- ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන පරිපාලනය ආශ්‍රිතව මුහුණ දෙන බාධක, අභියෝග සහ ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
- ධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් සහ අනෙකුත් උපකරණ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
- පසුගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්රිත ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.03.04 සහ 2026.03.05 දිනවල පාර්ලිමේන්තුවේදී රැස්වී කාලීනව අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සිදු විය.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන පරිපාලනය ආශ්‍රිතව මුහුණ දෙන බාධක, අභියෝග සහ ගැටලු, ධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් සහ අනෙකුත් උපකරණ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ගැටලු සහ පසුගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්රිත ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම සියලු වනෝද්‍යාන සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම කාරක සභාව ලෙස මෙම වනෝද්‍යාන වල පවතින ගැටලු හඳුනා ගැනීමට සහ ඒ වෙනුවෙන් විසඳුම් යෝජනා කිරීමට, අදාළ වනෝද්‍යාන නිරීක්ෂණය කොට අවශ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වීමට ද තීරණය කරන ලදි.
එසේම ධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් (මා දැල් ඇතුළු) සහ අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් ද දීර්ඝව කාරක සභාවේ අවධානය යොමු වූ අතර පසුගිය වසර ආශ්‍රිතව ටින් මාලු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස මෙරටට ආනයනය කරන ලද මාලු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදී
තවද පසු ගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්රිත ගැටළු සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මෙහිදී 2023, 2024 සහ 2025 ආශ්‍රිතව මෙරට සම්පූර්ණ වගාබිම් ප්‍රමාණය, වගා කරන ලද ප්‍රමාණය හා වගා නොකරන ලද බිම් වල වගා නොකිරීමට හේතු ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස කාරක ෂබාව විසින් නිර්දේශ කරන ලදි.
මෙම කාරක සභා රැස්වීම් සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.















