IRIS Dena ප්‍රහාරයෙන් මියගිය නාවිකයින්ගේ දේහයන් ආපසු ලබා දෙන ලෙස ඉරාන රජය ඉල්ලා ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පැවසීය.
ශ්‍රී ලංකාව ආසන්නයේ ඉන්දියානු සාගරයේ ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික යාත්‍රාවක් ගිලී යාමෙන් මියගිය නාවිකයින්ගේ මළ සිරුරු 90කට ආසන්න ප්‍රමාණයක් කරාපිටිය ජාතික රෝහලට ගෙනැවිත් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ඊයේ රාත්‍රිය වන විට කරාපිටිය රෝහලට මළ සිරුරු 90කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එම සංඛ්‍යාව වැඩි විය හැකි බවත් ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සහ මළ සිරුරු හැසිරවීම පිළිබඳ උපදෙස් සඳහා අදාළ රටවලින් උපදෙස් ලබා ගැනීමේ සම්මත ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම මළ සිරුරු ඉරානයට භාරදීමේ ක්‍රියාවලිය වහාම අවසන් කළ නොහැකි අතර, මෙම දේහයන් තාවකාලිකව ගබඩා කිරීමට අවශ්‍ය බව ද නියෝජ්‍ය අමාත්‍යරයා පැවසුවේය.
“අපට දැනට මෙතරම් විශාල මළ සිරුරු සංඛ්‍යාවක් සඳහා ප්‍රමාණවත් දිගු කාලීන ශීතාගාර ධාරිතාවක් නොමැති අතර, අවශ්‍ය ශීතකරණ ඒකක මිලදී ගැනීමට කඩිනමින් පියවර ගන්නවා. එතෙක් සුදුසු ශීතාගාර පහසුකම්වල මළ සිරුරු තැබීමට කටයුතු කරනවා” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
කරාපිටිය ජාතික රෝහලේ ආරක්ෂාව තර කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.













