ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන්ට ගෝලීය වෙළෙඳපොළේ ඉහළම පිළිගැනීමක් සහ විශ්වාසයක් දිනාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) සියලුම ප්‍රතීතන ක්‍රමවේදයන්, පරිපාලන හා ගිණුම් පද්ධති පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම ඊයේ (15) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණි.
ගෝලීය ප්‍රතීතන සහයෝගිත සංසදයේ සභාපති බ්‍රහීම් හවුලා මහතා ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රතීතන ආයතන නියෝජිතයින් මෙන්ම ආසියා පැසිෆික් ප්‍රතීතන සහයෝගීතාවයේ නියෝජිතයන් ද එම අවස්ථාවට සහභාගි විය.
එමෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා, වැඩබලන අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චන්දිතා එදිරිවීර මහත්මිය ඇතුළු දෙස් විදෙස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ජාත්‍යන්තර මට්ටමේ සයිබර් ආරක්ෂාවක් සමඟ නව වෙබ් අඩවියක්
මීට සමගාමීව, ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කරන ලද ප්‍රතීතන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ද ජනගත කළ අතර, එමඟින් පාරිභෝගිකයින්ට සහ ආයතනවලට වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත අයුරින් අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
🇺🇳 ලෝක මට්ටමේ ගෝලීය නායකත්වයට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්
සෑම වසරකම ජුනි 09 වනදා ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රතීතන දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ඓතිහාසික යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් පහෙන් එකක් ලෙස එක්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී තිබේ. ඒ අනුව ඕස්ට්‍රේලියාව, පැනමාව, ටියුනීසියාව සහ ඉතාලිය වැනි රටවල් සමඟ එක්ව ශ්‍රී ලංකාව මෙම ගෝලීය වැඩපිළිවෙළට නායකත්වය දෙනු ඇත.
ලාංකීය නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මකභාවය, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශක්තිමත් කරමින්, දේශීය ව්‍යවසායකයාට ගෝලීය වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අරමුණයි.














