කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ට් දකින විට කිසියම් බියක් ජනිත වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පෝස්ට් තුළ තිබුණේ මිනිසුන්, විශේෂයෙන්ම දකුණේ මිනිස්සු කුපිත කළ හැකි ආකාරයේ ආමන්ත්‍රණ සහ සාවද්‍ය ප්‍රකාශ. මම දැක්කා මේ වෙලාවේ “කොළඹ කිසිවෙකුට උදව් කරන්න එපා. ආපහු වරෙන්. ගමක් එකතුවෙලා මේ සහන කණ්ඩායම්වලට ගැහුවේ” වගේ සමහර අයගේ ප්‍රකාශ, පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
නදීකා දමයන්ති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
මේ වෙලාවේ අපි ඉන්නේ ඉතිහාසයේ ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක. අපේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ ආපදාවකට අපි මුහුණ දීලා තියෙන්නේ. 2004 සුනාමිය ඇහෙන් දැකපු කෙනෙක් විදිහට මම කතා කරන්නේ ඒ කාලයේත් මේ හා සමාන තත්ත්වයක් තිබුණා. නමුත් මේ ආපදාවේ හානිය සහ ආපදාවට ලක්වූවන් ඉන් මුදවා ගැනීමේත්, පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව සලකා බැලීමේ දී සුනාමිය ඇති වූ අවස්ථාවේ අප මුහුණදුන් තත්ත්වයට වැඩිය බැරෑරුම්ය.
මේ වෙලාවේ ආපදාවට ලක් වුණු ජනතාවට මේ ආපදාවෙන් ගැලවෙන්න එක් ජාතියක් විදිහට අති බහුතරයක් අපේ ජනතාව උදව් කරනවා. ඒ අය එකතුවෙලා ගම්පිටින් ගිහිල්ලා උදව් කරන තත්ත්වයක් මම දකිනවා. අනෙකාගේ දුකේදී විපතේදී පිහිට වෙන, එකා වගේ එක්වෙන මෙම ලක්ෂණය නැත්නම් මෙම සමාජ ප්‍රාග්ධනය උපයෝගී කරගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කරගන්නට ජාතියක් විදියට අපට නොහැකිවේවි. නමුත් කිසියම් දේශපාලන පක්ෂයක් මේ වෙලාවේ තමන්ගේ දේශපාලන අරමුණු සඳහා මේ රටේ පුරවැසියන් ස්වේච්ජාවෙන් කරන මේ කැපකිරිම යම් විදියකින් භාවිතා කරනවා නම් ඒක වැරදියි සහ නොකළ යුතු දෙයක් විදියටයි මම දකින්නේ.
මේ වෙලාවේ අපි කරන්න ඕන ජාතියක් විදිහට සියලුම දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන ඔක්කොම එකතු වෙලා මේ ව්‍යසනයෙන් වැටුණු මිනිස්සුන්ට සහ රටට උදව් කරන එක. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ සෘජුවම සහ වක්‍රව පුරවැසියන් ස්වේච්ජාවෙන් සිදුකරන මේ ක්‍රියාකාරකම් සදහා විවිධ බාධා ඇති කිරිම වගේම ඇතැම් දේශපාලනඥයින්, පුරවැසියන් ස්වේච්ජාවෙන් ඉටු කරන කාර්යයන් දේශපාලන වාසි තකා තමන්ගේ ගිණුමට බැර කර ගැනීමට උත්සාහ දැරීමත් කියන දෙකම ඉතාම කණගාටුදායක සිදුවීම්.
අනෙක් කාරණය තමයි මේ වගේ ජාතික අපාදා අවස්ථාවකදී සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිතා කිරීම පුරවැසියන්ගේ වගේම දේශපාලන පක්ෂවලත් වගකීමක් වෙනවා. සමාජ මාධ්‍ය කියන්නේ ක්ෂණයකින් යහපත් දෙයක් වගේම ඉතා භයානක සහ අයහපත් ප්‍රතිඵල ඇති කළ හැකි මාධ්‍යයක්. එක් සිද්ධියක් මුල්කරගනිමින් ආපදා කළමනාකරණයේ මේ සමස්ත ක්‍රියාවලියට ලොකු හානියක් මේ තුළින් සිදු කිරීමේ හැකියාව තියෙනවා. මිනිස්සු ඉතාම කම්පා සහගතව ඉන්න අවස්ථාවක සිතා මතා හෝ නොසිතා ආවේගශීලි ප්‍රකාශන සමාජ මාධ්‍යයට මුදා හැරීම තුළ ඇතිවන අයහපත් වාතාරවණයෙන් නැවතත් පීඩාවට පත්වන්නේ දැනටමත් ස්වභාවික ආපදාවකින් ඇතිතරම් බැටකා සිටින අපේම ජනතාවයි. ඒ් නිසා සමාජ මාධ්‍ය හරහා යම් යම් ප්‍රකාශ පළ කිරීමට පෙර දෙවරක් සිතීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමක් වෙනවා.
මෙයට ආසන්නතම උදාහරණය තමයි ඊයේ(දෙසැ. 02) දිනයේ අතුරුගිරිය ප්‍රදේශයේ ඇතිවුණ ගංවතුරින් අනතුරට පත් වු ජනතාව බේරා ගැනීම සදහා බලපිටියෙන් තමන්ගේ බෝට්ටු අරන් පැමිණි කණ්ඩායමේ තරුණයෙකුට පහරදීම සහ ඒ් සම්බන්ඳ සිදුවීම අද දිනය පුරා සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවත්. එවන් පහරදීමක් සිදුවූයේ කුමන පරමාර්ථයකින්ද යන්න ඉතාම ගැටලු සහගතයි. එය කිසියම් දේශපාලනික වුවමනාවකින් සිදුවූවක්ද නැත්නම් පුද්ගලික වුවමනාවකින් සිදුවූවක්ද යන්න හෙළිවී නැතත් එම සිදුවීම මූලික කරගෙන මේ වන විට සමාජය තුළ ඉතා දැඩි ලෙස විරෝධතා මතුවෙමින් පවතිනවා. එහිදී පහරදීම හා තර්ජනය කිරීම පිළිබඳ පොලිසිය ඒ් අවස්ථාවේදී නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඉතා වැරදි සහගතයි. ඒ සදහා නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ට් දකින විට කිසියම් බියක් ජනිත වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පෝස්ට් තුළ තිබුණේ මිනිසුන්, විශේෂයෙන්ම දකුණේ මිනිස්සු කුපිත කළ හැකි ආකාරයේ ආමන්ත්‍රණ සහ සාවද්‍ය ප්‍රකාශ. මම දැක්කා මේ වෙලාවේ “කොළඹ කිසිවෙකුට උදව් කරන්න එපා. ආපහු වරෙන්. ගමක් එකතුවෙලා මේ සහන කණ්ඩායම්වලට ගැහුවේ” වගේ සමහර අයගේ ප්‍රකාශ, පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
ඇත්තටම එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් සිදුකළ එම ක්‍රියාව ගමක් එකතුව සිදුකළ දෙයක් ලෙස හුවා දැක්වීම තුළ ආපදා කළමනාකරණ ක්‍රියාවලියට සාමාන්‍ය පුරවැසියන්ගෙන් ලැබෙන සහය අඩපණ කිරීමට හේතු විය හැකිය. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ස්වයං පාලනයකට යාම පුරවැසියන්ගේ වගකීමක් බවට පත්වෙනවා. ඒ වගේම කිසියම් වූ දේශපාලන පක්ෂයක් දේශපාලනය සඳහා මේ ව්‍යසනය භාවිතා කරනවානම් එය ඉතාම නින්දිතයි. ඒක මේ වෙලාවේ කරන්න එපා කියන එක තමයි මම කියන්නේ. විපක්ෂය වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන් කරුණාකරලා ඒ දේ කරන්න එපා. මේක අපි හැම කෙනෙක්ම අපි අපිට පිහිටවිය යුතු අවස්ථාවක්. එහෙම පිහිට වුණ නිසා තමයි 2004 සුනාමියෙන් පස්සේ අපි රටක් විදිහට නැගිටින්නේ.
ඊට අමතරව අප සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු කාරණයක් මම මතක් කරන්න කැමතියි. මේ වෙලාවේ විශාල වශයෙන් වියළි ආහාර සහ අනෙකුත් දේවල්, ඒ කියන්නේ පැකට්, ටින් ආශ්‍රිත ද්‍රව්‍ය, වතුර බෝතල් වගේ දේවල් තමයි ආපදාවලට පත් වුණ ප්‍රදේශවලට විශාල වශයෙන් ලබා දෙන්නේ. මේ ආපදාව එක පැත්තකින් ස්වභාවධර්මයත් එක්ක අපි ගනුදෙනු කළ ආකාරයේ වැරැද්ද නිසා ලැබුණු ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. මේ ව්‍යසනය තුළින් අපට ස්වභාව ධර්මය දෙන පණිවිඩය අපි නිසි පරිදි අවබෝධ කරගත යුතුයි.
තවදුරටත් අපේ පැවැත්ම සදහා ස්වභාවධර්මයට එරෙහිව යන්න හැකියාවක් නැහැ. මේ ආපදා අවස්ථාවේ අපි දෙන සහනාධාරවලදී ඉවතලන දේවල් ඉතාම ක්‍රමානුකූලව එකතු කරලා පස්සෙ අවස්ථාවක හෝ ඒවා කළමනාකරණය කරගෙන නිසි පරිදි ප්‍රතිචක්‍රීයකරණ සදහා කටයුතු කරනවානම් ඒක ඉතාමත් හොඳයි. එහෙම නැති වුනොතින් මේ සියල්ලම නැවත එකතු වෙන්නේ පරිසරයට. ලක්ෂ ගාණක වතුර බෝතල්, ටින්, පොලිතින් බෑග් මෙහිදී එකතු වෙනවා. මේ පිළිබඳ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානවලට යම්කිසි ආකාරයක අවධානයක් යොමු කරන්න පුළුවන් නම් ඉතාම යෝග්‍යයයි කියලා මම හිතනවා.
මේ ආපදා තත්ත්වය යම් මට්ටමකට කළමනාකරණය කරගත් පසුව අපට මෙවන් ආපදාවලට අදාළ සියලුම රාජ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ බිම් මට්ටමේ ක්‍රියාත්මක භාවය පිළිබදව ගැඔුරින් සිතා බලන්න වෙනවා. ශ්‍රී ලංකාවේ ඉඩම් ගොඩකිරීම, ඉඩම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් නීති තියෙනවා. නමුත් ඒ නීති කොයිතාක් දුරට ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය තවමත් තියෙනවා. විශේෂයෙන්ම කුඹුරු, වගුරු බිම් ඇතුලු පහත් බිම් ආපදා කළමනාකරණයේම කොටසක් ලෙස පවත්වා ගෙන ආ දෙයක්. ගංවතුර ගැලීමකදී එම වතුර ඒ් පහත් බිම් හරහා ගලා යාම සඳහා එවන් ක්‍රමවේදයක් භාවිතා කර තිබුණා. නමුත් පසුගිය කාලයේදි අණ පනත් නීතිරිති නොසලකා මෙම බිම් ගොඩකර නොයෙකුත් ගොඩනැගිලි ඉදිකර තිබෙනවා.
විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ ආදී දිස්ත්‍රික්කවල මේ වෙනකොට අපි පුළුවන් තරම් ගොඩ කරගෙන තියෙන්නේ. පසුගිය කාලය පුරාවටම අපි දැකපු දෙයක් තමයි අප රටේ නීති තිබුනට, නිලධාරීන් නම්මවා ගන්නවා, නැත්නම් දේශපාලන අධිකාරියේ අවශ්‍යතා සඳහා යොදවා ගැනීම තුල මෙවැනි තත්වයන් උදාවෙලා තියෙනවා. ඉඩම් ගොඩකිරීම තුළ කොළඹ දිස්ත්‍රික්කය සහ අනෙකුත් පහත් බිම්වල තියෙන ප්‍රදේශ මේ වන විට දැඩි ගංවතුර තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඒම නිසා අපට මෙම තත්ත්වය නතර කරන්න වෙනවා. දැනට තියෙන නීති ක්‍රියාත්මක කිරීම සහ එහෙම නැත්නම් යම්කිසි ආකාරයකට මෙය ප්‍රමාණවත් වෙන්නේ නැතිවුණොත් නිසි පරිදි බිම් මට්ටමේ අධ්‍යයනයක් සිදු කර මේ ගැටලුවලට පිළියම් සොයා ගැනීම සහ ප්‍රතිපත්ති සකස් කිරීමත්, ඒ්වා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දීමත් රජයේ වගකීම වෙනවා.














