විදුලි බල අර්බුදයක පෙරනිමිති වෙත්ද ?: විසඳුම් සොයාගත හැක්කේ කෙසේ ද ? – විද්වතුන්ගේ අදහස කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 268 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘විදුලි බල අර්බුදයක පෙරනිමිති වෙත්ද ?: විසඳුම් සොයාගත හැක්කේ කෙසේ ද ?’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු, ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ සහ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන සහභාගී වූ අතර මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. එම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

අර්බුදයේ මුල

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කර ඇති හමුදා මෙහෙයුම් වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඉරානයේ අනුමැතිය හිමිවන නෞකා වලට පමණක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇත. ඒඅතර ඉරානය විසින් ගල්ෆ් කලාපයේ බලශක්ති පර්යන්ත වෙත පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීම අඛණ්ඩව සිදුකරන අතර මෙම සමස්ත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉන්ධන සැපයුම සීමා වී ඇති අතර වාර්තාගත ලෙස මිල ගණන් ද ඉහළ ගොස් ඇත.

ගෝලීය වශයෙන් වර්ධනය වන මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ද බලශක්ති ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර විදුලිබල අර්බුදයක පෙරනිමිති පහළ වෙමින් පවතී. මීට ප්‍රතිචාර වශයෙන් රජය පසුගිය මාර්තු 29 වැනිදා ‘බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන ආරම්භ කළේය.

බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව රජය ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් විය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි”.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ද විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට මාර්ගෝපදේශ නිකුත් කළ අතර එම මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් පෞද්ගලික අංශයෙන් ද ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බලශක්ති අර්බුදය ගෝලීය වශයෙන් ද අවධානයට ලක්ව ඇත. The Economist සඟරාවේ වාර්තාවකට අනුව ගෝලීය බලශක්ති අර්බුදයෙන් බැටකන රටවල් අතර ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසුවන අතර ඊට හේතු වශයෙන් The Economist සඟරාව සඳහන් කරන්නේ මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ආවරණයක් ශ්‍රී ලංකාව සතු නොවීමය.

The Economist අනාවරණය ශ්‍රී ලංකා රජයේ අදහසට ප්‍රති විරුද්ධ එකක් බවට පත්වේ. ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කරන්නේ ‘ඉන්ධන මිලදී ගැනීමට තරම් ඩොලර් රජය සතුව පවතින’ බවය. පසුගිය සමයේ බලශක්ති අර්බුදය නිර්මාණය වූයේ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රජය සතු නොවීම බව පෙන්වා දෙන දිසානායක ආණ්ඩුව රජයට ඇති තරම් ඩොලර් සහ රුපියල් තිබෙන නිසා බලශක්ති අර්බුදයක් නිර්මාණය නොවන බවට ජනතාව හමුවේ සහතික වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව 2026 වර්ෂය ‘එල්නිනෝ’ බලපෑමට මුහුණ දීමට සිදුවන වර්ෂයකි. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මෙවර නිරිතදිග මෝසම් වර්ෂවේ අඩු වීමක් වාර්තා විය හැකි බව මේ වන විට පුරෝකථනය කර ඇත. මෙම අඩුවීමේ ඍජු ප්‍රතිඵලය වනු ඇත්තේ ජාතික විදුලි ජනනයෙන් 30%කට හිමිකම් කියන ජල විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වීමය.

2019 සිට කතා කළ ප්‍රශ්නයක්

නමුත් ලංකාව මුහුණ දීමට සිදුවිය හැකි විදුලිබල ගැටලුවට එකම හේතුව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් නිරිතදිග මෝසම් වාර්ෂාව දුර්වල වීම සහ ඒ හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදන අඩුවීම පමණක් නොවේ. තවත් බහුවිධ හේතු කිහිපයක් මේ හා බැඳීපවතින බව ආචාර්ය ලක්මාල් පෙන්නා දුන්නේය.

“වත්මන් අර්බුදයේ මූලික ප්‍රකාශනය වන්නේ ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමයි. ඒවගේම ගල් අඟුරු සම්බන්ධ ප්‍රශ්නය වගේම අපටම ආවේණික තවත් ගැටලු කිහිපයක් තිබෙනවා. හෝර්මූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ වත්මන් අර්බුදය ගැන අපි 2019 සිට සාකච්ඡා කළා. ඒ වන විටත් ඉරානය කෙන්ද්‍ර කර ගනිමින් යුද ආතතියක් නිර්මාණය වෙමින් තිබුණා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි තිබුණේ. මෙහි දී අපි සාකච්ඡා  කළේ ඉරානය විසින් යම්කිසි අවස්ථාවක හෝර්මුස් සමුදු සන්ධිය වසා දැමුවොත් ලංකාවට බරපතළ බලශක්ති ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව අපි දැනගෙන හිටියා. 2019 වන විට අපේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් 38%ක් පමණ ජනනය කළේ ඩීසල් ඇතුළු ෆොසිල ඉන්ධන වලින්. එවැනි තත්ත්වයක් තුළ වත්මන් අර්බුදය ඇති වුණා නම් ලකාවට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා” ආචාර්ය ලක්මාල් වර්තමාන අර්බුදයේ  ගමන් මග පැහැදිලි කරමින් සඳහන් කළේය.

මෙහිදී ආචාර්ය ලක්මාල් පෙන්නා දුන්නේ මැදපෙරදිග අර්බුදය තව දුරටත් තීව්‍රර විය හැකි බවයි. ඉරානයට සහාය පළකරමින් හූති සංවිධානය යුද්ධය ප්‍රවේශ වීම සමඟ රතු මුහුද හරහා සිදුවන නාවික ගමන් සීමාවිය හැකි බව පෙන්නා දුන් ආචාර්ය ලක්මාල් ගෝලීය බලශක්ති සැපයුමෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම මේ හරහා බිඳ වැටෙන බව ඔහු පැහැදිලි කළේය.

බොරතෙල් මිල අහස උසට

ඉරානය සහ හූති සටන්කාමීන් මැදපෙරදිග කලාපයේ නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල කළහොත් එහි ඍජු ප්‍රතිඵලය වනු ඇත්තේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යාමය. වත්මන් ප්‍රවණතා තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150-200 දක්වා ඉහළ යාමට හැකි බව මේ වන විට ප්‍රක්ෂේපණය කර ඇත. මෙය වාර්තාගත ඉහළ යාමකි.

‘යුද්ධය මාස තුනකට වඩා ඇදුනොත් බොහෝ විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 150-200 දක්වා ඉහළ යාමට පුළුවන්. මේ මිල සමස්ත ලෝකයටම බලපානවා. අපි ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් ඉතාම හානිකර තත්ත්වයක් තමයි ලංකාව තුළ නිර්මාණය වෙන්නේ” ආචාර්ය ලක්මාල් පැවසුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65-70 පැවැති තත්ත්වයක් තුළ පවා ලංකාවේ ඉන්ධන මිල ඉහළ අගයක පැවති බවයි.

“බොරතෙල් බැරලයක මිල 300%කින් ඉහළ යන තත්ත්වයක් තුළ අපේ ඩීසල්, පෙට්‍රල්වල මිල ගැන අපිට හිතා ගන්න පුළුවන්” ඔහු කීවේය.

ඉන්ධනවලින් විදුලිය ජනනය කළොත් ?

ඩීසල් ප්‍රමුඛ ෆොසිල ඉන්ධනවලින් විදුලිය ජනනය කිරීම විශාල පිරිවැයක් දැරිය යුතු ක්‍රියාවලියක් බව පැහැදිලි කළ ආචාර්ය ලක්මාල් පසුගිය 2025 වර්ෂයේ ඩීසල් වලින් ජනනය කළ විදුලි ඒකකයක් රුපියල් 76ක් වූ බව හෙළි කළේය.

“පසුගිය සතියේ කෙරවළපිටිය තාප බලාගාරයෙන් නිෂ්පාදනය කළ විදුලි එකකයක ජනන පිරිවැය (සමස්ත ජනන පිරිවැය නොවේ) පමණක් රුපියල් 140කට ආසන්න ප්‍රමාණයකට ගියා. මේ පිරිවැය තුළ සමස්ත ජනන පිරිවැය ගැන අදහසක් අපට ලබා ගන්න පුළුවන්. මේ තත්ත්වය මේ වන විටත් බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙනවා” ආචාර්ය ලක්මාල් සඳහන් කළේය.

බාල ගල් අඟුරු අවුල

බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ද මහජනතාවට බරපතළ පාඩුවක් අත්විඳීමට සිදුවී ඇතැයි පෙන්නා දුන් ආචාර්ය ලක්මාල් මෙම සමස්ත ක්‍රියාවලිය දීර්ඝව පැහැදිලි කරමින් අනාගතයේ දී උද්ගත විය හැකි ඍණාත්මක තතත්වයන් ද පැහැදිලි කළේය. ඔහුට අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ආනයනය කිරීමේ දුෂ්කර තත්ත්වයක් පවතින අතර ආසන්න වශයෙන් ගල් අඟුරු නැව් 05ක් හෝ 06ක් ගොඩ බා ගැනීමට නොහැකි වීමේ අවදානමක් පවතී.

“තත්ත්වය මේ ආකාරයෙන් සිදු වුණොත් අපට ගල් අඟුරු ටොන් ලක්ෂ 03ක හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපට දින 150ක් පමණ නොරොච්චෝලේ එක යුනිට් එකක් වසා දමන්න සිදුවෙනවා. මේ තත්ත්වය අපට සමාන කරන්න පුළුවන් කැලණිතිස්ස බලාගාරය වසාදැමීමට.  මේක ජාතික පද්ධතියට දරා ගන්න පුළුවන් තත්ත්වයක්”

තවත් දරුණ තත්ත්වයක්

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින විදුලිබල අර්බුදය තවත් දරුණු කළ හැකි තත්ත්වයක් වෙත ආචාර්ය ලක්මාල් කතිකාවේ අවධානය යොමු කළේය. නොරොච්චෝලේ බලාගාරයේ සමස්. ජනන ධාරිතාව මෙගාවොට් 900ක් වන අතර සාමාන්‍යයෙන් මෙගාවොට් 810ක් පමණ ජනනය කිරීම සිදුවේ. එය 2015 සිට 2025 දක්වා අඛණ්ඩව වාර්තා වූ සාමාන්‍ය අගයකි. නමුත් වර්තමානයේ සාමාන්‍ය දෛනික විදුලි ජනනය මෙගාවොට් 150-170 අතර අගයකින් පහත වැටී ඇත. මේ ප්‍රමාණය කැළණිතිස්ස බලාගාරයේ ජනනයට සමාන අගයකි.

“මෙයින් අදහස් වෙන්නේ කුමක් ද ?, නොරොච්චෝලේ බලාගාරයෙන් සාමාන්‍යයෙන් ජනනය කළ විදුලියෙන් මෙගාවොට් 150-170ක් අතර අගයක් අපට දෛනිකව අහිමි වෙනවා. මේ හරහා බරපතළ පාරිසරික හානියක් සිදුවෙනවා. මීට පෙර ගල් අඟුරු දහනයෙන් එකතු වුණේ අළු ටොන් 800ක් පමණ අගයක්. නමුත් මේ වන විට මේ අළු ප්‍රමාණයට ටොන් 1500-1600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 100%කින් අළු ප්‍රතිශතය ඉහළ ගිහින්. මේක අති විශාල පරිසර හානියක්. ඒ වගේම චිමිනි තුන හරහා නිකුත් වන විෂ දුම් ප්‍රමාණය ත් ඉහළ ගිහින් කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ බාල ගල් අඟුරු දහනය නිසා අපට නිවැරදි  බලශක්ති ජනනය ලැබෙන්නේ නැහැ. මේ නිසා ඉතාමත්ම දරුණු තත්ත්වයක අපි ඉන්නේ” ආචාර්ය ලක්මාල් තත්ත්වය තව දුරටත් පැහැදලි කරමින් රට හමුවේ පවතින බරපතළ අනතුරක් ද හෙළි කළේය.

මෙහි දී ආචාර්ය ලක්මාල් පෙන්නා දුන්නේ මෙම සියලු හානිකර සහ අවාසිදායක තත්ත්වයන් හමුවේ පවා රජයට අවශ්‍ය නම් ඩීසල් දහනය කරමින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බවයි.

ඩීසල් මුදලාලිලා යළි වැඩ අරඹයි ද ?

“ඒක කරන්න පුළුවන්. වැඩි මිලට ඩීසල් මිල දී ගෙන හරි අපට ඒක කරන්න පුළුවන්. පසුගිය දිනවල සුපිරි ඩීසල්වලින් කෙරවළපිටිය බලාගාරය ක්‍රියාත්මක කළා. මේවා මීට පෙරත් ‘හදිසි අවශ්‍යතා’ලේබලය ගහගෙන කළා. නමුත් එදා මේ තීරණය දැඩිව අභියෝගයට ලක් වුණා. නමුත් ප්‍රශ්නය තමයි මේවට ගෙවන්නේ කවුද ? කියන එක. ඒක මුලින්ම තීරණය කරගන්න වෙනවා. උදාහරණයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය 2026 දෙවන කාර්තුව 13.56%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලුවේ මැදපෙරදිග යුද්ධය හෝ බාල ගල් අඟුරු සිද්ධිය පදනම් කරගෙන නෙමෙයි. ඒ නිසා අනාගතයේ දී මීට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කරන්න වෙයි. අනාගතය ඉතාම පැහැදිලියි, වෙන්නේ කුමක්ද කියලා කියන්න අමාරු නැහැ. බාල ගල් අඟුරු නිසා පාඩුවක් තිබෙනවා‍. මේ පසුබිම තුළ 2019 තත්ත්වයට යන්න වෙයි කියලා මට බයක් තිබෙනවා. 2019 දී සමස්ත විදුලිබල නිෂ්පාදනයෙන් 38%ක් ඉන්ධනවලින් නිෂ්පානය කළේ. නමුත් 2025 වන විට මේ අගය 12% දක්වා අඩු වුණා. පුනර්ජනනීය බලශක්තිය 10% සිට 26% දක්වා වැඩි වුණා. මේ බාල ගල් අඟුරු ප්‍රශ්නය නිසා යළිත් ඩීසල් බලාගාර මුදලාලිලා  හිස ඔසවයි කියන බය මට තියෙනවා. යළි එවැනි තත්ත්වයක් නොවන තැනට ආණ්ඩුව වගබලා ගත යුතුයි. ඒකට හේතුව තමයි ‘බලශක්ති දරිදුතාවයෙන්’ පෙළෙන (ඒකක 60ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන) පවුල් මිලියන 3.8ක් ඉන්නවා. රජය සහ මහජන උපයෝගීතා කොමිෂම මේ පිරිස ගැන වඩාත් සංවේදී විය යුතුයි. ඔවුන් ඉතාම අඩු ආදායමක් ලබන මිනිස්සු, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු.  එදා  වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරන මිනිස්සු” මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය ලක්මාල් බරපතළ අනතුරු ඇඟවීමක් ද කළේය.

“ 2022 දී අරගලය ඇති වුණේ  මූලිකවම බලශක්ති ගැටලුව නිසයි. ගෑස්, ඉන්ධන සහ විදුලි බලය තමයි කේන්ද්‍රීය ප්‍රශ්නය වුණේ. මේවා හිඟයට විරුද්ධව ජනතාව පාරට බැස්ස නිසා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර  යන්න සිද්ධ වුණේ.  යළි එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට මේ අර්බුදය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්. මේක අයාලේ යන්න ඉඩ හැරියොත් අපේ ආර්ථිකයට හානි වෙනවා, අනික් අතින් මහජනතාව පීඩාවට පත් වෙනවා. මේ සියල්ල ගැන කල්පනා කරලා තමයි විදුලි බලය සම්බන්ධයෙන් ගන්න තීරණයක් ගත යුත්තේ” ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු තම ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බලශක්ති අර්බුදයට බලපෑ හේතු අතර මුලින්ම කියවෙන මැදපෙරදිග යුද්ධය සහ එල්නිනෝ බලපෑම පාලනය කර ගැනීමට ආණ්ඩුවට නොහැකි බව අප පිළිගත යුතුය. නමුත් ආණ්ඩුවට පාලනය කරගත හැකිව තිබූ බොහෝ දේවල් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගොස් තිබේ. බාල ගල් අඟුරු සම්බන්ධ සිද්ධිය ඒ අතර ප්‍රමුඛ හා වැදගත්ම සාධකය වේ.

“මම දැක්කා බිමල් රත්නායක අමාත්‍යවරයා කියනවා බාල ගල් අඟුරු සපයපු සමාගමට සමාගමට දඩ ගැහුවොත් ඒ සමාගම බංකලොත් වෙලා අපට ඉතිරි ගල් අඟුරු ටිකක් නොලැබී යන්න පුළුවන් කියලා. මේ කතාව පුද්ගලික සමාගමක ප්‍රධානියෙක් හෝ නිලධාරියෙක් කිව්වා නම් ඔහුට රස්සාව දාලා ගෙදර යන්න වෙනවා” කතිකාවට ප්‍රවේශයක් ගමින් සමස්ත අර්බුදයේ මූලික ප්‍රකාශනයක් වන බාල ගල් අඟුරු ආනයනය සම්බන්ධ සිය ස්ථවරය කැටි කරමින් හර්ෂ ගුණසේන මහතා පැවසුවේය.

“මේ වගේ බරපතළ ප්‍රකාශයක් කරලා අමාත්‍යවරයාට ලබන ඡන්දය වෙනකම් ඉන්න පුළුවන්. නමුත් පුද්ගලික අංශයේ නම් මේවා බොහොම බරපතළ කාරණා” හර්ෂ ගුණසේන මහතා යළි අවධාරණය කළේය.

ආර්ථිකයට වන බලපෑම

විදුලි බිල ඉහළ යාම සහ අනාගතයේ දී සිදුවිය හැකි බවට ඉඟි පළවන විදුලිබල අර්බුදය ආර්ථිකමය සහ සමාජයීය වශයෙන් බරපතළ ප්‍රතිවිපාක ජනිත කරනු ඇතැයි හර්ෂ ගුණසේන අනතුරු ඇඟවීය. ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාව සේම කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයේ කොටස්කරුවන් මේ හරහා පීඩාවට පත්වීම සිදුවිය හැකි බවය.‍

බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව වර්තමානය වන විට රසායනික පොහොර සැපයුම්දාම බිඳ වැටීම හේතුවෙන් කෘෂිකර්මාන්තය ද පොහොර අර්බුදයකට ලක්ව ඇති බව හර්ෂ ගුණසේන පෙන්නා දුන්නේය.

“කෘෂිකර්මාන්තය රසායනික පොහොර හිඟයකට පමණක් නොවෙයි එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ජල අර්බුදයකට ද මුහුණ දීමට නියමිතයි. මේ තත්ත්වය ඍජුව කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාවයට බලපානවා. අස්වැන්න අඩුවීම කෘෂිබෝගවල මිල ඉහළ යාමට හේතුවක් වෙනවා. මෙය කිසිසෙත් යහපත් තත්ත්වයක් නොවෙයි. මේ හරහා ආණ්ඩුවට සහ සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩනයක් එල්ල වෙනවා” හර්ෂ ගුණසේන කීවේය.

මෙම අර්බුදය විසඳීමට සියලු දේශපාලන පක්ෂවල සාකච්ඡාවක් තුළින් පොදු සම්මුතියක් ඇතිකර ගත යුතු බව ද හර්ෂ ගුණසේන සඳහන් කළේය.

ලෝක යුද්ධයක් ද ?

මැදපෙරදිග යුද්ධය ලෝක යුද්ධයක් දක්වා ගමන් කිරීමේ අවස්ථාව පහසුවෙන් බැහැර කළ නොහැකි බව කී හර්ෂ යුක්‍රේනය ද මෙම අර්බුදයට මැදිහත් වීම තත්ත්වය තවත් සංකීර්ණ කරනු ඇති බව පෙන්නා දුන්නේය.

“ගල්ෆ් කලාපීය රටවල් එකිනෙකා හා සන්ධානගත වන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. රුසියාවේ පසමිතුරා වන යුක්‍රේනය රුසියාවේ ඉරාන මිතුරාට එරෙහිව මැදපෙරදිග කලාපයට පැමිණ තිබෙනවා. යුරෝපය ජනාධිපති ට්‍රම්ප් සමඟ අත්වැල් බැඳ නොගැනීම තමයි එකම සැනසිලිදායක තත්ත්වය. ඒ වගේම චීනය සහ රුසියාව ඉරානයට ඍජුව සහයෝගය නොදීමත් තත්ත්වය යම් තරමකට පාලනය වීමට හේතුවක් වෙනවා. නමුත් ඉදිරියේ දී මැදපෙරදිග තත්ත්වය කුමන දිශාවකට හැරෙයි ද කියලා කියන්න හැකියාවක් නැහැ.

මානව වර්ගවා භූගත ඉන්ධන මත සිය පැවැත්ම තීරණය කරන උඟුලක සිරවී සිටින බව මෙරට සිටි කීර්තිමත් විද්‍යාඥයෙකු වන රේ විජේවර්ධනයන්ගේ අදහස වූ බව ඔහුව උපුටා දක්වමින් පරාක්‍රම ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

“අපට කිසිම භූගත ඉන්ධනයක් නැහැ. ඒ නිසා අපි වඩාත් භයානක ලෙස මේ උඟුලේ සිරවී සිටිනවා. ඒ ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ එළියට ආවා. මැදපෙරදිග යුද්ධයක් සිද්ධ වෙන කොට, අපේ ඉන්ධන ටික ආනයනය කර ගන්න නොහැකි වන විට රේ අවුරුදු 30කට විතර කලින් කළ කතාව තහවුරු වෙනවා. අපේ ඇස් පනාපිටම ඔප්පු වෙනවා” පරාක්‍රම ජයසිංහ තව දුරටත් තව අදහස පැහැදිලි කරමින් සඳහන් කළේය.

හදන කොටම අපි කිව්වා

නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන අවස්ථාවේ දී ඉදිරියේ දී උද්ගත විය හැකි ගැටලු ගැන බලධාරීන් දැනුවත් කළ බව කී පරාක්‍රම ජයසිංහ, වාරකන් සමයේ ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වීම සහ අළු හරහා උද්ගත විය හැකි පරිසර හානිය ගැන පැහැදිලි තක්සේරුවක් තමන් ඇතුළු පිරිසට තිබූ බව ද කීවේය.

“මේක ලංකාව වටේ රවුමේ ගියා. අන්තිමට නොරොච්චෝලේ නතර වුණා. ඒක ඇත්ත වශයෙන්ම අසාර්ථක ස්ථානගත කිරීමක්. මේක අවදානම දැන දැනම කළ වැඩක්. අවුරුද්දේ මාස හයක් නොරොච්චෝලෙට ගල් අඟුරු ගේන්න බැහැ. ඇත්තටම මේක හදන්න තිබුණේ ත්‍රිකුණාමලේ. නමුත් යුද්ධය නිසා ඒක කරන්න නොහැකි වුණා. ඒ වගේම අපට වෙනත් විකල්ප තිබුණේ නැහැ. ඒ වන විට ජල විදුලිය උපරිම ධාරිතාවට පැමිණ තිබුණා. (මම ඒකට එකඟ නැහැ). ඒ නිසා හැමෝම කිව්වා ගල් අඟුරු තමයි ලාභම, ඒ නිසා අපි ඒකට යමු කියලා. මේ බලපෑම නිසා කොහොම හරි ඒක අටෝ ගත්තා. ඊට පස්සේ වුණ බො‌හෝ දේවල් අසාධාරණ, අනීතික කරුණු. මම දන්න විදිහට මෑතක් වන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දුන් නියෝග කිසිවක් ඉටු කළේ නැහැ.  පුද්ගලික ආයතනයක් මේ ආකාරයට ක්‍රියාත්මක වුණා නම් මධ්‍යම පරිසර අධිකාරිය ඒක වහාම වහලා දානවා. රජයේ ආයතනයක් නිසා ඔහේ යනවා. මිනිස්සුන්ට මොනව වුණත් කමක් නැහැ, පරිසරයට මොනව වුණත් කමක් නැහැ. ඒ වගේම ඔය කියන මිල, රුපියල් 26 නෙමෙයි ඇත්ත මිල. රුපියල් තුනට විදුලිය දෙනවා කියලා තමයි ඔ්ක ආරම්භ කළේ. දැන් ඇත්ත මිල රුපියල් 55-60ක් වෙන්න පුළුවන්. අද වන විට ඒක තවත් වැඩිවෙලා ඇති” නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් පරාක්‍රම ජයසිංහ මහතා කීවේය.

ඇත්ත මෙන්න

බාල ගල් අඟුරු දහනය හේතුවෙන් දෛනිකව මෙටවොට් 150ක් පමණ නොරොච්චෝලේ බලාගාරයෙන් අහිමි වන බව පෙන්වා දුන් ජයසිංහ මහතා එය මේ අවස්ථාවේ බරපතළ ප්‍රශ්නයක් බව ද කීවේය.

බාල ගල් අඟුරු දහනය හේතුවෙන් ජනනය කරන විදුලි ප්‍රමාණය අඩුවීමේ අවාසිය පමණණක් නොව අදාළ යන්ත්‍රවලට හානි වීමේ අවදානමක් ද පවතින බව පෙන්නා දුන් ජයසිංහ මහතා මේ බව විදුලි ඉංජිනේරුවන් මනාව දන්නා බව ද සඳහන් කළේය.

“මේක දවසෙන් කැඩෙයි ද, මාසෙන් කැඩෙයි ද, අවුරුද්දකින් කැඩෙයි ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රවණතාව තිබෙනවා. මේ අවදානම අපි පිළිගත යුතුයි. නමුත් මේ තත්ත්වය තුළ අපි බෙල්ල මුලටම හිරවෙලා ඉන්නේ. අපි ඉදිරියේ බාල ගල් අඟුරු ප්‍රශ්නය සහ ඉහළ යන ඉන්ධන මිල තියෙනවා. හරියට අපි රෑ වැටුණු වළේ දවල්ටත් වැටුණු මිනිහෙක් වාගේ. ගෝඨාභය රාජපක්ෂයට ගෙදර යන්න සිද්ධ වුණේ බලශක්ති අර්බුදය නිසා.  ඒ අර්බුදය තවත් උත්සන්න වුණේ ඉන්ධන හිඟය නිසා. විදුලි කප්පාදුව නිසා. ආණ්ඩුව මොකද කළේ තිබුණ තෙල් ටික විදුලි බලය නිෂ්පාදනයට දුන්නා. ඒ නිසා ඉන්ධන පෝලිම් ඇති වුණා.  අදත් තියෙන්නේ ඒ තත්ත්වයම තමයි. අතේ තිබෙන ඉන්ධන ටික කෝටා ක්‍රමයට දෙනවා. නමුත් මේක තව කොපමණ කාලයක් කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තිබෙනවා” මෙහිදී පරාක්‍රම ජයසිංහ මහතා අවධාරණය කළේ විදුලි බලය නිෂ්පාදනය සඳහා ඉන්ධන භාවිතා කිරීම ‘ඉතාම අනුවණ ක්‍රියාවක්’ බවයි.

ෆෙසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමට තිබූ අවස්ථාව ඉතාම අනුවණ ලෙස අතපසු කළ බව පෙන්නා දුන් ජයසිංහ මහතා විද්‍යුත් වාහන ජනප්‍රිය වීම තරමක සහනයක් බව ද කීවේය.

විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට විදේශ විනියම වැය වන්නේ එක් වරක් පමණක් බවත් ඩීසල් හෝ පෙට්‍රල් වාහනයක් ආනයනය කළහොත් අවුරුදු 20ක්, 30ක් ඩීසල් හෝ පෙට්‍රල් වෙනුවෙන් විදේශ විනියම වැය කිරීමට සිදුවන බව ද ඔහු පෙන්නා දුන්නේය.

අනුවණ ක්‍රියා කළා

විද්‍යුත් වාහන ජනප්‍රිය වෙමින් තිබිය දී සහ එහි මිල ගණන් වේගයෙන් පහළ යමින් තිබිය දී ඒ ගැන අවධානය යොමු නොකළ රජය විද්‍යුත් වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අනුවණ තීන්දුවක් ගත් බව සඳහන් කළ පරාක්‍රම ජයසිංහ මහතා අනාගතයේ දී (අද) ඛනිජ තෙල් හරහා නිර්මාණය විය හැකි අර්බුදයකට ඔරොත්තු දීමට තිබූ හැකියාව සම්පූර්ණයෙන් අහිමි කළ බවට ආණ්ඩුවලට චෝදනා කළේය.

“අද විදුලි වාහන පාවිච්චි කරන ජනතාවට ඉන්ධන මිල ඉහළ යාම හෝ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම තත්ත්වය මේකයි.

විසඳුම කුමක් ද ?

තමා ප්‍රශ්න දෙස බැලීමට වඩා විසඳුම් දෙස බැලීමට කැමැති බව කී ජයසිංහ මහතා පුනර්ජනනීය බලශක්තිය, විශේෂයෙන් සූර්ය බලය වඩාත් ප්‍රායෝගික සහ ප්‍රශස්ත විසඳුම බව ද සඳහන් කළේය. වර්තමානය වන විට සූර්ය බලය නිෂ්පාදනය කරන උපකරණවල මිල ගණන් වාසිදායක ලෙස, දැරිය හැකි ලෙස පහළ ගොස් ඇති බව පෙන්නා දුන් ඔහු මෙම ගෝලීය ප්‍රවණතා සමඟ ශ්‍රී ලංකාව ද ගමන් කළ යුතු බව අවධාරණය කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website