
මැදපෙරදිග අර්බුදය ශ්රී ලංකාවේ පොල් අපනයනය කෙරෙහි සීමිත සෘජු බලපෑමක් ඇති කර ඇතත්, නැව්ගත කිරීමේ බාධා සහ භාණ්ඩ ප්රවාහන වියදම් වැඩිවීම මෙම අංශයට මෙහෙයුම් අභියෝග නිර්මාණය කර ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පැවසීය.
අපනයන කෙරෙහි සෘජු බලපෑම සීමිත වුවද, නැව් මාර්ගවලට ඇති වූ බාධා හේතුවෙන් වක්ර බලපෑම් මතු වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ රණතුංග මහතා, “අපේ පොල් නිෂ්පාදනවලින් කුඩා කොටසක් පමණයි මැදපෙරදිගට අපනයනය කරන්නේ. පොල් නිෂ්පාදනවලින් 8%ක් පමණ ඩුබායි වෙළඳපොළට අපනයනය කරනවා, විශේෂයෙන් තැඹිලි සහ ඒ ආශ්රිත පොල් නිෂ්පාදන තමයි ඩුබායි වෙත අපනයනය කරන්නේ. මෙම පසුබිම තුළ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයට මැදපෙරදිග යුද්ධයේ සමස්ත සෘජු බලපෑම 12-14%ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. නමුත් අපනයන කෙරෙහි සෘජු බලපෑම සීමිත වුව ද, නැව් මාර්ගවලට ඇති වූ බාධා හේතුවෙන් වක්ර බලපෑම් මතු වී තිබෙනවා. ඇතැම් නාවික මාර්ග වසා දැමීම සහ මැදපෙරදිග මාර්ග හරහා යාත්රා ගමන් කිරීමට නොහැකි වීම නිසා එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි වෙළඳපොළවල් වෙත ළඟා වීමට පෙර නැව්වලට දිගු විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව තිබෙනවා. එහි ප්රතිඵලයක් ලෙස, නැව් ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා”.
“අපනයන සඳහා බහාලුමක් සඳහා භාණ්ඩ ප්රවාහන පිරිවැය ඩොලර් 1500 ත් 4000 ත් අතර ප්රමාණයකින් වැඩි වී ඇති අතර, මෙම වැඩිවීම අපනයනකරුවන් මත අමතර පීඩනයක් ඇති කර තිබෙනවා. අනෙක් අභියෝගය වන්නේ නැව්ගත කිරීමේ ප්රමාදයන් වන අතර, නියමිත වේලාවට භාණ්ඩ එකතු නොකිරීම සහ සමහර ගැනුම්කරුවන් ඉහළ භාණ්ඩ ප්රවාහන පිරිවැය හේතුවෙන් නැව්ගත කිරීම් මන්දගාමී කිරීමයි. තත්වය කෙසේ සිදුවනු ඇත්දැයි අපට අනාවැකි කිව නොහැකි වුව ද, ඉදිරි සති කිහිපය තුළ එය ස්ථාවර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පැවසීය.
















