කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (08 දා) රාත්‍රියේදී පැවැති අයර්ලන්තයට එරෙහි තරගයේදී ලකුණු 20 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්වූවේ
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 143කි. ඉනිමේ 15 වැනි පන්දුවාරය ආරම්භ වන විටත් කඩුළු දෙකකට ලකුණු 105 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක සිටි අයර්ලන්ත කණ්ඩායමේ අවසන් කඩුළු 8 ම ලකුණු 38ක් ඇතුළත දැවී ගියේ අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී ඔවුන් සතුවන අත්දැකීම් වල අඩුපාඩුව මැනවින් පෙන්වා දෙමිනි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතරින් රොස් අඩයර් පන්දු 23 කදී වේගවත් ලකුණු 34 ක් සමගින් වේගවත් ආරම්භයක් ලබා ගත්තද වනිදු හසරංග යවන ලද පළමු පන්දුවාරයේදීම ඔහුව දවා ගත්තේය. එහෙත් එම පන්දුවාරය යැවීමෙන් පසු ඔහු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය නමුත් නැවතත් 13 වැනි පන්දුවාරයේ සිටි සිය රාජකාරිය ඇරඹූ දකුණත් පා දඟ පන්දු යවන්නා තම පන්දුවාර 4 අවසන් කරන ලද්දේ ලකුණු 25 ක් ඇතුළත අයර්ලන්ත පිතිකරුවන් තිදෙනකුම දවාලමිනි.
ඔහුට අමතරව මහීෂ් තීක්ෂණ ලකුණු 23 කට කඩුලු 3 ක්ද මතීෂ පතිරණ ලකුණු 26 කට කඩුලු 2 ක් දවාලූහ.
කාසියේ වාසිය අහිමි වුවද පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක පන්දුවාර 6 අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 50 ක් වන අතර ඒ අතරතුරදී කමිල් මිශාර දැවී ගොස් තිබිණ. එකම පන්දුවාරයේදී දවා ගැනීම වෙනුවෙන් උඩ පන්දු දෙකක්ම ලබා දුන් නමුත් අයර්ලන්ත පන්දු රකින්නන් අතින් එය ගිලිහී ගියද එයින් නිසි ප්‍රෙයෝජන ගැනීමට වමත් පිතිකරුවා අසමත්විය.
කමිඳු මෙන්ඩිස් පන්දු 19 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 44 නොවන්නට ශ්‍රී ලංකාව විටෙක ලකුණු 150 සීමාව ඉක්මවා යෑවමද අවධානම් සහගත විය. වගකීම් සහිත පිතිකරුවන් යළිත් දුර්වල වූ නමුත් සිය අන්තය ආරක්ෂා කරගත් කුසල් මෙන්ඩිස් ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ලකුණු 56 ක් ලබා ගනිමිනි. එහෙත් ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 130 ක් පමණ විය.
උඩ පන්දු 7 ක් අතහැර දැමුව ද අයර්ලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට එරෙහිව කෙතරම් හොඳින් යැව්වේද කිවහොත් සමස්ථ ඉනිමේදීම සත්කාරක පිතිකරුවන් එල්ල කිරීමට සමත්ව තිබුණේ හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් පමණි. එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 9 කුත් පන්දු 3 ක් හෙවත් පන්දු 57 ක් ඇතුළත එකම එක හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට අයර්ලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදිණ. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු පන්දුවාර 16 අවසනදී කඩුලු 4 කට ලබා සිටියේ ලකුණු 104 ක් පමණි.
ශ්‍රී ලංකාවට වාසිදායකම පන්දුවාරය වූයේ 17 වැනි සහ 19 වැනි පන්දුවාර වූ අතර එම පන්දු වාරයේදි ලද අතිරේක ලකුණු සමඟ ලකුණු 40 ක් විය. එම පන්දුවාර දෙකේදීම කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් පන්දුවට පහර දුන්නේය. ඒ අනුව ඉනිමේ අවසන් පන්දුවාර 5 දී ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 68 ක් විය.
අවසන් මොහොතේදී ලෝක කුසලාන සංචිතයට එක් වුණු කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරන ලද සුවිහේෂී ඉනිම හේතුවෙන් ඔහුට මෙම තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 163 යි – (පැතුම් නිස්සංක 24, කමිල් මිශාර 14, කුසල් මෙන්ඩිස් 56*, පවන් රත්නායක 05, දුනිත් වෙල්ලාලගේ 10, කමිඳු මෙන්ඩිස් 44, දසුන් ශානක 00 වනිඳු හසරංග 01*, බැරී මැකර්ති 40/2, ජෝර්ජ් ඩොක්‍රල් 17/2)
අයර්ලන්තය පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 140 යි – පෝල් ස්ටර්ලිං 06, රොස් අඩයර් 34, හැරී ටෙක්ටර් 40, ලෝකන් ටකර් 21, කර්ටිස් කැම්පර් 13, බෙන් කැල්විස් 04, ගැරත් ඩෙලානි 00, ජෝර්ජ් ඩොක්‍රල් 09, මාක් අඩයර් 10, බැරී මැකාති 00*, මැතිව් හම්ප්‍රේස් 00, වනිඳු හසරංග 25/3, මහීෂ් තීක්ෂණ 23/3, දුෂ්මන්ත චමීර 25/1, දුනිත් වෙල්ලාලගේ 28/1, දුනිත් වෙල්ලාලගේ 28/1, මතීෂ පතිරණ 26/2)
මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්






