හදිසි අවදානම් තත්වයනට මුහුණදීම හා ආපදා කළමනාකරණය

අනතුර පහව ගිය පසු, රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ අදියර කරා ගමන් කරයි. එහෙයින් අවතැන් වූවන් නැවත නිවසට පැමිණෙන ආකාරය හෝ ආරක්ෂිත දිගුකාලීන නවාතැන් වෙත ගෙන යන ආකාරය සැලසුම් කිරීම වැදගත් වේ. සමහර අවස්ථාවලදී, ප්‍රජා සාමාජිකයින් විසින් පවත්වාගෙන යනු ලබන මෙහෙයුම් ස්ථාන වෙත භාර දීමට සිදුවිය හැකි ය. මුදාගත් හෝ රැකවල් සැපයූ මධ්‍යස්ථාන වැසෙන විට එතෙක් ක්‍රියාත්මක වූ දේ සහ ඉදිරියේදී වැඩිදියුණු කළ යුතු දේ තක්සේරු කිරීමට බලධාරීන් සමාලෝචන කමිටු රැස්වීම් තුළින් අනාගත ආපදා අවස්ථාවන් කළමණාකරනය කරගැනීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමේ පදනම් සහතික කරගත යුතුවේ.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

ඉතා මෑත කාලයේ නිරන්තර ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අග්නිදිග ආසියාවේ රටවල් සියල්ලම පාහේ දරුණු විපත් රැසකට මුහුණ පා තිබේ. දින ගණනක් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල ගංවතුර සහ නායයෑම් වලට ප්‍රජාව ගොදුරු වී ඇත. දකුණු තායිලන්තයේ අවම වශයෙන් 145 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මෑත දිනවල සාගර කලාපයේ පැන නැගුණ නිවර්තන කුණාටු හේතුවෙන් මෝසම් වර්ෂාව තීව්‍ර වීම ඊට බලපා තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා අන්දමන් දූපත්වලට මෙපිට සිට ශ්‍රී ලංකාවේ දකුණු පළාත හරහා උතුරු දෙසට හමා ගිය ඩිට්වා Ditwah සුළි කුණාටුව හේතුවෙන් මෙම 29 දින උදෑසන වනවිට යාපනයට මිලිමීටර 295.9 ක්ද, කුරුණෑගලට මිලිමීටර 189.1 ක්  කැනියොන් මිලිමීටර 247.9 ක්  සහ මධ්‍යම පළාතේ මාතලේ ගම්මඩුව ප්‍රදේශයට මිලිමීටර් 540 ඉක්මවා ද වර්ෂාපතනයක් ලැබීමෙන් ඇති වූ ගංවතුර තත්වයත් ඉන් අනතුරුව ඇතැම් පෙදෙස්හි  ඇති වූ දරුණු නායයෑම් හේතුවෙන් මෙම ලිපිය ලියන්න අරඹන මොහොත වනවිට මරණ 153 ක් ද අතුරුදහන්වීම් 191 ක්ද  සිදුවී ඇති බව වාර්තා විය. එහෙත් 30 දින සවස 6 වනවිට මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇතිබවත් පුද්ගලයින් 370 ක් අතුරුදන්ව ඇති බවත් වර්තා විය. ධාරානිපාත වර්ෂාව සමග තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බල සැපයුම හා විදුලි සංදේශ සේවා තවමත් අකර්මන්‍යවී ඇත. අවාසනාවන්තම කරුණ වන්නේ මහමග ධාවනය වූ රථවාහන මඩ පස්වලින් යටවීම මෙන්ම ගම්මාන පිටින් වැළලීයාමත් පුද්ගල මරණ හා  අතුරුදහන්වීම් විශාල වශයෙන් අසන්නට ලැබීමත් ය.

ආපදා නොවැළැක්විය හැකි විය හැකි නමුත්, නිසි සූදානමකින් සහ ඵලදායී කළමනාකරණයකින්, ප්‍රජාවන්ට ශක්තිමත්ව ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ බලාපොරොත්තුවෙන් ඒවාට මුහුණ දිය හැකි අවස්ථාවන් නිර්මාණය කිරීම රජයක් විසින් කළයුතු වේ. සුළි සුළං, ගංවතුර, නායයෑම් හෝ මහජන සෞඛ්‍යය බිඳවැටෙන හදිසි අවස්ථාවකදී හෝ වේවා, ස්වාභාවික විපත් වාර ගණන සහ තීව්‍රතාවයෙන් වර්ධනය වනවිට ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් පෙර සූදානම්වී ක්‍රියාත්මක විය යුතු වන්නේ මෙවැනි දෙයින් පළමුව පොදු ජනතාව රැකගැනීම උදෙසා ය.විශේෂයෙන්ම කාලගුණ විද්‍යා අංශ වෙතින් බොහෝ කල් ඇතිව මෙවැනි දෑ පිළිබඳව අනතුරු ඇඟවීමෙන් හා පුරෝකථනයකර මාධ්‍ය ඔස්සේ දැනුම්වත්කර තිබියදීත් ඒ ගැන අප සුළුවෙන් තැකීම මෙවර සිදුවූ ව්‍යසනයෙන් ගැලවිමට තිබූ විරල අවස්ථාව ගිලිහී ගිය බව දැන් වැටහේ. දැන් එය ඩොලර්වලින් ගණනයකර ලෝකයා හමුවේ ආධාර ඉල්ලීම හෝ සහනාධාර පැතීම කෙරෙහි යොමුවීම කොතරම් දුරට සාධාරණ ද යන්න අප යළි යළිත් විමසා බැලිය යුතු ය.

කෙසේ වුවද, මෙවැනි තත්වයන් හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සෙවීමත්, අවතැන් වූ ජනයා වෙනුවෙන් මධ්‍යස්ථාන පිහිටුවීම හා කළමනාකරණය කිරිමත් ව්‍යසනයකින් පසු ආරම්භ වන දෙයක් නොවිය යුතු ය. මෙයට පෙර සුනාමි ව්‍යසනය හා අරණායක සාමසර කන්ද, මහනුවර හා නුවරඑලිය හා විවිධ ප්‍රදේශ නොයෙක් අවස්ථාවල නාය යෑම් ඊට අපට උදාහරණ සපයා ඇත. එහෙයින් මුදාගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීම කල් ඇතිව ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, අදාළ ආයතන සමග ශක්තිමත් සම්බන්ධීකරණ ජාලයක් ගොඩනගා ගැනීම සහ අවතැන්වන සෑම පුද්ගලයෙකුගේම අවම අවශ්‍යතා සපුරාලීමට හැකි  මූලික ලක්ෂණ විදහාපාන ක්‍රියාදාමයක් බව පෙන්වා දිය හැකියි. පැහැදිළිම ආපදාවන් උදෙසා වන ප්‍රතිචාරයේ වඩාත්ම තීරණාත්මක අංගයක් වන්නේ මුදාගැනීමේ මධ්‍යස්ථාන නිසි ලෙස කළමනාකරණය කිරීමයි. මෙම මධ්‍යස්ථාන අවතැන් වූ පුද්ගලයින් සඳහා ආරක්ෂිත තෝතැන්නක් ලෙස සේවය කරන අතරම අර්බුදකාරී අවස්ථාවක නවාතැන් ගැනීම, මූලික අවශ්‍යතා සහ චිත්තවේගී පීඩාවන් මැඩපැවැත්විය හැකි පරිසරයක් සහතික කිරීමට සුදුසු විය යුතු ය.

පූර්ව සූදානම

හොඳ ආපදා කළමනාකරණ සේවාවක් හදිසි අවස්ථාවක් ඇතිවීමට බොහෝ කලකට පෙර ඒ උදෙසා සූදානම් වෙමින් ක්‍රියාරම්භ වේ. අපේ රටේ මේ වෙනුවෙන් ගොඩනැගූ පොදු ස්ථාන නැත. එබැවින් අදාල බලධාරීන් විසින් පාසල්, ප්‍රජා ශාලා හෝ ආගමික ආයතන වැනි සුදුසු ගොඩනැගිලි පෙර හඳුනාගත යුතුවේ. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශවීමේ පහසුකම් සහ ආසන්නතම ප්‍රදේශයේ උද්ගත වන උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව එවැති තැනක පැවතිය යුතු ය. පහත් බිම් හා උස්බිම් අතර පහසුවෙන් ජනයා ප්‍රවාහනය කළහැකි High ground clearance Vehicle කිහිපයකින් හෝ සමන්විත විය යුතුවේ. එමගින් අවතැන්වන ප්‍රජාව ආරක්ෂිතව ප්‍රවාහනය කළහැකි බව තහවුරුකර ගත හැකි ය. එමෙන්ම එවැනි ස්ථාන අත්‍යවශ්‍ය අවම පොදු පහසුකම් වෙතින් සම්පූර්ණකර ගැනීම හෝ තාවකාලිකව එම පහසුකම් ස්ථාපිත කරවීම ද ඔවුන් සතු වගකීමකි.

උද්ගතවන තත්වයන් හමුවේ පැහැදිලි කළමනාකරණ ව්‍යුහයක් ගොඩනගා ගැනීම ද ඒ හා සමානව වැදගත් කර්තව්‍යයකි. යෝජනා කරන මධ්‍යස්ථාන කළමනාකරුවන්, සැපයුම් කණ්ඩායම්, ලියාපදිංචිකර ගැනීමේ නිලධාරීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයින් ඔවුන්ගේ වගකීම් හොඳින් දැන සිටිය යුතු ය. ඒ අරභයා කාර්තු පුහුණු සැසි සහ වාර්ෂික අභ්‍යාස පැවැත්වීම ඔස්සේ හදිසි අවස්ථාවකදී සෑම කෙනෙකුටම ඉක්මනින් සහ ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳව පූර්ව අවබෝධයක් ලබාගැනීම  සහතික කළ හැකිවේ. විශේෂයෙන්ම මෙවැනි මධ්‍යස්ථාන ක්ෂණිකව පිහිටුවීමේදී උද්ගතවිය හැකි සන්නිවේදන ක්‍රමවේදයන් කල් ඇතිව සැලසුම් කළ යුතුය. බොහෝවිට ඇතිවන ආපදා සන්නිවේදන ජාලවලට හානි කරන බැවින්, මහජන අනතුරු ඇඟවීම් සහ අභ්‍යන්තර සම්බන්ධීකරණය සඳහා විකල්ප මාර්ග හඳුනාගෙන ස්ථාපිත කර ගැනීමට කටයුතු කිරීම ඊට හොඳම විසඳුම වේ.

ප්‍රතිචාර දැක්වීම

මුදා ගැනීමේ මධ්‍යස්ථාන ආපදාවක් සිදු වූ වහාම ක්‍රියාත්මක විය යුතු ය. එවැනි ස්ථානයක් විවෘත කිරීමෙන් පසු, ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ආපදාවන්ට ලක් වූවන් පිළිගැනීම සහ ඔවුන් ලියාපදිංචි කිරීම කෙරෙහි ය. ලියාපදිංචිය තුළින්ම එම ජීවිතවල වගවීම සහතික කෙරේ. අවතැන් පුද්ගලයින් හා පවුල් නැවත එක් කිරීමට එය උපකාරී වේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින්, ළමුන් සහ නිදන්ගත රෝග ඇති අය ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් පහසුවෙන් හඳුනාගැනීමට ද හැකියාව ඉන් උදාවේ.

ඒ අනුව පළමුව ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම අත්‍යවශ්‍ය දෙයකි. ආහාර, පිරිසිදු ජලය, ප්‍රථමාධාර, ඖෂධ සහ චිත්තවේග සමනය කිරීමට සහයෝගය ලබාදිය යුතුවන්නේ ක්‍රමක්‍රමයෙනි. මධ්‍යස්ථාන මගින් පිරිමින්ට සහ කාන්තාවනට වෙනම ප්‍රදේශ සහිත ආරක්ෂිත සහ හොඳින් ආලෝකවත් සනීපාරක්ෂක පහසුකම් සැපයිය යුතු අතර, දරුවෙකුට උපකාර කිරීමේදී සුදුසු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනුයුක්ත කිරීම වැනි ළමා ආරක්ෂණ ක්‍රමවේද සහතික කළ යුතුවේ.

එමෙන්ම මුදා ගැනීමේ මධ්‍යස්ථාන තුළ නවාතැන් ගන්නා අවතැන් වූ පුද්ගලයින් සඳහා භෞතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය රැකදීම උදෙසා සරල ගෘහ භාණ්ඩ සම්පාදනය ද්විතීයිකව සිදුකළ යුතු වැදගත් කර්තව්‍යයකි. ඇදිවත පමණක් රැගෙන එන බොහෝ පිරිසකට ආරම්භයේදී සීතල බිම්වල තුනී රෙදි හෝ ඉටිකොල අතුරා,  වැතිර ගැනීමට සිදුවීම කණගාටුදායක තත්වයකි. එහෙයින් මෙම මධ්‍යස්ථාන වෙනුවෙන් පෙර සැකසූ, ඉක්මනින් එකලස් කිරීමට හැකියාව ඇති, අතේ ගෙන යා හැකි සැහැල්ලු දැව හෝ සංයුක්ත කාඩ්බෝඩ් ඇඳන්, මේස හා බෙදාවෙන්කිරීමේ ඒකක නිෂ්පාදන සපයාදීම කෙරෙහි නැඹුරුවීම අපගේ යුතුකමකි. එය ක්ෂණිකව සිදුකිරීමට අපහසු වන්නේ එවැනි දෑ කල් ඇතිව සකසා ගෙන ගබඩාකර තබා නොගන්නා හෙයිනි. කෙසේ වුවද අවතැන් වූ මිනිසුන් අතර පුද්ගලික අවකාශයක් නිර්මාණය කිරීමෙන් ආසාදන රෝග පැතිරීම වළකාගැනීමට උපකාරී වන මෙවැනි දෑ ව්‍යසනය තත්වයන් සමනයකරගත් පසුව කිසිදු අපද්‍රව්‍යයක් ඉතිරි නොවන ආකාරයෙන් පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිවේ. විශේෂයෙන්ම ස්වාභාවික විපත් වලට මුහුණ දෙන අනෙකුත් රටවලට අපදාවන්ට ලක්ව අවතැන්වන පුද්ගලයින්ගේ නවාතැන් පහසුකම් නිර්මාණය කරන ආකාරය ගැන සොයා බැලීමට අප පෙළඹවන්නේ මෙතෙක් සිදුව ඇති ව්‍යසනයේ බැරෑරුම්කම හේතුවෙනි.

මෙහිදී සෑම කෙනෙකුගේම ආරක්ෂාව ඉදිරියෙන්ම පවතියි. ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සඳහා අමුත්තන් නිරීක්ෂණය කිරීම, ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මෙම කටයුතු නිරීක්ෂණයේදී මහජන සෞඛ්‍ය පියවර නොසලකා හැරිය යුතු ද නොවේ. රෝග පැතිරීම් වළකාගැනීම අතරතුර, මධ්‍යස්ථාන සනීපාරක්ෂක මාර්ගෝපදේශ ද ක්‍රියාත්මක කළ යුතු වේ. හැකි සෑමවිටම දුරස්ථභාවය ප්‍රවර්ධනය කළ යුතුය. රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙකු වෙනුවෙන් හුදකලා ස්ථාන සකස් කිරීමට පියවරගත යුතු වේ. මෙහි දී තීරණාත්මක ක්ෂේත්‍රයක් වන්නේ රැඳවුම් මධ්‍යස්ථානවල කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ප්‍රමාණවත් සැලකිල්ලක් සහතික කිරීමයි.

ලිංගික හිරිහැර

විශේෂයෙන්ම ආපදාව බලාත්මක වන කාලසීමාවේ දී කාන්තාවන් ද්විතීයික අභියෝගවලට මුහුණ පාන අතර, ආපදා කළමනාකරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමෙන් ස්ත්‍රී පුරුෂ විෂමතා ආමන්ත්‍රණය කිරීමට හැකියාව උදාකෙරේ. කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රණය කරන නිෂ්පාදන සැපයීමට එමගින් වඩාත් පහසු වේ. ආරම්භක අවස්ථාවේ සිට රැකවල් මධ්‍යස්ථාන වෙත රැගෙන එන සහ රැකවරණය ලබන අවධියේ සිට ඉන් බැහැරයන දිනය දක්වා කාන්තාවන් විශේෂයෙන් බොහෝ අභියෝගවලට මුහුණ පානු ඇත. පසුගිය වකවානු තුළ වාර්තා ඇසුරෙන් පෙනී යන්නේ රැකබලා ගැනීමේදී ළදරුවන් සහ කාන්තාවන් බොහෝවිට පිරිමින්ට වඩා අපහසුතාවලට පත්වන බව ය.

ඊට අමතරව, රැකවරණය සලසන මධ්‍යස්ථානවල ඇඳුම් මාරු කිරීමේ කාමර සහ සාත්තු සේවා ලබාගතහැකි ස්ථාන ආශ්‍රිතව පෞද්ගලිකත්වයක් නොමැතිවීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ යට ඇඳුම් ඇතුළු කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝවිට හිඟවීම තවත් කරුණකි. මෙම මධ්‍යස්ථානවල ආහාර පිසීම සහ පිරිසිදු කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීමේදී කාන්තාවනට බොහෝවිට පීඩන එල්ල වන අතර ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවදානම වැඩිවීම තවදුරටත් දුෂ්කරතා සහ ශාරීරික හානි සඳහා හැකියාව ඇති කරයි. විශේෂයෙන්ම තාවකාලික වැසිකිළි පහසුකම් සපයා තිබුණත්, බොහෝ කාන්තාවන් තම ජල පරිභෝජනය අඩු කරන්නේ ස්ත්‍රී පුරුෂභාවය අනුව පහසුකම් වෙන් කර නොමැති නිසා සහ /හෝ අපිරිසිදු බව හේතුවෙනි. මෙම තත්වයට පිළියම් යෙදීම මධ්‍යස්ථාන භාරකරුවන්ගේ හා සැපයුම් ජාල නියමුවන්ගේ වගකීම මෙන්ම යුතුකම ද වේ.

ආපදා කළමනාකරණ තුළ ස්ත්‍රී පුරුෂ භාවය

විශේෂයෙන්ම නවාතැන් ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් කෙරෙහි සැලකිල්ලක් නොමැතිකමට එක් ප්‍රධාන හේතුව වන්නේ පළාත් පාලන ආයතන තුළ ආපදා ප්‍රතිචාර දැක්වීමේදී කාන්තාවන් ඉතා ස්වල්ප දෙනෙකු පමණක් ඒවායේ කළමනාකරණයට සම්බන්ධවී සිටීම හෝ කේන්ද්‍රීය භූමිකාවන් දැරීම ය. ප්‍රධාන ආපදා කළමනාකරණ භූමිකාවන් සඳහා කාන්තාවන් පත් කිරීමට පළාත් පාලන ආයතන උත්සුක විය යුත්තේ එවැනි වටපිටාවක් පවතින හෙයිනි. උදාහරණයක් ලෙස කාන්තා කාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් ආපදා වැළැක්වීමේ කණ්ඩායම් පිහිටුවා ගැනීම පෙන්වා දිය හැකි වේ. මෙම කණ්ඩායම් කාන්තාවකගේ දෘෂ්ටිකෝණයෙන් ආපදා වැළැක්වීමේ උත්සාහයන්හි ඇතුළත් කළ යුතු සේවාවන් හඳුනා ගැනීම, ඒ සඳහා පෙනී සිටීම සහ ඒවා ප්‍රතිපත්තිවලට ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ හා සමානව, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සමීප සහයෝගීතාවය තුළින් ආපදාවන්ට තවදුරටත් ගොදුරුවීමේ සහ මුදාගැනීමේ මධ්‍යස්ථාන කළමනාකරණය කිරීමට දරන උත්සාහයන් තීරණාත්මක වනු ඇත. මෙම ක්‍රියාවලියේදී ඇතුළත් කිරීම ලේඛණ කෙරෙහි අවධානය යොමු කරමින් නිතිපතා ඒවා යාවත්කාලීන කිරීම් සහ තොරතුරු බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව හදිසි ප්‍රතිචාර සකස් කිරීමට සාර්ථක ලෙස සූදානම්වීමට සහ ප්‍රතිසාධන උත්සාහයන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනු ඇත.

පශ්චාත්-ආපදා සංක්‍රාන්තිය

අනතුර පහව ගිය පසු, රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ අදියර කරා ගමන් කරයි. එහෙයින් අවතැන් වූවන් නැවත නිවසට පැමිණෙන ආකාරය හෝ ආරක්ෂිත දිගුකාලීන නවාතැන් වෙත ගෙන යන ආකාරය සැලසුම් කිරීම වැදගත් වේ. සමහර අවස්ථාවලදී, ප්‍රජා සාමාජිකයින් විසින් පවත්වාගෙන යනු ලබන මෙහෙයුම් ස්ථාන වෙත භාර දීමට සිදුවිය හැකි ය. මුදාගත් හෝ රැකවල් සැපයූ මධ්‍යස්ථාන වැසෙන විට එතෙක් ක්‍රියාත්මක වූ දේ සහ ඉදිරියේදී වැඩිදියුණු කළ යුතු දේ තක්සේරු කිරීමට බලධාරීන් සමාලෝචන කමිටු රැස්වීම් තුළින් අනාගත ආපදා අවස්ථාවන් කළමණාකරනය කරගැනීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමේ පදනම් සහතික කරගත යුතුවේ.

අභියෝග

හොඳම සැලසුම් කිරීම තිබියදීත්, ආපදා අභියෝග ඉස්මතුවිය හැකිවේ. ඇතැම් මධ්‍යස්ථාන විපතට පත් පුද්ගලයින්ගේ හදිසි වැඩිවීමකට මුහුණ දිය හැකි අතර, ඒ සඳහා ක්ෂණික සහාය අවශ්‍ය වේ. ආහාර හෝ ඇඳ ඇතිරිලි වැනි සම්පත් හිඟ විය හැකි අතර, කාර්යක්ෂම සැපයුම් අත්‍යවශ්‍ය වේ. සන්නිවේදන බිඳවැටීම් හමුවේ ප්‍රාදේශීය සහන සපයන කණ්ඩායම්වලට ඉක්මන් ස්වාධීන තීරණ ගැනීමට ඉඩදීමට සිදුවනු ඇත. සියල්ලටත් වඩා, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල ගෞරවය, ආරක්ෂාව සහ යහපැවැත්ම මෙවැනි මධ්‍යස්ථාන කළමනාකරුවන් විසින් සහතික කළ යුතු ය.

ප්‍රජා සංයුතිය

සාර්ථක මුදාගැනීමේ මධ්‍යස්ථාන කළමනාකරණය රඳා පවතින්නේ රජයේ ආයතන, පළාත් පාලන ආයතන, මානුෂීය සංවිධාන සහ ප්‍රජා ස්වේච්ඡා සේවකයින් අතර ගොඩනැගෙන අන්තර් සහයෝගීතාවය මත බව පැවසිය හැකිවේ. සම්බන්ධීකරණය කරන ලද සහ දයානුකම්පිත ප්‍රවේශයක් මඟින් අර්බුදය මධ්‍යයේ වුවද, අවතැන් වූ ජනතාවට ලැබිය යුතු සහයෝගය සහ ආරක්ෂාව ලැබෙන බව එමගින් සහතික කෙරේ. කෙසේ වුවද අනාගතයේ දී ඇතිවිය හැකි මෙවැනි විපත් හා ආපදා අභියෝග ජය ගැනීමට මෙන්ම ඒවායින් ආරක්ෂාවීම උදෙසා රජය, ප්‍රාදේශීය ප්‍රජාවන් සහ පෞද්ගලික අංශයේ මුලපිරීම් සමග ආරක්ෂක අංශය සාමාජිකයින්ගේ පූර්ණ දායකත්වය ලබාගෙන කටයුතු කිරීමට නම්‍යශීලීවීම ඊට ගත හැකි වඩාත් සාර්ථක  පියවර වනු ඇත.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website