පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීම් සහ දුෂ්කර සේවා ප්‍රදේශවලට මාරුවීම් සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් බලපෑම් කරන ලද බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ යළි දිවයින පුරා නව එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද ?
සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම ආකාරයක නීති විරෝධී ස්ථාන මාරුවක් සිදුකරලා නැහැ. වාර්ෂික ස්ථාන මාරු සඳහා මේ වන විට කටයුතු සිදුකරමින් තිබෙනවා. මැයි 10 වැනිදා වන විට ස්ථාන මාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6000ක් පමණ ස්ථාන මාරු ලැබීමට නියමිතයි. ඒක පෙබරවාරී මාසේ පළමු වැනි සතියේ ආරම්භ වුණේ. මේ ආකාරයට විධිමත් ස්ථාන මාරු ක්‍රියාවලියක් පසුගිය අවුරුදු 13ක කාලය තුළ සිදුවෙලා නැහැ. මාරු මණ්ඩලවල සිටියා කියලා කිව්ව සමහර සාමාජිකයෝ අවුරුදු 13-15 එකම ස්ථානයේ හිටියා. එක් වෛද්‍යවරයෙක් අක්ෂි රෝහලේ අවුරුදු 13ක් හිටියා තමන්ට නියමිත ජාතික රෝහලේ මාරුව ගන්නේ නැතිව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතා නතර කරලා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ හරහා දීර්ඝ කාලයක් අසාධාරණයට ලක්ව සිටි වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙනවා. මේකට බොහෝ දෙනෙක් කැමතියි. මේකට අකමැති වෙලා ඉන්නේ මෙපමණ කාලයක් තමන්ගේ බලය තමන්ගේ බලය පාවිච්චි කරලා, තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ බිරින්දෑවරු තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගාණක් රඳවා ගෙන සිටි අය. ඒ නිසා ස්ථාන මාරු ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය ස්ථාපිත කිරීමේ තීරණයක් ගැනීමට හේතු වුණේ පසුගිය කාලය පුරාම මාධ්‍ය වෘත්තිකයින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් බව මුලින්ම සඳහන් කළ යුතුයි. ඒ අනුව මාධ්‍ය අධ්‍යාපනයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මාධ්‍ය වෘත්තිකයින් තමයි මේ ආයතනය පිහිටුවීම වෙනුවෙන් ආරම්භයක් ගත්තේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පහසුකම් සැලසීම පමණයි කළේ. මේ ආයතනය ස්ථාපිත කිරීම වෙනුවෙන් අදාළ පනත් කෙටුම්පතට 2025.04.07 වැනිදා ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා ගත්තා. එතැන් සිට මාස 08කට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කිරීමෙන් පසුව තමයි මේ පනත් කෙටුම්පත සකස් කළේ. ඒ අනුව ඉදිරි කටයුතු කරනවා. මෙය ස්වාධීන ආයතනයක් ලෙසයි ස්ථාපිත කරන්නේ. මුල් වසර කිහිපයේ දී එහි කටයුතු ආරම්භ කර පවත්වා ගෙන යාමට මහා භාණ්ඩාගාරය හරහා යම් ප්‍රතිපාදන ලබා දෙනවා. එතැන් සිට මෙය ස්වාධීන වෘත්තිකයින්ගේ ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුව.
රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට නොමිලේ සංචාරක වීසා ලබා දීමේ මාස හයක වැඩසටහනක් ශ්‍රී ලංකාව හඳුන්වා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ව ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. 2025 ජූලි 21 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම මුලපිරීම සඳහා අනුමැතිය ලබා දුන් අතර, මෙම පියවර මඟින් සංචාරකයින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරනවා. ආගමන හා විගමන පනත යටතේ, නොමිලේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් නීති කෙටුම්පත්කරු විසින් සකස් කරන ලද කෙටුම්පත් රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට සංචාරය කිරීම වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීමෙන් සංචාරක අංශයේ ප්‍රකෘතිමත් වීම සහ වර්ධනයට සහාය වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. යෝජිත වැඩසටහන අනුව නොමිලේ සංචාරක වීසා හිමිවන රටවල් වන්නේ, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේනය, බෙලාරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, මැලේසියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, පෝලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය යන රටවල් 39යි.
2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
2026 අයවැය මඟින් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කලට සිදුකරන වෙනස්කම් ඇතුළත් කරමින් එම පනත සඳහා සංශෝධන හඳුන්වා දීමට යෝජනා කළා. ඒ අනුව දැනට පවතින විදුලි සංදේශ බදු අනුප්‍රමාණයන් සහ 2014 සිට අදාළ සියලුම බදු පිළිබිඹුවීම, අය නොකළ ආදායම් (බොල් ණය) මත බදු අදාළ වීම සහ එම පනතේ විධි විධාන විදුලි සංදේශ සැපයුම්කරුවන්ට අදාළ වන පරිදි පුළුල් කිරීම පිණිස වන විධිවිධාන ඇතුළත් කරමින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව කෙටුම්පතක් සකස් කර තිබෙනවා. ඔබ අසන ප්‍රශ්නයට උත්තර දුන්නොත් අදාළ බදු අඩු – වැඩි වෙන්නේ කොහොමද කියලා දැනට මට කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් බදු සංශෝධනයක් සිදුවෙනවා.
සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණ බව ඔබ ප්‍රකාශ කළා. මේ පනත සම්මත වීමත් සමඟ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි වෙනවා ද ?, ඒ වගේම සමාජ මාධ්‍ය නියාමයන පනතත් අහෝසි වෙනවාද ?
මේ පනත් තුනෙන් ආවරණය වන විෂය කොටස් වෙනස්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මේ පනත සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් වසර ගණනාවක් තිස්සේ සමාජයේ තිබෙනවා. ඒ කොටස් ඉවත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය මහජන අදහස් විමසීමක් සිදු වුණා. ඒ වගේම 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, අධිකරණ අමාත්‍යාංශයත්, ඒ වගේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයත් නිලධාරී මට්ටමේ සහ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්තුවා. අපි ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. මේ පසුබිම තුළ මෙම පනත සංශෝධනයට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් තිබෙනවා. අවශ්‍ය සංශෝධන කෙටුම්පත් කරමින් තිබෙනවා. මේ සියල්ල සමඟ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරියේ දී වෙනම ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා. ඒ වගේම පසුගිය කාලය තුළ සමාජයේ වර්ධනය වුණ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට අලුත් නීති අවශ්‍යය බව රජය තීරණය කළා. ඒ අනුව තමයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ. ඒ අනුව මේ පනත් තුන වෙන වෙනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගනගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම වෙසක් කාලය තුළ විදුලි බලය විශාල වශයෙන් පාවිච්චි වෙනවා. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ සමඟ වෙසක් උත්සව සමයේ කිසියම් වෙනසක් සිදු වෙනවාද ?
රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවගේ ආර්ථික හා සමාජයීය ජීවිතය මුළු මනින්ම නතර නොකර, අඩපණ නොකර සාමාන්‍ය තත්ත්වය කළමනාකරණය කර ගැනීමටයි. ජනතාවගේ සියලුම ක්‍රියාකාරකම් අඩපණ කරලා මේ තත්ත්වයට මුහුණ දෙන එක පහසුයි. කොවිඩ් කාලේ කළේ ඒක. රට වහලා ඉන්ධන අර්බුදය කළමනාකරණය කරන්න ගියා. නමුත් මේ අවස්ථාවේ අපි ඊට වඩා අසීරු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ආර්ථිකය සහ ජනතාවගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යන අතරතුර මේ බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ දෛනික ජීවිතය කියලා කියන්නේ ආර්ථික කටයුතු පමණක් නොවෙයි. ජනතාවගේ සංස්කෘතික ජීවිතය, සමාජයීය ජීවිතය, වින්දනීය සෞන්දර්යාත්මක ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුදු උත්සව හෝ වෙසක් උත්සවය, පොසෙන් උත්සවය සහ ඇසළ උත්සවය වැනි ජාතික උත්සව කිසිම ආකාරයකින් කප්පාදු කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒවට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දෙනවා. නමුත් ලෝකයේ පවතින තත්ත්වය අනුව අපි සියලු දෙනාම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සහ දැනුවත් භාවිතයට අනුගතව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්තුමාත් කිව්වා අපි සංගීත සංදර්ශන පවා සීමා කිරීමට නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ විට සංගීත සංදර්ශන වැනි ක්‍රියාකරම් සඳහා ජාතික විදුලිබල පද්ධතියෙන් නොවෙයි විදුලිය ලබා ගන්නේ. ජෙනරේටර් භාවිතයෙන්. ඉදිරියේ දීත් මේ ආකාරයට කටයුතු කරන්න කියලා තමයි අපි කියන්නේ. එවැනි පියවර මඟින් බලශක්තිය කළමනාකරණය කර ගැනීමට සහ අදාළ උත්සව පැවැත්වීමටත් අවස්ථාව ලැබෙනවා.
ජෙනරේටර් භාවිතා කිරීම ඉහළ ගියොත් ඩීසල් භාවිතය ඉහළ යනවා. එහෙම වුණොත් රජයේ අරමුණ ඉටු වෙයිද ?
ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය පාවිච්චි කරනවාට වඩා අපට ඒක වාසිදායකයි.
බල ශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට ගෙන ඇති පියවර ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට හිමි ඉන්ධන දීමනාව ලබාදීමේ දී ඉන්ධන ලබාදීමට වඩා මුදල් ලබාදීමක් තමයි සිදු වුණේ. අපි පසුගිය මාර්තු මාසයේ දෙවරක් ඉන්ධන මිල ඉහළ දැම්මා. කලින් තිබුණ ඉන්ධන මිලට සාපේක්ෂව තමයි ඒ ගණන් හැදීම කරන්නේ. ඒ අනුව අදාළ සියලු දෙනාගේම ගෙවන මුදලට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. නිලධාරී කාණ්ඩය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා එකිනෙක කණ්ඩයෙන් අඩුවන ප්‍රමාණය ගැන මේ අවස්ථාවේ තොරතුරු ලබාදීමට මට හැකියාවක් නැහැ. නමුත් සැලකිය යුතු මුදලක් ඉතිරි වෙනවා.
රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රගතිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
අපි අප්‍රේල් 01 වැනිදා මිල වැඩි කිරීමක් කළේ නැහැ. යළිත් ඉන්ධන මිල සංශෝධනය කිරීමක් ගැන සලකා බලන්නේ මැයි 01 වැනිදා. දැන් පවතින තත්ත්වය තුළ අප්‍රේල් 30 වැනිදා දක්වා මිල ඉහළ දැමීමක් නොකර යන්න පුළුවන්. නමුත් තත්ත්වය අනුව තීරණ වෙනස් වෙන්න පුළුවන්. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු ඉන්ධන මිල ‘අසීමිත ලෙස’ ඉහළ ගියොත් අපිට අනාවැකි කියන්න බැහැ. නමුත් අපි මේ වන විට තෙල් ඇණවුම් කරලා තිබෙනවා, ඒවා ලැබෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල යළිත් වැඩි නොකිරීම තමයි අපේ බලාපොරොත්තුව.
ඔබ මේ ආකාරයෙන් ප්‍රකාශ කළත් පසුගිය මාසයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අපට කිව්වේ මාර්තු මාසයේ මිල ඉහළ දාන්නේ නැහැ කියලා. ඉදිරි මාසය සඳහා අවශ්‍ය තොග සංස්ථාව සතුව තිබෙන බව ඔහු කිව්වා. ඔබ මේ ගැන මොකද කියන්නේ ?
අපි පුළුවන් තරම් උත්සාහා කරනවා අප්‍රේල් මාසය තුළ මේ මිල ගණන් පවත්වා ගෙන යාමට. නමුත් යුද්ධය තීන්දු කරන්නේ අපි නොවන නිසා හෙට දිනයේ මිල ගණන් ගැන කිසිවෙකුට අනාවැකි කියන්න බැහැ. නමුත් ලංකාවේ ඉතා කුඩා පිරිසක් ඉන්නවා අනාවැකි කියන්න පුළුවන් අය. ඔවුන්ට පමණයි හෙට ඉන්ධන මිල ගැන අනැවකි කියන්න පුළුවන්. අනෙක් කිසිවෙක්ට ඒ ගැන කිසිවක් කියන්න බැහැ.
ඉන්ධන සහන සැලසීම වෙනුවෙන් රජය මාසිකව කොපමණ මුදලක් වැය කරනවාද ?
ඔව්, ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 20ක්, කෝටි 2000ක් වෙන් කරලා තිබෙනවා.
ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයේගීතා වේදිකාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. මෙහි අරමුණු ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?, මේ අරමුණ ජය ගන්න රාජ්‍ය සේවකයින්ට ශක්තියක් සහ ආකල්පමය වෙනසක් තිබෙනවා ද ?, රජය මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද ?
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා 2025.10.21 කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී අනුමැතිය ලැබුණා. ඒ යටතේ ජාතික ප්‍රතිපත්ති රාමුවට සහ සවිබල ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන දැක්මට අනුකූලව රාජ්‍ය අංශය නවීකරණය කිරීමේ මූලික පියවරක් වශයෙන් රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි මෙවලම් ද ඇතුළුව ඩිජිටල් සන්නිවේදන හා සහයෝගීතා වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය හඳුනා ගත්තා. ඒ අනුව සියලුම රජයෙ සේවකයින් සඳහා, සන්නිවේදනය සහ සහයෝගීතාවය සඳහා ආරක්ෂිත හා නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 626ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගීතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඔබගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. රජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ඔබ සඳහන් කළ සහ තවත් අය සඳහන් කරන, චෝදනා කරන සහ අඩුපාඩු ලෙස සලකන සියලුම ගැටලු සහ අභියෝගවලට විසඳුම් ලබාදීමේ අරමුණින්. ඩිජිටල්කරණය ආයතන මට්ටමින් සිදුකරන විට යම් යම් ආකල්පමය ප්‍රශ්න තිබුණා. උදාහරණයක් ලෙස සෞඛ්‍ය ක්ෂේතුයට යම් යම් ඩිජිටල්කරණ ව්‍යාපෘති හඳුන්වා දෙන විට ඍණාත්මක ආකල්ප තිබුණා. නමුත් මේ වන විට බැංකු සහ සහ මූල්‍ය ක්ෂේතුයේ, ආගමන හා විගණන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයයතන රැසක ඉතාම සාර්ථකව ඩිජිටල්කරණය ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව උදාහරණයකට ගත්තොත් ඉතාම කුඩා ව්‍යාපාරිකයින් පවා ඩිජිටල්කරණයට යොමුවෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට ඉතා ඉක්මනින් මේ ක්‍රියාවලියට හුරුවීමට සහ භාවිතා කිරීමට හැකියාව ලැබෙයි කියලා. මේ වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පවා විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් අවශ්‍ය අඛණ්ඩ දැනුවත් කිරීම් සහ අධ්‍යාපනය ලබාදීමට අපි පියවර ගන්නවා. ඒ වගේම රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ වගේම සමහර ජාත්‍යන්තර ණය ව්‍යාපෘති මේ වැඩපිළිවෙළට සම්බන්ධ කර තිබෙනවා. මේක කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් විට නීති වෙනස් කිරීමට සිදුවිය හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර අධිකරණ අමාත්‍යාංශය විසින් ගනිමින් සිටිනවා. මේ වැඩපිළිවෙළ මීට දශකයකට පෙර ආරම්භ කළ යුතුව තිබූ වැඩසටහනක්. නමුත් අපි වේගයෙන් අදාළ ඉලක්කය කරා ගමන් කරනවා.
දේශීය වෙළඳපොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ තීන්දුව ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද ?
2026 මැයි මාසය වනවිට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස, සම්බා සඳහා විකල්ප ලෙස සලකන සහල් වර්ග ආනයනය කිරීමට අමාත්‍ය්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව, HS Code 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා, කීරි සම්බා සහ කිරි/පොල් පොන්නි ඇතුළු GR 11 ලෙස හඳුන්වන සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සහල් නිෂ්පාදනය මෙරට සමස්ත අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කළ යාවත්කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම තත්ත්වය දුන්නා.
නව තීරණය අනුව ඕනෑම ආනයනකරුවෙකුට 2026.04.01 දින සිට 2026.04.30 දින දක්වා කාලසීමාව තුළ එම සහල් ආනයනය කිරීමටත්, එම සහල් තොග 2026.05.31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් හැකියාව තිබෙනවා. එමෙන්ම, මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ද නිදහස් කර තිබෙනවා.
පසුගිය මාර්තු 31 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
රතුඉර පුවත්පතේ 2026 අප්‍රේල් 05 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපයකි.
සටහන – භාතිය බරුකන්ද
















