
මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරට බේකරි කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් සහ බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
ඉන්ධන මිලෙහි බලපෑම: පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ, බේකරි උඳුන් සඳහා ඩීසල් භාවිත කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
තිරිගු පිටි මිල සහ බේකරි නිෂ්පාදන මිල: එළඹෙන අලුත් අවුරුද්ද අවසානය දක්වා පිටි මිල වැඩි නොකරන බවට පිටි සමාගම් එකඟ වී ඇත.
බටර් සහ මාගරින් භාවිතය: සෞඛ්‍යයට හිතකර නොවන ෆාම් ඔයිල් අඩංගු මාගරින් වෙනුවට බටර් භාවිතය දිරිමත් කිරීමට ඇති බාධා ඉවත් කර දෙන ලෙස බේකරි කර්මාන්තකරුවන් ඉල්ලා සිටින ලදී.
බදු සහන: බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඒ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස බේකරි හිමිකරුවන්ට දැනුම් දුනි.
පාරිභෝගිකයාට සහන සැලසීම මෙන්ම දේශීය බේකරි කර්මාන්තය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය අඛණ්ඩව මැදිහත් වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.















