IDH රෝහලේ රෝගීන් මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන් / Ondansetron’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව තහවුරුකර ගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයාට මෙම ඖෂධය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා [දෙසැම්බර් 12 ] වට්සැප් මාර්ගයෙන් තොරතුරක් ලැබී ඇති අතර, එහි සඳහන්ව තිබී ඇත්තේ එම ඖෂධයේ විෂබීජයක් අඩංගු බව ය.
“සිකුරාදා [දෙසැම්බර් 12] උදේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂතුමාට දැනගන්නට ලැබුණා වට්සැප් පණිවිඩ මාර්ගයෙන් මේ ඖෂධය තුළ යම්කිසි විෂබීජයක් ඇති බවට තොරතුරක්. මේ තොරතුර ගැන එතුමා හොයලා බලනකොට නුවර ජාතික රෝහලෙන් මෙවැනි තොරතුරක් ලැබුණා, මේ ඖෂධයේ විෂබීජයක් ඇති බවට තොරතුරක්,” විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ය.
ඉන්පසුව, මෙවැනි අවස්ථාවලදී ඖෂධ ඇගයීම සිදු කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ ඖෂධ ඇගයීමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකට එම තොරතුරු යොමු කර, මෙම ඖෂධය ගැන පරීක්ෂණයක් කර තීරණයක් ගන්නා තෙක් එහි කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කරන ලෙසට තීරණය කර තිබේ.
“ඒ කමිටුව මේ ගැන වහා ම සාකච්ඡා කරලා මේකට අදාළව කියලා සැක හිතෙන ඖෂධයේ අදාළ කාණ්ඩ හතරක් වහා ම භාවිතයෙන් ඉවත් කරන්න කියලා තීරණය කරලා ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන්නා. වෛද්‍ය සැපයුම් අංශය රෝහල්වලට දැනුම් දුන්නා,” ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ එම දැනුම්දීම සිදු කරනවිට කිසිඳු මරණයක් වාර්තා වී නොතිබූ බව ය.
මියගිය සඳුමිණී දිව්‍යාංජලී දෙසැම්බර් 13 වන දින අලුයම ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පසුදින, එනම් දෙසැම්බර් 13 වන දින [සෙනසුරාදා] ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටි ඩෙංගු රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරියක් තමා සමග සාකච්ඡා කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
“එතැනදී දැනගන්න ලැබුණා මේ රෝගියාටත් [පළමුව මිය ගිය රෝගියා] ඒ ඖෂධය ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේ ම සිකුරාදා රෑ ඇතුල්වුණු තවත් රෝගියෙකුට, තවත් රෝගීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. එක් රෝගියෙක් පහුවෙනිදා මිය ගියා. එතකොට මේ රෝගීන් දෙන්නටත් මේ ඖෂධය ලබා දීලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා,” ඔහු පවසයි.
සෙනසුරාදා [දෙසැම්බර් 13] අලුයම 12.15ට රෝහලට ඇතුළත් වූ රෝගියාට අදාළ ඖෂධය ලබාදී, රෝග තත්ත්වය සමනය වී රෝහලෙන් පිටව යාමට යාමේදී නැවත වරක් අසාධ්‍ය වීම හේතුවෙන් රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, පසුදින එනම් දෙසැම්බර් 14 උදෑසන 06.00ට රෝගියා මිය ගිය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැවසුවේ ය.
කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ “ඒ ඖෂධ ලබා දීමත් එක්ක මේ මරණ සම්බන්ධ ද කියන සැකය තියෙනවා. ඒ අනුව සොයා බැලීම් කරගෙන යනවා,” යනුවෙන් ය.
බීබීසී සන්දේශය ඇසුරිනි.














