සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 252 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘2024 සංගණන වාර්තාවට අනුව ජන සංයුතියේ වෙනස්වීම් තුළ අවධානයට ලක්විය යුතු ප්‍රවණතා’ යන තේමාව යටතේ පැවැත් වුණේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස මහාචාර්ය කේ. කරුණාතිලක, මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, මහාචාර්ය රොහාන් සමරජීව සහභාගී වූ අතර සමාජ විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක කතිකාව මෙහෙයවීම කළේය. මේ කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජන සංගණන වාර්තාව පසුගිය 2024 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා නිකුත් කළේය. එම සංගණන වාර්තාවේ ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ ද ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කැපී පෙනෙන වෙනස්කම් සහ ප්‍රවණතා නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශ්වයන් අතර උනන්දුවක් දැකගත හැකිය. විශේෂයෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේ දී මෙම සංගණන වාර්තාව වැදගත් වන හෙයින් ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු පාර්ශ්වයන් අතර සිදුවිය යුතුය.
සංඛ්‍යාත්මකව ජනගහනය වර්ධනය වුණත් ඇත්ත තත්ත්වය ඊට පටහැනියි – මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා
2024 ජන සංගණන වාර්තාව සහ ඊට පෙර කරන ලද ජන සංගණන වාර්තා ද අනුව මෙරට ජනගහනයේ සංයුතිය ද ඇතුළු ප්‍රධාන ප්‍රවණතා සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමින් මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා මෙසේ පැවසුවේ.
ලංකාවේ පළමු ජන සංගණනය කළේ 1871 දීය. 2024 දෙසැම්බර් මස 19 වැනිදා එළිදක්වන ලද්දේ මෙරට 15 වැනි ජන සංගණනයයි. 1871 දී මෙරට ජන සංඛ්‍යාව මිලියන 2.4ක් වූ අතර 2024 වන විට එය මිලියන 21.8ක් දක්වා වර්ධනය වී ඇත. මීට පෙර පැවැති ජන සංගණනය 2012 දී සිදුකරන ලද අතර එම වර්ෂයේ දී මෙරට ජනගහනය මිලියන 20.4ක් ලෙස වාර්තා විය. ඒ අනුව 2012-24 අතර අන්තර් සංගණන කාලය තුළ මෙරට ජනගහනය මිලියන 1.4කින් වර්ධනය වී ඇත.
මෙම දත්ත දෙස බැලීමේ දී මෙරට ජනගහනය ක්‍රමිකව වර්ධනය වන බවත් දැකගත හැකි වුවත් ඇත්ත තත්ත්වය එය නොවේ. 2024 දී මෙරට ජන සංඛ්‍යාව මිලියන 21.8ක් වන විට 2022 දී මෙරට ජනගහනය වූයේ මිලියන 22.2කි. 2022 දී මිලියන 22.2ක් වූ ජනගහනය 2024 වන විට මිලියනන 21.8 දක්වා අඩු වී ඇත. නමුත් 2012 -24 අන්තර් සංගණන කාලය දෙස බැලීමේ දී ජනගහනය මිලියන1.4කින් ඉහළ යාමක් දැක ගත හැකිය.
2012-2024 කාලය තුළ මෙරට ජනගහනය 0.5%කින් වර්ධන වී ඇති නමුත් 2024 ජන සංගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ දී එය අවධානයට ලක් නො කළේය. කෙසේ වෙතත් 2012 -2024 කාලය තුළ මෙරට ජනගහණය අඩුවී ඇති බව හෝ ජනගහනය පහළ බසිමින් තිබෙන බව පැහැදිලිය.
මිලියන 21.8ක් වන මෙරට ජනගහණයෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළය, කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි තැන ගන්නා අතර අඩුම ජන සංඛ්‍යාවක් වාසය කරන්නේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේය.
2001-2012 අතර +0.7ක වාර්ෂික ජනගහන වර්ධන වේගයක් වාර්තා වූ අතර, 2012-24 අතර එම අගය +0.5%ක් විය.
- ජන සංයුතිය / ඝනත්වය
ජන සංයුතිය අධ්‍යයනයේ දී එය, ළමා ජනගහනය (0-15ට අඩු), වැඩ කරන වයසේ ජනගහනය (15-59) සහ වියපත් ජනගහනය (60ටවැඩි) ලෙස කාණ්ඩගත කෙරේ. වියපත් ජනගහනය අවුරුදු 65 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක් ද මේ වන විට ඉදිරිපත්ව තිබේ.
1981 දී සිදුකළ ජන සංගණනයට අනුව එම වර්ෂයේ දී ළමා ජනගහනය සමස්ත ජනගහනයෙන් 35%ක් වූ අතර එම ප්‍රතිශතය 2024 දී 21% දක්වා අඩු වී තිබේ. 1981 දී වියපත් ජනගහනය 6.6%ක් වූ අතර 2024 දී එම ප්‍රතිශතය 18%ක් දක්වා වර්ධනය වී ඇත. එහි අදහස වන්නේ පසුගිය දශක හතරක කාලය තුළ මෙරට වියපත් ජනගහනය දෙගුණයක් වී ඇති බවය. ඊට සාපේක්ෂව ළමා ජනගහනයේ කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
1981-2024 කාලය තුළ වැඩ කරන වයසේ ජනගහනයේ ද යම් පහළ යාමක් වාර්තා වී ඇත.
මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර සෑම ගැහැනු 100කටම පිරිමි 94ක් වාර්තා වන අතර එයට හේතුව ලෙස සැලකිය හැකි වන්නේ මෙරට කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව වැඩි කාලයක් ජීවත් වීමය. ඒ බව තහවුරු වන්නේ වියපත් කාණ්ඩය තුළ කාන්තාවන්ගේ ප්‍රතිශතය 60%ක් පමණ වීම තුළය.
වඩාත් පුළුල් සමාජ විද්‍යාත්මක පර්යේෂණ හරහා මේ ජන සංගණනයේ ප්‍රතිඵල විග්‍රහය කළ යුතුයි – මහාචාර්ය කේ. කරුණාතිලක
ජන සංගණන වාර්තාව විමසුමට ලක් කිරීමේ දී සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් ඒ දෙස බැලීම ද වැදගත්ය. එහිදී ජනගහනය වියපත් වීම විශේෂ අවධානයට ලක්කළ යුතු කරණක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් ලංකාවේ ජනගහන සංයුතිය තුළ වියපත් ජනගහන ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යාම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් ලෙස සමාජ විද්‍යාඥයෝ සලකති.
සමාජ විද්‍යා මහාචාර්ය කේ. කරුණාතිලක මේ තත්ත්වය දකින්නේ වැඩිහිටි පුද්ගලයින් රැක බලා ගැනීමට ඇති හැකියාව ද සමඟ එකට ගෙනය. මේ සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කළ මහාචාර්ය කරුණාතිලක, “විශේෂයෙන්ම වැඩිහිටියන් රැක බලා ගැනීම පිළිබඳ ගැටලු තිබෙනවා. වත්මන් සමාජය තුළ පුද්ගලයින් ගත කරන්නේ ඉතාම සංකීර්ණ සමාජ ජීවිතයක්. මේ පසුබිම තුළ දරුවන්ට තමන්ගේ වැඩිහිටියන් රැක බලා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙනිසා වැඩිහිටියන් බොහොම අසරණ තත්ත්වයට පත්වෙනවා. ඇතැම් විට වැඩිහිටියන් සහ දරුවන් අතර තිබෙන පරම්පරා වෙනස සහ ඒ ආශ්‍රිත ඔවුන්ගේ ඇඟයුම්වල පවතින වෙනස්කම් මත පවුල් ඒකක තුළ බරපතළ ගැටලු නිර්මාණය වෙනවා. බොහෝ විට අපේ ළමා කාලය තුළ (60-70 දශකවල) අපි දැක්ක දේ තමයි දෙමාපියෝ සහ දරුවන් අතර පමණක් නොවෙයි ආච්චිලා, සීයලා ඇතුළු ඥාතීන් අතර පවුල් බැඳීමක්, ඥාතී බැඳීමක් තිබුණා. නමුත් වර්තමානය වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා”.
- පරම්පරා වෙනස
මෙම වෙනසට හේතු වශයෙන් මහාචාර්ය කරුණාතිලක පෙන්වා දුන්නේ වර්තමාන සමාජය දැඩි අවිවේකී, කාර්ය බහුල එකක් වීම සහ ජීවිතය සංකීර්ණ එකක් වීමය. මීට දශක කිහිපයකට පමණ පෙර සමීප ඥාතීන් බැලීමට යාම සමාජ සම්මතයක්, චාරිත්‍රයක්ව තිබූ බව පැහැදිලි කළ මහාචාර්ය කරුණාතිලක දවසක් දෙකක් ඥාතී නිවෙස්වල ගත කිරීමට තරම් විවේක කාලයක් එකල පැවැති බව සිහිපත් කළේය.
වර්තමාන ප්‍රවාහන පහසුකම් හමුවේ ගමන් බිමින් යාම ඉතා පහසු වී තිබුණ ද ඒ වෙනුවෙන් අවශ්‍ය කාලය සොයා ගැනීමට වත්මන් සමාජයට නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
- නවීන වැඩිහිටි නිවාස
මේ පසුබිම තුළ වැඩිහිටි නිවාස සහ ඒවාට ඇතුළත් වීම් වර්ධනය වී තිබෙන බව ද මහාචාර්යවරයා හෙළි කළේය.
“වැඩිහිටි නිවාස වල ජීවත් වන පිරිසගේ තවත් විශේෂත්වයක් තිබෙනවා. අපිට අද දකින්නට ලැබෙන්නේ මෙරට තුළ ජීවත් වෙමින් වියපත් වුණ පුද්ගලයින් පමණක් නොවෙයි. විදේශගතව ජීවත් වෙලා යළි මවුබිමට පැමිණ වැඩිහිටි නිවාස වලට පැමිණි පුද්ගලයින් විශාල පිරිසක් ද අද ඉන්නවා. ඒ නිසා සාම්ප්‍රදායික වැඩිහිටි නිවාස ආකෘතිය අද කැපී පෙනෙන ලෙස වෙනස් වෙලා තිබෙනවා” මහාචාර්ය කරුණාතිලක සඳහන් කළේය.
“වැඩිහිටි නිවාස පවත්වා ගෙන යාම අද වන විට සාර්ථක හා ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා“ යැයි කී මහාචාර්ය කරුණාතිලක මේ තත්ත්වය ලංකාවට පමණක් ආවේණික ගැටලුවක් නොවන බවත් වර්තමානය වන විට එය ගෝලීය ගැටලුවක් දක්වා පරිණාමය වී ඇති බවත් පෙන්වා දුන්නේය.
- සංකීර්ණ හා ගැඹුරු ගැටලුවක්
ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වියපත් ජනතාව වීම හුදු ජන විකාශ ගැටලුවක් පමණක් නොවන බවත් එය ආර්ථික, දේශපාලන හා සමාජයීය ආදි ක්ෂේත්‍ර ගණනාවක සංකීර්ණ හා ගැඹුරු ගැටලු නිර්මාණය කරන බවත් මහාචාර්යවරයා කීවේය. “එපමණක් නොවෙයි වැඩිහිටියන් සම්බන්ධ සමාජ ඇගයුම්, ධර්මතා සහ ආකල්ප වල ද සැලකිය යුතු වෙනසක් මේ වන විට තිබෙනවා. වැඩිහිටියා කියන්නේ කවුද ?, ඔහුට කුමන මට්ටමෙන් ගරු කළ යුතු ද, ඔහු රැකබලා ගත යුතු ද, කියන ආකල්ප අද වෙනස් වෙලා තිබෙනවා”.
“දුගී බව මේ ගැටලුව තවත් තීව්‍රර කරන බරපතළ සාධකයක්” මහාචාර්ය කරුණාතිලක කීවේය.
“දුප්පත් පුද්ගලයෙක් හෝ පවුලක් වැඩිහිටියන්ව රැක බලා ගන්නේ කොහොමද? කියන කාරණය අද බරපතළ සමාජ ගැටලුවක් බවට පත්ව තිබෙනවා“ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මහාචාර්ය කරුණාතිලක පෙන්වා දුන්නේ පොදු සෞඛ්‍ය හා සුබසාධන ගැටලු ද මේ ගැටලුව පිටුපසින් පැමිණෙන බවයි. පොදු සෞඛ්‍ය සේවා ගැටලු හමුවේ පීඩාවට පත්වන වැඩිහිටියන්ට පෞද්ගලික වෛද්‍ය සේවා වෙත ප්‍රවේශය අසීරු බව පෙන්වා දුන් මහාචාර්ය කරුණාතිලක පෞද්ගලික වෛද්‍ය සේවාවේ පවතින ආචාරධාර්මික පිරිහීම තත්ත්වය තව දුරටත් හානිකර තත්ත්වයට පත්කර ඇති බව ද කීවේය.
රටක ජනගහනය අඩුවීම වාසිදාය යැයි යමෙකුට තර්ක කළ හැකි අතර එය ද පහසුවෙන් බැහැර කළ හැකි තර්කයක් නොවුණත් ජයගහනය අඩුවීම කිසිසේත් යහපත් තත්ත්වයක් හෝ වාසිදායක තත්ත්වයක් නොවන බව මහාචාර්ය කේ. කරුණාතිලක කීවේය.
“ඒක එහෙම වෙන්නෙම නෑ” ඔහු දැඩිව අවධාරණය කළේය.
- වෙනත් ප්‍රවණතා මොනවා ද ?
2024 ජන සංගණනයේ තවත් ප්‍රවණතා කිහිපයක් කෙරෙහි මහාචාර්ය කරුණාතිලක කතිකාව ප්‍රෙක්ෂකයින්ගේ අවධානය යොමු කළේය. විශේෂයෙන් වැඩිහිටියන් සිය දේපොළ දරු මුණුපුරන්ට උරුම කර දීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාඤාර්ය කරුණාතිලක කීවේ බොහෝ විට මේ හා සම්බන්ධ ඍණාත්මක සහ අර්බුදකාරී තත්ත්වයක් පවතින බවය. විශේෂයෙන් වැඩිහිටියන් ඉඩම් හා නිවාස ඇතුළු භෞතික දේපොළ සම්බන්ධයෙන් දක්වන සාම්ප්‍රදායික ආකල්ප හා දැඩි බැඳීම සුමග දේපොළ හුවමාරුවක් නිර්මාණය නොකරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
“මේ හා සම්බන්ධ ඍණාත්මක පැත්ත ඉතා ප්‍රබලයි” ඔහු යළි අවධාරණය කළේය.
2024 ජන සංගණනය අනුව මෙරට තරුණ ජනගහනය ඉදිරියේ දී අඩුවීමේ ප්‍රවණතාවක් නිරීක්ණය වන බව කී මහාචාර්යවරයා, මේ තත්ත්වය තුළ ඔවුන්ට අත්විඳීමට සිදුවිය හැකි අභියෝග අඩු වුවත් ඔවුන් වෙනත් සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙනු ඇති බව කීවේය.
“මේ හරහා යම්කිසි පිරිසකට අසාධාරණයක් සිදුවිය හැකි අතර තවත් පිරිසකට අලුත් ඉඩප්‍රස්ථා නිර්මාණය විය හැකියි. ඒ වගේම තරුණ පිරිස අතර විවාහය, දරුවන් බිහි කිරීම වැනි දේවල් සම්බන්ධයෙන් පවතින ආකල්පය තව දුරටත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දැඩි පුද්ගලවාදී හැඟිම් සහිත පුද්ගලයින්ගේ වර්ධනයක් මේ හා සමානව අපට දැක ගන්න පුළුවන් වෙයි. ඒ හරහා දරුවන් සීමා කිරීම හෝ දරුවන් හදා නොගැනීම වැනි ප්‍රවණතා එන්න පුළුවන්. ග්‍රාමීය පරිසරය තුළ මේ ප්‍රවණතා අඩු විය හැකි වුවත් වෘත්තිකයින් ඇතුළු උප සංස්කෘති තුළ මේ වන විටත් මෙවැනි ප්‍රවණතාවක් අපි දකිනවා” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
සමාජය සංකීර්ණ හා දැඩි පාරිභෝජනවාදී අස්ථනයක් කරා විතැන් වෙත්ම සමාජ අසහනය වර්ධනය වන බව පෙන්වා දුන් මහාචාර්ය කරුණාතිලක මෙවැනි පුද්ගලයින් විදේශ රටවලට සංක්‍රමණය වීමට වැඩි නැඹුරුවක් දක්වන බව කීවේය.
- සාධනීය ලක්ෂණ
ඉහත දක්වන ලද ආකාරයේ සැලකිය යුතු ඍණාත්මක ප්‍රවණතා 2024 ජන සංගණන වාර්තාව හෙළි කළ ද එහි සැලකිය යුතු තරම් සාධනීය ලක්ෂණ තමාට නිරීක්ෂණය වූ බව සමාජ විද්‍යා මහාචාර්යවරයා සඳහන් කළේය.
“ඉඩම් සහ දේපොළවලට තිබෙන ඉල්ලුම අඩු වෙලා තිබෙනවා. මේ පසුබිම තුළ සාම්ප්‍රදායික වගා ක්‍රම වලින් ඔබබ්ට ගිහින්ලා නවීන තාක්ෂණය කේන්ද්‍ර කරගත් කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකර්මාන්තයක් සහ ඉඩම් භාවිතයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි ආකාරය ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ට අවධානය යොමු කළ හැකියි“ මෙහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අංශ කිහිපකට අදාළ ජාතික සැලසුම් තිබුණ ද ඒවා කිසිම දිනක ක්‍රියාත්මක තලයට නොපැමිණෙන බවයි.
ජනගහනය අඩුවන විට රජයේ වියදම අඩු විය යුතු බව පෙන්වා දුන් මහාචාර්ය කේ. කරුණාතිලක එසේ ඉතිරි වන මුදල් ප්‍රමුඛ සංවර්ධන අංශ වෙත යොමු කිරීමට රජයට හැකියාවක් තිබිය යුතු බව ද සඳහන් කළේය.
ජන ජන සංගණන වාර්තාව අනුව මෙරට අධ්‍යාපනයේ වෙනසක් සිදුවිය යුතු බවට ඉඟි කරන බව කී මහාචාර්යවරයා සමාජ සංවාදයට ලක්විය යුතු කාරණා කතිකාව වැනි වැඩසටහන් හරහා පුළුල් ලෙස සමාජගත කළ යුතු බව ද පෙන්වා දුන්නේය.
- යළි සන්නද්ධ කැරළි නෑ
වත්මන් ජන සංයුතියේ ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් 1971 සහ 1988-89 කාලයේදී දකුණේ සහ උතුරේ සිදු වූ සන්නද්ධ තරුණ නැගිටීම් යළි සිදු නොවනු ඇතැයි මහාචාර්ය කරුණාතිලක මෙහිදී පෙන්නා දුන්නේය.
“තරුණයෝ හිතනවා නම් මේ රට හදනවාට වඩා පිටරටකට යන එක හොඳයි කියලා නැවත තරුණයින්ගේ සන්නද්ධ නැගිටීම් සිද්ධ වෙන එකක් නැහැ. ඇති හැකි අය වෙනත් රටවල් වලට සංක්‍රමණය වුණා ම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයක් තුළ පවා ආන්තික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්” මහාචාර්ය කරුණාතිලක ජන සංයුතිය තුළ සිදුව තිබෙන ව්‍යුහාත්මක වෙනස්කම් වන සාධනීය ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් පැවසුවේය.
මෙහිදී මහාචාර්ය කේ. කරුණාරත්න පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමාජ පංතීන් පිළිබඳ හොඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර නැති බවයි. ශ්‍රී ලංකාව තව දුරටත් සාම්ප්‍රදායික ආකෘතිවල එල්ලී සිටිනවා මිස මෙරට පංති පෙළ ගැසීම සිදු වන්නේ කෙසේ ද ? යන්න පිළිබඳ විධිමත් අධ්‍යනයක් කර නැති බව ද ඔහු කීවේය.
ඉදිරියේ දී වඩාත් පුළුල් පර්යේෂණාත්මක විග්‍රහයන් හරහා ජනගහනයේ සිදුව ඇති ව්‍යුහාත්මක ප්‍රවණතා වටහා ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් පෙන්නා දුන්නේය.
ජන සංගණන ප්‍රවණතා ගැන ප්‍රතිපත්ති සම්පාදකයින් වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි – මහාචාර්ය රොහාන් සමරජීව
නවීන රාජ්‍යයන්හි මතය වන්නේ ජාතික ධනය උත්පාදනය කිරීමේ පදනම මානව සම්පත බවය. ඒ වෙනුවෙන් ශ්‍රම බළකායක් සිටිය යුතුය. 2024 ජන සංගණන වාර්තාව අනුව මෙරට ශ්‍රම බළකාය, එනම් වැඩකළ හැකි ජනගහනය (වයස අවුරුදු 15-64 අතර) 2012 සංගණනයේ දී 66.9%ක් වූ අතර, එය 2024 දී 66.4% දක්වා අඩු වී ඇත. නමුත් වර්ෂ 2000-2014 කාලයේ ලංකාවේ අනපේක්ෂිත ලෙස දරු උපත් සංඛ්‍යාව වර්ධනය විය. මේ තත්ත්වය හේතුවෙන් ජනගහන වර්ධනයේ පිම්මක් ඇති වූ අතර, එනිසා 2024 සුළු අඩුවීමක් වාර්තා වීම ශ්‍රම බළකායට බලපෑමක් නොවනු ඇති බව උපකල්පනය කෙරේ.
- නව අභියෝග
“ඒ කියන්නේ අපි දකින ආකාරයට ශ්‍රම බළකාය මිලියන 14 සිට මිලියන 16 දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙයි කියලා අපි හිතනවා” කතිකාව සංවාදයට සිය ප්‍රවේශය ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කළේය.
ඔහු ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ 2000-2014 කාලය තුළ ඉපදුණු පුද්ගලයින් ශ්‍රම බළකායට එක්වන්නේ 2020 කාලයෙන් පසුව බවය. 2034 දක්වා මෙම පිරිස ශ්‍රම බළකායට එක්වන බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මේ සමඟ අභියෝගයක් ද නිර්මාණය වන බව පෙන්වා දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ විදේශ සංක්‍රමණය සඳහා පවතින අවස්ථා ක්‍රමයෙන් අඩුවෙමින් පැවතී ද අවධානයට ලක්විය යුතු බවයි. මේ සම්බන්ධ සිය නිරීක්ෂණ වැඩි දුරටත් පැහැදිලි කරමින් මහාචාර්යවරයා මෙසේ පැවසුවේය.
“මේ පිරිස ශ්‍රම බළකායට එක්වන විට ඔවුන්ට අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා ලබාදීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට ප්‍රයෝජනයක් ගැනීම සම්බන්දයෙන් විශාල අභියෝගයක් නැහැ. ඒ වගේම විදේශ සංක්‍රමණ සඳහා පවතින අවස්ථා ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. විශේෂයෙන් ජනාධිපති ට්‍රම්ප් ඇතුළු තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක්ම විදේශ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් දක්වන විරෝධය මේකට හේතු වෙලා තියෙනවා.අමෙරිකාවෙ, යුරෝපයේ සහ කැනඩාවේ දොරවල් වැහෙමින් පවතිනවා, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ දොරවල් අඩවල් කරමින් තිබෙන්නේ. ඒ නිසා මුුලදී තිබුණ දැඩි උනන්දුව දැන් ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ගිවිසුම්ගත ශ්‍රමිකයින් ලෙස ජපානයට සහ කොරියාවට යන්න පුළුවන් වුණත් ස්ථිර පදිංචියට යන එක දවසින් දවස දුෂ්කර වෙමින් තිබෙනවා. සංක්‍රමණය සම්බන්ධයෙන් තියෙන අවස්ථා අඩු වෙන කොට ලංකාව තුළ ගැටලුව පිපිරීමේ අවස්ථා වැඩි විය හැකියි”.
- අරගලයට නායකත්වය
2000 දී හෝ ඊට ආසන්න කාලයේ දී උපත ලද පුද්ගලයින් ගෝල්ෆේස් අරගලයට නායකත්වය දුන් බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව 2020සිට 2034 දක්වා ශ්‍රම බළකායට එක් වන මේ පිරිස සම්බන්ධයෙන් ආණ්ඩු වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කළේය.
“බොහොම තරුණ ජවය තිබෙන, ඉවසීමක් නැති පිරිසක් මේ කාලය තුළ ශ්‍රම බළකායට එකතු වෙනවා, ඒ අයට අවස්ථා නැතිනම්, ඒ අයට රට දාලා යන්න තියෙන අවස්ථා හිර කරලා නම්, බංග්ලාදේශයේ, නේපාලයේ සහ මැඩගස්කරයේ වාගේ ක්ෂණික පිපිරීම් වලට ඉඩ තියෙනවා. මේක දැඩි අවධානය යොමු කළ යුතු එක සාධකයක්. නමුත් කෙටි කාලීනව ශ්‍රම බළකායේ හිඟයක් නිර්මාණය වීම ගැන අපි කලබල විය යුතු නැහැ. ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මේ ශ්‍රම බළකායට පවා අවස්ථා තිබෙනවා ද ? යන්න යි”.
- අර්බුදයේ නව මානයන්
මෙහි දී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ භෞතික සැලැස්ම ගැන අනවශ්‍ය ලෙස කලබල නො විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්න කවුරුත් උත්සාහා කරන්නේ නැහැනේ, ඔවුන්ට අවශ්‍ය කරන්නේ සේවා අංශයේ හරි කර්මාන්ත අංශයේ හරි රැකියාවල් කරන්න. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම තමයි දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ගමේ ජීවත් වන මේ තරුණයින්ට කොළඹට ආවට පස්සේ රස්සා නැතිනම් අන්න එතැන අර්බුදයක් තියෙනවා”.
වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වර්ධනය වීම ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව, 2012 මුළු ජනගහයෙන් 7.9%ක් වූ මෙම ජනගහනය 2024 දී 12.6%ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙය ගැඹුරින් සලකා බැලිය යුතු ඉහළ යාමක් බව ද කීවේය.
“මේ අයගේ ප්‍රතිශතය 2012ට සාපේක්ෂව 2024 වන විට දෙගුණයකට ආසන්න වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. මේ අයගෙන් බහුතරයක් (65-75) වැඩ කළ හැකි තත්ත්වයක ඉන්නේ. නමුත් ඔවුන්ව බලෙන් විශ්‍රාම ගන්වා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිශතය දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙනවා. ඒ එක්කම මේ ජනගහනය සම්බන්ධයෙන් නව ප්‍රශ්න හා පැරණි ප්‍රශ්න ද ක්‍රමයෙන් වර්ධනය වෙනවා” යැයි කී මහාචාර්ය සමරජීව එම ප්‍රශ්න අතර, සෞඛ්‍ය ප්‍රශ්න, සුභසාධන ප්‍රශ්න, වැඩිහිටි නිවාස සම්බන්ධ ප්‍රශ්න ආදි ප්‍රශ්න ලැයිස්තුවක් තිබෙන බව කීවේය.
- විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නය
මෙහි දී වඩාත් සංකීර්ණ හා සංවේදී ප්‍රශ්නය නිර්මාණය කරනු ඇත්තේ විශ්‍රාමිකයින්, එනම් රජයේ විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් බව කී මහාචාර්යවරයා, 2014 දී රාජ්‍ය සේවයේ යෙදී සිට (හමුදාව ද ඇතුළත්ව) විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් 400,000ක් සිටි බවත් 2024 වන විට එම සංඛ්‍යාව 600,000කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දුන්නේය.
මෙය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි ආකාරය පැහැදිලි කළ මහාචාර්ය සමරජීව සංඛ්‍යා දත්ත සහිතව එහි ප්‍රමාණය පැහැදිලි කළේය, “මේ පිරිස අතරට වැන්දඹු සහ අනත්දරු අරමුදලේ ප්‍රතිලාභ ලබන පිරිස ද ඒ කළ විට ලක්ෂ හතකට ආසන්න හෝ වැඩි පිරිසක් රජයෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නවා. මේ වැන්දඹු සහ අනත්දරු අරමුදලට දායක වෙන්න අදාළ පුද්ගලයා යම්කිසි මුදලක් ගෙවිය යුතු වුණත් රාජ්‍ය සේවකයින්ට හිමි වන විශ්‍රාම වැටුප 100%ක් ගෙවන්නේ රජයේ මුදල්වලින්. 2015 දී විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 150කට ආසන්න මුදලක් වැය කරලා තියෙනවා, මේ වන විට අපි රුපියල් බිලියන 400ක් හෝ ඊට ආසන්න මුදලක් වැය කරනවා. මෙහි දී අපට පේනවා අදාළ මුදල ඉතා ඉහළ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව”.
2022 ආර්ථික අර්බුදය සමයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමේ කාලය වර්ෂ කිහිපයකින් දීර්ඝ කළ බව සිහිපත් කළ ඔහු ‘ක්ෂණිකව ආණ්ඩුවේ වියදම් අඩු කර ගැනීම’ මෙහි කෙටි කාලීන අරමුණ වූ බව ද කීවේ ය.
“මේක කළ ගමන් හරි පුදුම දෙයක් සිදු වුණා. 2022 දී රජයේ සේවකයින්ගේ වැටුප් වශයෙන් ගෙවන මුදල 4%කින් අඩු කර ගත්තා. ඒත් ඒ එක්ක විශ්‍රාම වැටුප් සඳහා ගෙවන මුදල 6.3%කින් වැඩි වුණා. අවසානයේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම අර්බුදයට තිරසාර විසඳුමක් නොවන බව ඔප්පු වුණා. එ් නිසා ආණ්ඩුව සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ කරුණ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප වැනි 100%ක් රාජ්‍ය වැය බරක් දරන දේවල් හරහා බර පැටවෙන්නේ අනාගත පරපුරට. ඒ වගේම වියපත් ජනගහණය හරහා සෞඛ්‍ය සේවයට ඇති වන පීඩනය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ බරත් දරන්න වෙන්නේ අනාගත බදු ගෙවන්නන්ට. ඒ කියන්නේ අපි මේ දැන් ඉන්න අයගේ සුඛවිහරණය වෙනුවෙන් අනාගත පරම්පරාවලට පුදුමාකාර වගකීමක් පවරනවා. මේ අය ගෙවන්නේ නැහැ, නමුත් ඔවුන් වෙනුවෙන් අනාගත පරපුරට ගෙවන්න සිදුවෙනවා”. මහාචාර්ය රොහාන් සමරජීව වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
සටහන – තුෂාල් විතානගේ











