කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (International Finance Corporation – IFC) කලාපීය උප සභාපති Sarvesh Suri මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකාවේ මූල්ය ක්ෂේත්රයේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය තිරසාර හා සියලු දෙනාට ප්රතිලාභ සැලසෙන ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා IFC ආයතනයේ සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, ශ්රී ලංකාවේ උපායමාර්ගික සංවර්ධන ව්යාපෘති සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාවේ දායකත්වය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ ප්රවාහන හා සැපයුiම් (Logistics) ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා අවශ්ය ආයෝජන සහ මූල්ය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය.
සාම්ප්රදායික බැංකුකරණ ක්රමවේදයන්ගෙන් ඔබ්බට ගොස්, රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම ඉලක්ක කරගත් මූල්යකරණ ක්රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාව සමඟ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාවේ කලාපීය අධ්යක්ෂ Manuel Reyes Retana, ලෝක බැංකු සමූහයේ ශ්රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර Gevorg Sargsyn, ලෝක බැංකුවේ කලාප අධ්යක්ෂ David Sislen යන මහත්වරු ඇතුළු තවත් නියෝජිත පිරිසක් එක්විය.








