2010 වර්ෂයෙන් පසු මෙරට උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද ‘Tobbaco Free Generation’ සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට භාරදීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු යන මහත්වරුන් විසින් මෙම යෝජනාවලිය අමාත්‍යවරයා භාර දුන්හ.
මේ සමඟ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත යාවත්කාලීන කිරිම සඳහා අවශ්‍ය වන සංශෝධන සඳහා වන අදාළ නිර්දේශ ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාරදෙන ලද අතර, මෙම අවස්ථාවන්ට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා ද එක්විය.
දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විද්වත් වෘත්තික සංවිධානය මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරිම සඳහා ගතයුතු ඉතා වැදගත් පියවර 02ක් පෙන්වා දී ඇත.
ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරිම සඳහා සංශෝධන රැගෙන ඒම වන අතර, දෙවැන්න “දුම්කොළ රහිත අනාගත පරපුරක්” යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලුම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරිම සහ තහනම් කිරිමයි. ලෝකයේ බොහෝ රටවල් ද මෙම නීතිය සම්මත කරගෙන ඇත.
මෙහි දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම උදෙසා සිදු කරන කැපවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, දුම්කොළ සහ මධ්‍යසාර දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා වන බාධාවක් බව ද පෙන්වා දුන්නේය.
පනතේ විශේෂ අවස්ථා සහ සංශෝධන පිළිබඳව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දැනුවත් කිරීමට ද මෙහි දී අමාත්‍යවරයා කටයුතු කළේය.
මෙම අවස්ථාව මෙරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් සහ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස තමා දකින බවත්, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අංශ රැසක් මෙම කර්තව්‍ය අවසන් අදියර දක්වාම රැගෙන යාමේ දැවැන්ත අධිෂ්ඨානයක සිටින බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහි දී අමාත්‍යවරයාට පැවැසීය.
ලෝකයේ වර්ෂයකට මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා මියයන බවත්, මේ අතරින් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් සෘජු දුම්කොළ නිෂ්පාදන නිසාත් සියයට 10ක් පමණ අක්‍රීය දුම්පානය නිසා මිය යන බවද පෙන්වා දෙන ලදි. මධ්‍යසාර භාවිතය නිසා ද විශාල ජිවිත ප්‍රමාණයක් අහිමි වනවා මෙන් ම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව ද දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන භාවිතය හේතුවෙන් සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් මෙන් ම පුළුල් සමාජමය බරපතළ ගැටලු රැසකට පත්ව ඇති බවත්, මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000කට ආසන්න බව ද ඔහු පෙන්වා දුන්නේය.
දුම්කොළ හා මධ්‍යසාර වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වන පළමු ප්‍රවේශය බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පැවසුවේය.
සෞඛ්‍ය සේවාව සඳහා වෙන් වන මුදලින් වැඩි ප්‍රමාණයක් දුම්වැටි නිසා රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරිමට වැය වන බව ද ලොව පුරා දුම්වැටි භාවිත කරන පිරිසෙන් සියයට එකක් පමණ ප්‍රමාණයක් පමණක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන බව ද එබැවින් දුම්වැටි නිසා සමාජයට වන අහිතකර බලපෑම වළකාලීම උදෙසා ඇති හොඳම පිළියම දුම්වැටි සමාජය තුළ බහුලවීම වළක්වාලීම සහ ජනතාව පැමිණීම අවම කිරිම බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක අවධාරණය කළේය.
















