාමට රජය මීට පෙර පියවර ගෙන තිබුණි.
ඒ අනුව රාජ්‍ය ආයතනවල සේවා දුරස්ථව සැපයීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳව මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇති අතර, රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව ද අවධාරණය කර ඇත. ස්කෑන් කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ නිල ඊ-මේල් මගින් හුවමාරු වන ලේඛන වලංගු ලෙස පිළිගන්නා බව ද එහි සඳහන් වේ.
මෙහි දී රජයේ කටයුතු සඳහා හඳුන්වා දුන් meet.gov.lk මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව ප්‍රධාන සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කිරීමට නිර්දේශ කර ඇති අතර, අවශ්‍ය අවස්ථාවලදී වෙනත් වාණිජ වේදිකා සීමිත කාලයක් සඳහා භාවිතා කළ හැකි බවද දක්වා ඇත.
තව ද රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම හා තොරතුරු ආරක්ෂාව තදින් සුරක්ෂිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අප්‍රේල් 23 දිනැති අංක 02/2026 චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













