2026 අවසන් කාර්තුවේ විදුලි ගාස්තු වැඩිවීම ගැන අවසන් තීන්දුව ලබන සතියේ – මහජන උපයෝගීතා කොමිෂම

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් ඉල්ලා සිටින 2026 වසරේ අවසන් කාර්තුව සඳහා වන යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වු අවසන් තීරණය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වාචික මහජන අදහස් ලබාගැනීම අද(05) දිනයේ සිදුකිරිමට නියමිත බව ද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “2026 වසරේ අවසන් කාර්තුව සඳහා 2.88%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් කළා. අදාළ ඉල්ලීම පිළිබඳව සිදුකළ සමාලෝචනයට අනුව 1.46%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම යෝජනා කර තිබෙනවා. නමුත් ඒ තීරණය ගැනීමට පෙර අද දිනයේ (05) මහජන අදහස් ලබාගැනීමට මහජන උපදේශනයක් සිදුවෙනවා. ඉන් අනතුරුව ඉදිරිපත් වන යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන යෝජිත විදුලි ගාස්තුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නවා. මෙහිදී අදහස් දැක්වීම සඳහා විවිධ පාරිභෝගික කණ්ඩායම්, විදුලිබල ක්ෂේත්‍රයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් 40කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මෙම අදහස් දැක්වීමේ අවස්ථාව පෙරවරු 9.00ට ආරම්භ වී පස්වරු 2.00ට අවසන් වීමට නියමිතයි. මෙහිදී ඉදිරිපත් වන යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් අවසන් තීන්දුව ගන්නවා. ඒ තීන්දුව නොවැම්බර් දෙවැනි සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website