යල කන්නය සඳහා රසායනික පොහොර ගොවිජන මධ්‍යස්ථානවලින් පමණයි – ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

2026 යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන මධ්‍යස්ථාන මඟින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

ගොවිජන මධ්‍යස්ථානය සතුව සියලුම ගොවීන්ගේ නම් සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩමේ ප්‍රමාණයට සරිලන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව ද රණතුංග මහතා පැවසුවේය.

මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවේය.

වී වගාකරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ලබා ගත හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේය.

යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website