පීඩන අවපාතයට අද සවස මොකද වෙන්නේ ? – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය මෙන්න !

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 ජනවාරි 09 වන දින පෙ.ව. 06.00 වන විට මෙම කාලගුණ පද්ධතිය මඩකලපුව සිට කිලෝමීටර් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවන් මෙම පද්ධතිවය වයඹ දෙසට ගමන් කරමින් අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ජනවාරි 09 වන දින පැයට කිලෝමීටර් 50-60 ත් අතර ඉතා තද සුළං ඇති විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. මීට අමතරව බස්නාහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජනවාරි 10 සහ 11 යන දිනවලදී මෙම සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

වැසි තත්ත්වය සලකා බැලීමේදී මුලතිව්, යාපනය, වවුනියා, මන්නාරම, කිලිනොච්චි, අනුරාධපුර, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සදහන් වේ. අම්පාර, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ට වැඩි තද වැසි හෝ මිලිමීටර් 50-75 අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්දිවයින වටා මුහුද්‍ර ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී ලෙසත් නිවේදනය කර ඇති අතර විශේෂයෙන් උතුරු අක්ෂාංශ 04 – 14 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 76 – 85 ත් අතර මුහුදු කලාපය තුළ යාත්‍රා කිරීම ඉතා අනතුරුදායක වන බැවින් එම කලාපවලට යාමෙන් වැළකී සිටිය යුතු අතර, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බව දන්වා සිටිනු ලැබේ.

එබැවින් ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැඩි සුළං සහ අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි නායයෑම් වැනි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිලි මත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි තාක්ෂණික ආයතන විසින් ලබාදෙන අනතුරු ඇගවීම් සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානයේ 117 දුරකථන අංකයෙන් මේ සම්බන්ධ තොරුතුරු ලබාගන්නා ලෙසත් ජනතාවට දැනුම් දේ.

ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය – 2026-01.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website