අරගලය කියා දුන්න පාඩම බොහෝ දේශපාලනඥයින් නිසි ලෙස අවබෝධ කරගෙන නැහැ – ෂාන් විජයලාල් ද සිල්වා – දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය

දීර්ඝ කාලයක් සක්‍රීය දේශපාලනයේ සිටි ඔබ මේ වන විට පළාත් සභාවේ හෝ පාර්ලිමේන්තුවේ නැහැ. මේ තත්ත්වය තුළ ඔබ දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වී සිටිනවාද ? නැතහොත් විශ්‍රාම සුවයෙන් සිටිනවාද ?

පූර්ණ කාලීනව දේශපාලනය කරන කෙනෙකුට විවේකය හෝ විශ්‍රාමය කියලා දෙයක් නැහැ. පදවි තනතුරු නොතිබුණත් ජනතාවගේ ප්‍රශ්න ගැන, ප්‍රදේශ බද ප්‍රශ්න ගැන නිරන්තර අවධානයෙන් සිටීමට අපට සිදුවෙනවා. මේ දිනවල රාජකාරිමය වශයෙන් ලොකු දෙයක් නොකළත් පෞද්ගලික වශයෙන් ජනතාවත් එක්ක, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා, විවිධ ප්‍රජා සහ සුභසාධන කටයුතුත්  ඒ අතර තිබෙනවා.

ඔබතුමත් පූර්ණ කාලීන දේශපාලනඥයෙක් ද ?

දේශපාලනය පූර්ණ කාලීනව කළ යුතු නිසා තමයි රේගු අධිකාරී තනතුරෙන් ඉල්ලා අස්වෙලා දේශපාලනයට ආවේ. මම හිතුවා යම් දෙයක් කරනවා නම් ඒ වෙනුවෙන් කළ යුතු උපරිම කැප කිරීම කළ යුතුයි, සම්පූර්ණ කාලය යෙදවිය යුතුයි කියලා, ඒ වගේම වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම ඒ කර්තව්‍ය කළ යුතු කියලා. ඒ නිසා තමයි මුලින්ම 1993 දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ ඉදිරිපත් වුණ සෑම මැතිවරණයකින්ම මම ජයග්‍රහණය කළා. මට එසේ කිරීමට හැකි වුණේ, පූර්ණ කාලීනව, මගේ හෘද සාක්ෂියට එකඟව දේශපාලන කටයුතුවල නියැලුණ නිසයි. අද මම දේශපාලන තනතුරු නොදැරුවත් පෞද්ගලික මට්ටමින් පූර්ණ කාලීන දේශපාලන කටයුතු, පක්ෂයේ කටයුතු කරනවා.

76 වසරක් පුරා මේ රට පාලනය කළ දේශපාලනඥයෝ කියන්නේ හොරු, දූෂිතයෝ කියන කියමන මේ ආණ්ඩුව නිතර නිතර කියනවා.. රේගු අධිකාරී තනතුර වැනි වරප්‍රසාදිත සුපිරි තනතුරක් අතහැර පූර්ණ කාලීන දේශපාලනයට පැමිණි ඔබටත් මේ කියමන වංලගු ද ?

අරගලය අවස්ථාවේදීත් පොදුවේ 225ටම ඇඟිල්ල දික් කළා. ‘225ම එපා’ කියන මතය සමාජ ගත කළා, ඒ වගේම දේශපාලනඥයෝ හොරුය, දූෂිතයෝය, අපරාධකාරයෝය කියන මතය සමාජගත කළා. මම පළාත් සභාව වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කළා, පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සහ ආණ්ඩුකාර ධුරය ඇතුළු පළාත් සභාවේ සියලුම තනතුරු දරා තිබෙනවා. ඒ නිසා දේශපාලනයේ යථා ස්වභාවය ගැන මට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. මේ සෑම තැනකම ඔබ කියන ආකාරයේ චෝදනාව එල්ල කළ හැකි යම් පිරිසක් සිටිනවා. ඒත් සියලු දෙනාටම මේ ආකාරයෙන් චෝදනා කිරීම නම් කිසිසේත් සාධාරණ නැහැ. මගේ දැනුම අනුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද කිසිම චෝදනාවක් එල්ල කිරීමට නොහැකි 40-50ක දේශපාලනඥයින් පිරිසක් මා සිටි පාර්ලිමේන්තුවේ සිටියා. නමුත් චෝදනා කරන විට තෝරා බේරා ගෙන චෝදනා නොකරන නිසා දෝ සියලු දෙනාටම චෝදනා කරනවා. නමුත් මම යළිත් අවධාරණය කරනවා සියලුම දේශපාලනඥයින්ට මේ ආකාරයෙන් චෝදනා කිරීම අසාධාරණයි.

දකුණේ දේශපාලන මතය සෑම මැතිවරණයකදීම තීරණාත්මකයි. ඇත්තටම දකුණේ දේශපාලනයේ තීරණාත්මක සාධක මොනවාද ?

ලංකාවේ දේශපාලන වෙනසක මුල්ම වෙඩිල්ල පත්තු කරන්නේ දකුණේ දේශපාලනයයි. 1993 දී ඒක තීරණාත්මක ලෙස පෙනුණා. ඒ වන විට 17 වසරක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම කළ නොහැකි බවට ප්‍රබල මතයක් තිබුණා. නමුත් 1993 දකුණු පළාත් සභා මැතිවරණයෙන් තමයි එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය අවසන් කරන තීරණාත්මක වෙඩිල්ල පත්තු වුණේ. දකුණ වමට හරවන්න ගෙන ගිය වැඩපිළිවෙළ සමස්ත රටේම දේශපාලන පෙරළියකට අඩිතාලම දැම්මා. ඒ සටනේ හිටිය කෙනෙක් ලෙස මෙහි වැදගත්කම මම පැහැදිලිව දැක්කා. ආණ්ඩුවේ මැර බලයට, ධන බලයට  යටත් නොවූ දකුණේ ජනතාව ඡන්ද පොළට ගිහින් එජාපයේ 17 වසරක පාලනය අවසන් කරන තීරණාත්මක ඡන්දය දමා පොදු පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නා. එදා සිට වර්තමානය දක්වා ම දකුණේ ඡන්ද ප්‍රතිඵලය රට අලුත් මගකට යොමු කරන දේශපාලන වෙනසකට පාර කියන ප්‍රදීපාගාරයක් බවට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ජනතාව තුළ විශාල මතයක් තිබෙනවා ජාතික ජන බලවේගය දුන්න පොරොන්දු ඉටු ක‌ළේ නැහැ කියලා. ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා, අපේක්ෂාභංගත්වයෙන් සිටින බව ජනතාවත් එක්ක ජීවත් වෙන දේශපාලනඥයෙක් ලෙස මට පැහැදිලිව පේනවා.

ඔබ ඔය කියන දකුණේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ගත් තීන්දුව ගැන අද ඔබට මොකද හිතෙන්නේ ?

එදා පැවති තත්ත්වය තුළ ජනතාව ක්ෂණික සහනයක් වෙනුවෙන් යම් දේශපාලන තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අනුව මාළිමාවෙන් ජනාධිපතිවරයෙක් පත් වුණා. නමුත් පසුගිය මහ මැතිවරණයේ දී සහ පළාත් පාලන මැතිවරණයේ දී මාළිමාවේ ඡන්ද පදනම සැලකිය යුතු ලෙස අඩු වුණා. ජනාධිපතිවරණයේ දී මාළිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දුව ගත් ජනතාවගෙන් කොපමණ පිරිසක් අද ඒ මතයේ ඉන්නවාද කියලා මම දන්නේ නැහැ.

ඔබ එවැනි අදහසක් දරන්නේ ඇයි ?

වර්තමානය වන විට ජනතාව තුළ විශාල මතයක් තිබෙනවා ජාතික ජන බලවේගය දුන්න පොරොන්දු ඉටු ක‌ළේ නැහැ කියලා. ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා, අපේක්ෂාභංගත්වයෙන් සිටින බව ජනතාවත් එක්ක ජීවත් වෙන දේශපාලනඥයෙක් ලෙස මට පැහැදිලිව පේනවා.

මේ පොරොන්දු අතර පළාත් සභා මැතිවරණය පවත්වන බවට වන පොරොන්දුවත් තිබෙනවා. හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේ ද ?

මාළිමාව ආණ්ඩුවත් පරණ ආණ්ඩු වගේම සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරියට දමමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවට සැකයක් තිබෙන නමුත්, දෙමළ ඩයස්පෝරාවෙන් සහ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාවෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ 2026 දී අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වයි කියලා මම පෞද්ගලිකව හිතනවා.

ඔබ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවාද ?

ජනතාවගෙන් එවැනි ඉල්ලීම් රැසක් තිබෙනවා. ලංකාවේ පළාත් සභා දේශපාලනය ගැන කතා කළොත් මට තරම් ඒ ගැන අත්දැකීම් කිසිම දේශපාලනඥයෙකුට නැහැ. පළාත් සභාව තුළ තිබෙන සියලු තනතුරු දරපු ලංකාවේ ඉන්න එකම දේශපාලනඥයා මමයි. පළාත් සභා මන්ත්‍රීකම, නියෝජ්‍ය සභාපතිකම, සභාපතිකම, ඇමතිකම්, මහ ඇමතිකම (අඛණ්ඩව තෙවරක්) සහ පළාත් ආණ්ඩුකාරකම කියන සියලුම තනතුරු මම දරලා තිබෙනවා. මම හිතනවා ජනතාව වගේම මම නියෝජනය කරන දේශපාලන පක්ෂයත් මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා.

විශිෂ්ඨ දේශපාලනඥයින්ගේ නිජබිම වූ දකුණ වර්තමානය වන විට පාතාලය හා මත්ද්‍රව්‍ය වල නිජබිම බවට වෙලා කියලා කියනවා. දකුණේ දේශපාලනය මෙවැනි කලු පැල්ලමක් එක් වුණේ කොහොමද ?

මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්, සිදු නොවිය යුතු දෙයක් ලෙස මම දකිනවා. දශක තුනකට අධික කාලයක් පුරා දේශපාලනය කළ දේශපාලනඥයෙක් ලෙස මම කිසිම දාක පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සමඟ සම්බන්ධතා පවත්වා නැහැ. මට එවැනි චෝදනාවකුත් නැහැ. අපි දන්නවා මෙවැනි පුද්ගලයින්ටත් බලපෑම් කළ හැකි යම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන් දේශපාලනඥයින්ට සල්ලිත් වියදම් කරනවා. නමුත් ජයග්‍රහණය කළ පසු දේශපාලනඥයින්ට මේ පාතාල කල්ලිවල, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සිදුවෙනවා. ඒක ඉතාම අසීරු වගේම අවදානම් කාරණයක්.

ඔබත් දකුණේ දේශපාලන ප්‍රබලයෙක්. ඔබලාගේ පාලන කාලයේ දකුණේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පියවර ගත්තේ නැද්ද ?

පාතාලය මර්ධනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම වෙනුවෙන් අපිත් විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කළා, ක්‍රියාමාර්ග ගත්තා. ඒවා 100%ක්ම සාර්ථක නොවුණත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත්තා. මම කියන්නේ දේශපාලන භේදයකින් තොරව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අතුගා දැමීමට අපි රජයට සහ අදාළ අංශවලට සහයෝගය දැක්විය යුතුයි.

පුනරුද ආණ්ඩුවට වසරක් ගත වෙලා. ආණ්ඩුවේ දෙවැනි අයවැයත් ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ගෙවී ගිය කාලය ගැන ඔබගේ අදහස කුමක් ද ?

අපි දන්නවා ජනතාව විශාල බලාපොරොත්තුවකින් තමයි යම්කිසි ආණ්ඩුවක් බලයට පත් කරන්නේ. නමුත් ජනතාව බලාපොරොත්තු වන සියලුම දේවල්, ජනතාව බලාපොරොත්තු වන කාල සීමාව තුළ ඉටුකරලීම ප්‍රායෝගිකව අසීරු දෙයක්. ඔ්නෑම ආණ්ඩුවක පාලන තන්ත්‍රයේ අවසාන යුගයේ දී ඒ ආණ්ඩුව ගැන ජනතාව තුළ යම් අප්‍රසාදයක්, කළකිරීමක් ඇති වෙනවා, ඒක ස්වභාවික තත්ත්වයක්. නමුත් මේ ආණ්ඩුව දිහා බැලුවොත් ආරම්භක යුගයේ දීම ආණ්ඩුව බලයට පත් කළ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ උදවිය බලයට එනකොට ජනතාවට අසීමිත පොරොන්දු රාශියක් දුන්නා, ලොකු බලාපොරොත්තු ඇති කළා. ඒ වගේම බැරෑරුම් ප්‍රශ්න ඉතාම සරල ලෙස ජනතාව හමුවේ තිබ්බා. නමුත් ආණ්ඩුවට මේ කිසිම පොරොන්දුවක් නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා මැති ඇමැතිවරුන්ට සහ ජනාධිපතිවරයාට, ‘තව අවුරුදු 20ක් ඉන්නේ අපි’, ‘මේක ගත්තේ ආපසු දෙන්න නෙමෙයි’,’අපි ලොවෙත් පරදින්නේ නැහැ’ වාගේ විවිධාකාර කතා කියන්න වෙලා තියෙනවා. ජනමතයේ සිදුව තිබෙන මේ වෙනස ගැන ජනාධිපතිවරයා දැනුවත්ව සිටින බව මේ අනුව පේනවා. එසේ නොවන්නේ නම් ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දක් ගත වෙන්නත් ඉස්සර මේ වගේ කතා කියන්න අවශ්‍ය නැහැ. මගේ දැනුම අනුව ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ අප්‍රසාදයට, ජනතාවගේ කළකිරීමට සහ ජනතාවගේ බලාපොරොත්තු සුන් කළ පාලන තන්‍ත්‍රයක් ලෙසයි මම මේ ආණ්ඩුව දකින්නේ.

විපක්ෂය ගැන ඔබගේ තක්සේරුව කුමක් ද ?

මෙතෙක් කාලයක් අපි දැනගෙන හිටියේ අපේ රටේ ජනාධිපතිවරයෙක් ධුරයෙන් ඉවත් කරන්න පුළුවන්  ව්‍යවස්ථානුකූල දෝෂාභියෝගයකින් පමණයි කියලා. නමුත් ජනතාව පාරට බැහැලා, අරගලයක් කරලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් කළා. ඒ අරගලයට සහභාගී වූ තරුණ – තරුණියන් සහ මධ්‍යම පංතිය  සමාජයට දුන්න පණිවුඩය මේ රටේ දේශපාලන පක්ෂ කොපමණ සංඛ්‍යාවක් නිවැරදිව අවබෝධ කර ගත්ත ද කියලා මම දන්නේ නැහැ. මම අරගලය ගැන 100%ක් එකඟ නැහැ. නමුත් අරගලය දුන්න පණිවුඩය ඉතාම වැදගත්. මොන පාලකයා වුණත්, මොන පාලන තන්ත්‍රය වුණත් ජනතා බලය ඉදිරියේ දී අසරණ බව අරගලය කියා දුන්නා. වර්තමානය වන විට විරුද්ධ පක්ෂ ගණනාවක් තිබෙනවා. නමුත් සැබවින්ම ජනතාව වෙනුවෙන් මේ පාලන තන්ත්‍රය වෙනස් කරලා නව පාලන තන්ත්‍රයක් බිහි කිරීමේ සැබෑ වුවමනාවක් ඔවුන්ගෙන් කී දෙනෙකුට තිබෙනවා ද කියලා මම දන්නේ නැහැ. මම දකින ආකාරයට තමන් ගැන පෞද්ගලිකව හිතමින් කටයුතු කරන නායකයින් අද විරුද්ධ පක්ෂයේ ඉන්නේ. යම්කිසි අවස්ථාවක යම් යම් පොදු කාරණා වෙනුවෙන් එකට පෙනී සිටියත් ඒක යම්කිසි ප්‍රායෝගික තලයකට ගේන්න කැප කිරීමක් කළ හැකි පිරිසක් ඔවුන් අතර නැහැ. ඒ වගේම යුගයේ අවශ්‍යතාව අපි නිවැරදිව අවබෝධ කර නොගත්තොත් අපට ජනතාවගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය විරුද්ධ පක්ෂයේ සියලුම නායකයින් මැනවින් අවබෝධ කරගත යුතුයි.

සංවාද සටහන- භාතිය බරුකන්ද

උපුටා ගැනීම – රතුඉර පුවත්පත, 2025 නොවැම්බර් 02 කලාපය

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website