‘අග්බෝ‘ ඇතා සොයා ත්‍රිවිධ හමුදාවේ සහ වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මෙහෙයුම අදත්

තුවාල ලබා සිටින බවට වාර්තා වන  “අග්බෝ” ඇතා සොයා නාච්චාදූව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වනජීවී දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම අද (19) දිනයේ දීත් ක්‍රියාත්මක විය.

වනජීවී බීටු කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයාගේ සහභාගීත්වයෙන් අද උදෑසනත් ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 56 දෙනෙකු ඇතුළුව 65 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකු සක්‍රීයව දායක වී සිටිති.

මෙහෙයුම ක්‍රියාත්මක වන ප්‍රදේශයේ වන අලින් කිහිපදෙනෙකුම ගැවසෙන බව නිරීක්ෂණය වී ඇති අතර, ඊයේ (18) පස්වරුවේ අග්බෝ ඇතා එම ප්‍රදේශයේ සිටිනු දුටු බවට ප්‍රදේශවාසීන් විසින් තොරතුරු තහවුරු කර ඇත. කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම සිදුකරන ප්‍රදේශය අතිශය විශාල භූමි භාගයක් බැවින් සත්වයා සිටින නිශ්චිත ස්ථානය මෙතෙක් නිරීක්ෂණය කර ගැනීමට නොහැකි වී තිබේ.

සෝදිසි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මේ වන විටත් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් සිටින අතර, ගුවන් හමුදාවේ විශේෂ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ද මෙම මෙහෙයුම සඳහා කඩිනමින් එක්කර ගැනීමට නියමිතව ඇත. අග්බෝ ඇතා නිරීක්ෂණය කර කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අරමුණු කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website