මැදපෙරදිග යුද ගිනි සහ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව: ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශයක් -දුමින්ද ප්‍රියදර්ශන, අධි පර්යේෂක, HARTI

වර්තමාන ගෝලීය දේශපාලන සිතියම දෙස බලන විට මැදපෙරදිග කලාපය පවතින්නේ ගිනි කන්දක් මතය. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සෘජු හා වක්‍ර ගැටුම්කාරී වාතාවරණය හුදෙක් කලාපීය යුද්ධයක් නොව, සමස්ත ලෝකයේම පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව වැනි භූ-දේශපාලනිකව වැදගත් එහෙත් ආර්ථික වශයෙන් සංවේදී රටකට මෙම යුධමය තත්ත්වය බලපාන්නේ කෙසේද? විශේෂයෙන්ම අපගේ දෛනික ආහාර වේලෙහි සුරක්ෂිතතාවයට මෙයින් එල්ල වන තර්ජනය කෙබඳුද? මෙම අවස්ථාවේදී කුමන පාර්ශවයක් රාජ්‍ය පාලනය කළද විවිධ ක්‍රමවේදයන් තෝරාගෙන අවම හානියක් ඇතිවන අයුරින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුමය. තවදුරටත් මෙම යුධමය තත්වය ඉදිරියට පැවතියහොත් මේ එම ඇතිවියහැකි තත්වයන්  පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

ආහාර සුරක්ෂිතතාවය (Food Security) යනු හුදෙක් වෙළඳපොළේ ආහාර තිබීම පමණක් නොවේ. ලෝක ආහාර සමුළුවේ නිර්වචනයට අනුව, සෑම පුද්ගලයෙකුටම පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතිකව මෙන්ම ආර්ථික වශයෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. වර්තමානයේ පවතින මැදපෙරදිග යුද්ධයක් වැනි ගෝලීය අර්බුදයකදී මෙම ‘ප්‍රවේශ වීමේ හැකියාව’ බරපතල ලෙස අභියෝගයට ලක් වේ.

ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට හේතු:

  • සැපයුම් දාම බිඳ වැටීම: මැදපෙරදිග කලාපයේ යුද්ධය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා ඇති විය හැකි අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ග අවහිරවීමෙන් ආනයනික භාණ්ඩ ප්‍රමාද වීම හෝ අත්හිටුවීම.
  • ඉන්ධන මිල ඉහළ යාම: ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි වීම.
  • දේශීය නිෂ්පාදනයට බලපෑම්: පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සීමා වීමෙන් දේශීය වගාවලට බලපෑම් ඇති වීම.2022 වර්ෂයේදී රසායනික පොහොර සීමා කිරීමේ තීරණයක් සමග 40% කින් පමණ වී අස්වැන්න අහිමි වීම වැනි කාරණා පිළිබඳ විශේෂකොට අවධානය යොමුකළ යුතුව ඇත.

බලශක්ති වෙළඳපොළ සහ ආහාර මිල අතර අවියෝජනීය සබඳතාව

මැදපෙරදිග යනු ලෝක බලශක්ති හදවතයි. 65% කි පමණ තෙල් නිධි මැදපෙරදිග කලාපයේ පිහිටා ඇත. ලෝක තෙල් ප්‍රවාහනයෙන් තීරණාත්මක කොටසක් සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැනි නාවික මාර්ග අස්ථාවර වීම ලෝක වෙළඳපොළේ තෙල් මිල ක්ෂණිකව ඉහළ නැංවීමට හේතු වේ. මෙම බලශක්ති මිල ඉහළ යාම අපගේ ආහාර පිඟානට බලපාන්නේ ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේය:

  • නිෂ්පාදන පිරිවැය: ට්‍රැක්ටර්, වගා යන්ත්‍ර සහ ජල පොම්ප ක්‍රියාත්මක කිරීමට වැයවන ඉන්ධන පිරිවැය ඉහළ යාම. සහල්වලින් අප ස්වයංපෝෂිත වුවද, වී කෙටීමට සහ වගා කටයුතු සඳහා වැයවන ඉන්ධන පිරිවැය වැඩි වීම නිසා සහල් මිල ඉහළ යයි. වී සහ සහල් සමස්ථ අගයදාමය තුළ මුළු ගණුදෙණු පිරිවැයෙන්  40% ක් පමණම ඉන්ධන, පොහොර,ප්‍රවාහන,කෘෂි රසායන වැනි අංශ ආනයනික යෙදවුම් මත රදාපවතී.
  • ප්‍රවාහන පිරිවැය: ගොවි බිමේ සිට නාගරික වෙළඳපොළ දක්වා ආහාර ප්‍රවාහනය කිරීමට යන වියදම වැඩි වීම නිසා එළවළු සහ පලතුරු මිල ඉහළ යයි. මෙය දේශිය අස්වනු සමග තුළ කැපී පෙනෙන මිල වැඩිවීමක් ලෙස නොපෙනුනද අස්වනු සීමිත කාලයන්හිදී ඉහළයාමක් ඇතිවිය හැකිය. මෙම ඉහළ අස්වනු සමය තුළ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වන අතර ප්‍රවාහන වියදම හේතුවක් නොවනු ඇත.
  • යෙදවුම් මිල: රසායනික පොහොර සහ කෘෂි රසායන නිෂ්පාදනයට අවශ්‍ය මූලද්‍රව්‍ය බොහොමයක් ඛනිජ තෙල් හා ගෑස් කර්මාන්තය හා බැඳී පවතී.

පොහොර අර්බුදය: ගොවි බිමේ සැඟවුණු අන්තරාය

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා පමණක් වාර්ෂිකව රසායනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් පමණ අවශ්‍ය වේ. අප පොහොර ආනයනය කරන ප්‍රධාන රටවල් වන කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ පිහිටා තිබීම මෙම අභියෝගය තීව්‍ර කරයි.චීනය අපගේ ප්‍රධනම මිලදී ගන්නා වුවද චීනයට ඇතිවියහැකි ඉහළ ඉල්ලුම හමුවේ මිල ඉහළයාම් හෝ සැපයුම් සීමා කිරීම් ඇතිවිය හැකිය

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පරයේෂණ ආයතනය (IFPRI) (International Food Policy Research Institute) දත්ත පෙන්වා දෙන්නේ මැදපෙරදිග සැපයුම් දාම බිඳවැටීමකදී ලෝක පොහොර වෙළඳාමෙන් තුනෙන් එකකට බලපෑම් එල්ල විය හැකි බවයි. විශේෂයෙන්ම යූරියා සහ ඩයමෝනියම් පොස්පේට් (DAP) වැනි පොහොර වර්ගවල මිල ඉහළ යාම ශ්‍රී ලාංකික ගොවියාගේ නිෂ්පාදන ධාරිතාවට මරු පහරක් වනු ඇත.

වාණිජ කෘෂිකර්මාන්තය සහ රසායනික පොහොරවල තීරණාත්මක කාර්යභාරය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය, විශේෂයෙන්ම වී, තේ සහ අපනයන භෝග වගාවන්හි ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර මත ඇති යැපීම අතිමහත්ය. වාණිජ මට්ටමේ වගාවන්හිදී පසට ක්ෂණිකව උරාගත හැකි නයිට්‍රජන් (Urea), පොස්පරස් (TSP) සහ පොටෑසියම් (MOP) වැනි පෝෂක කොටස් ලබා දීමෙන් අස්වැන්න ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට රසායනික පොහොර උපකාරී වේ.

පර්යේෂණ දත්තවලට අනුව, රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නැවැත්වුවහොත් වී අස්වැන්න 25% – 30% කින් පමණ පහත වැටිය හැකි අතර, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට සෘජු තර්ජනයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදකයා වන තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පවත්වා ගැනීමට ද රසායනික පොහොර අත්‍යවශ්‍ය සාධකයකි.

චීනය සැපයුම් සීමා කළහොත් ඇති විය හැකි තත්ත්වය

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ලබා දෙන විශාලතම සැපයුම්කරු චීනයයි. ගෝලීය දේශපාලන අර්බුද හෝ මැදපෙරදිග යුද්ධය හමුවේ චීනය සිය දේශීය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පොහොර අපනයනය සීමා කිරීමට (Export restrictions) තීරණය කළහොත් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවයකට පත් වේ:

  • මිල ඉහළ යාම: සැපයුම අඩු වන විට ලෝක වෙළඳපොළේ පොහොර මිල අධික ලෙස ඉහළ යන අතර, එය දේශීය ගොවියාට දරාගත නොහැකි බරක් වනු ඇත.
  • අස්වනු හිඟය: නියමිත කාලයට පොහොර ලබා දීමට නොහැකි වුවහොත් වගා කන්නයන් අසාර්ථක වී රට තුළ ආහාර හිඟයක් මතු විය හැකිය.
  • ඩොලර් අර්බුදය තීව්‍ර වීම: හිඟය පියවීමට වෙනත් රටවලින් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදු වීම නිසා විදේශ විනිමය සංචිත තවදුරටත් හීන වේ. සංචාරක ව්‍යාපාරයෙන්ද අපෙක්ෂිත ඉලක්ක සපුරාගත නොහැකිවීම මත විදේශ විනිමය ලැබීම් පාලනය වියහැක.

ගත යුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ

මෙවැනි අවදානමකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව පහත සඳහන් උපායමාර්ග අනුගමනය කළ යුතුය:

  1. සැපයුම්කරුවන් විවිධාංගීකරණය (Diversification): චීනය මත පමණක් යැපෙන්නේ නැතිව රුසියාව, කැනඩාව සහ ජෝර්දානය වැනි අනෙකුත් ප්‍රධාන පොහොර නිෂ්පාදකයන් සමඟ කල්තියා ගිවිසුම්ගත වීම.රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීම් හරහා පොහොර ලබා ගැනීමට කටයුතු කිරීම.
  2. සංගෘහිත පෝෂක කළමනාකරණය (Integrated Nutrient Management): රසායනික පොහොර සහ කාබනික පොහොර ඒකාබද්ධව භාවිතා කරන ක්‍රමවේද ගොවීන් අතර ප්‍රචලිත කිරීම. මෙහිදී රසායනික පොහොර භාවිතය 25% – 30% කින් අඩු කරමින් පසේ සාරවත් බව පවත්වා ගත හැකිය.
  3. නිරවද්‍ය කෘෂිකර්මාන්තය (Precision Agriculture): පසේ පවතින පෝෂක මට්ටම පරීක්ෂා කර, අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර යෙදීම මඟින් අපතේ යාම සහ අතිරික්ත පිරිවැය අවම කිරීම.
  4. පොහොර සංචිත පවත්වා ගැනීම: හදිසි අර්බුදයකදී භාවිත කිරීමට හැකි වන පරිදි අවම වශයෙන් එක් වගා කන්නයකට ප්‍රමාණවත් පොහොර තොග රජය සතුව තබා ගැනීම මෙන්ම පවත්නා ‌තොග සංචිත අසාමාන්‍ය මිල ගණන්වලට අලෙවි වීමට ඉඩ නොදීම සහ ඇතිවියහැකි අක්‍රමිකතාවයන් පාලනයකළයුතු වීම, ඉන්ධන ලබාදීම වැනි ක්‍රමවේදයක් පොහොර ලබාදීමටද ක්‍රියාත්මක කළයුතුවීම.
  5. දේශීය පොහොර නිෂ්පාදනය: මෙරට පවතින එප්පාවල පොස්පේට් වැනි සම්පත් උපයෝගී කරගෙන දේශීයව පොහොර නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ අනතුරු ඇඟවීම්, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IFPRI) පර්යේෂකයින් සහ S&P ග්ලෝබල් එනර්ජි විසින් සම්පාදනය කරන ලද වෙළඳපල දත්ත පෙන්නුම් කරන්නේ ගැටුමේ බලපෑම ඉහළ යන ඉන්ධන මිල, සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම සහ පොහොර සැපයුම් දැඩි කිරීම හරහා කලාපයෙන් ඔබ්බට පැතිර යන බවයි – ගෝලීය ආහාර නිෂ්පාදනයට ප්‍රධාන යෙදවුම් සියල්ල රුසියාව-යුක්රේන යුද්ධයෙන් පැන නගින කළු මුහුදේ සැපයුම් දාම බාධා හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පැවති අස්ථාවරත්වයකින් පසුව ගෝලීය ආහාර මිල ස්ථාවර වීමට පටන් ගත් විට පීඩනය මතුවෙමින් තිබේ.

ආහාර අගය දාමය (Food Value Chain) මත ඇති බලපෑම

ආහාර පද්ධතියක් ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා පියවර කිහිපයකින් සමන්විත වේ.

  1. නිෂ්පාදනය -> 2. එකතු කිරීම -> 3. ප්‍රවාහනය -> 4. සැකසීම -> 5. බෙදාහැරීම -> 6. පාරිභෝගික භාවිතය.

මෙම සෑම අදියරකදීම ඉන්ධන සහ විදුලිය අත්‍යවශ්‍ය වේ. මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල වැඩි වන විට අගය දාමයේ සෑම අදියරකදීම පිරිවැය එකතු වී අවසානයේදී පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක් නිර්මාණය වේ.

පශ්චාත් අස්වනු හානිය: අපතේ යන රන් අස්වැන්න

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ගැටලුවක් වන්නේ වගා කරන ආහාර වලින් විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙර විනාශ වීමයි.

  • හානිය: එළවළු සහ පලතුරු වලින් 20% – 30% ක් අතර ප්‍රමාණයක් අපතේ යයි.
  • හේතුව: නිසි ඇසුරුම්කරණය (ප්ලාස්ටික් කූඩ),ප්‍රවාහනය සහ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම.

මැදපෙරදිග අර්බුදය හමුවේ ආනයනික ආහාර සීමා වන විට, අපට ඇති එකම විසඳුම වන්නේ මෙලෙස අපතේ යන 30% ක පමණ වන ප්‍රමාණය තාක්ෂණය භාවිත කර රැක ගැනීමයි.

තේ අපනයනය සහ විදේශ විනිමය අර්බුදය

මැදපෙරදිග යනු ශ්‍රී ලංකාවේ තේ සඳහා පවතින විශාලතම වෙළඳපොළකි. යුධමය තත්ත්වය නිසා ඉරානය, ඉරාකය සහ තුර්කිය වැනි රටවලට තේ අපනයනය කිරීම බාධා වේ. අපනයන ආදායම අඩු වූ විට රටේ ඩොලර් සංචිතය හීන වේ. මෙය නැවතත් පරිප්පු, සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීමට ඇති හැකියාව අහුරා දමයි. සංචාරක ව්‍යාපාරයෙන්ද අපෙක්ෂිත ඉලක්ක සපුරාගත නොහැකිවීම මත විදේශ විනිමය ලැබීම් පාලනය වියහැක.

කෙටිකාලීන පියවර:

  • ආරක්ෂිත ආහාර සංචිත (Buffer Stocks): අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාස 6කට ප්‍රමාණවත් වන පරිදි රජය සතුව තබා ගැනීම.
  • වෙළඳපොළ නිරීක්ෂණය (මිල නියාමනය කිරීම), අත්‍යවශ්‍ය ආහාරවල අසාධාරණ මිල වැඩිවීම් වැළැක්වීම. ඉන්ධන මිල ඉහළයාමට සමානුපාතිකව ආහාරපාන ප්‍රවාහන,ත්‍රීවිල් ගාස්තු මිල වැඩිකිරීමේ ක්‍රමවේදය සහ ප්‍රමාණයන් රජය විසින් පෙන්වා දීම.විශේෂයෙන් වර්තමානයේ පෞද්ගලික සමාගම් ඇප් හරහා අසාමාන්‍ය ප්‍රවාහන වියදම් තීරණය කර ඇත. මෙවන් අවස්ථාවකදී රජය විසින් මේවා පාලනය කළ යුතුව ඇත.
  • ගොවි සහනාධාර,පොහොර සහනාධාර,ඉන්ධන සහනාධාර,කෘෂි උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම හරහා ගොවියා ශක්තිමත් කිරීම
  • ආනයන විවිධාංගීකණය: සැපයුම් සඳහා එකම කලාපයකට සීමා නොවී විවිධ රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම.
  • විකල්ප වෙළඳ ක්‍රම: ඉරානය වැනි රටවල් සමඟ භාණ්ඩ හුවමාරු‘ (Barter) ක්‍රමය යටතේ තේ අපනයනය කර ඉන්ධන හෝ වෙනත් ද්‍රව්‍ය ලබා ගැනීම.
  • ගෙවතු වගාව: පවුලේ මූලික එළවළු අවශ්‍යතාවය ගෙවත්තෙන් සපයා ගැනීමට වගා සංග්‍රාම වැනි වැඩසටහන් ප්‍රචලිත කිරීම.

දිගුකාලීන උපායමාර්ග:

  • දේශීය ආහාර නිෂ්පාදනය: තිරිඟු පිටි වෙනුවට සහල් පිටි සහ දේශීය අල වර්ග පරිභෝජනය දිරිමත් කිරීම.
  • කෘෂි නවීකරණය: සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන ජල පොම්ප සහ කාර්යක්ෂම ජල කළමනාකරණ ක්‍රම (Climate-smart agriculture) භාවිතය.
  • අගය එකතු කිරීම: අතිරික්ත අස්වැන්න කල් තබා ගත හැකි ලෙස සැකසීම (Processing) සඳහා කර්මාන්ත ශාලා ග්‍රාමීය මට්ටමින් පිහිටුවීම.
  • දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම: දේශීය ආහාර නිෂ්පාදනය සහ ධීවර කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම.
  • ඉන්ධන ලබාදීමේ විධිමත් ක්‍රමවේද: කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රමවේද සකස් කිරීම. අත්‍යවශ්‍ය සේවා ආහාර ප්‍රවාහනය වැනි අංශ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.
  • ආහාර ප්‍රතිපත්ති කමිටු නිර්දේශ: යුදමය වාතාවරණය හමුවේ සැපයුම් කළමනාකරණයට සහ මිල පාලනයට විශේෂ කමිටු හරහා පියවර ගැනීම.
  • මෙම තත්වයෙන් ජය ගැනීමට සියළු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වන තත්වයක් තුළ පවතින යුධමය තත්වය දිගුකාලීනව පවතීනම් අත්‍යවශ්‍ය සියළු අංශ ඒකාබදධව විශේෂිත කාර්යසාධන බලකායක් ස්ථාපිත කර ගැටලුවට මුහුණදීම සූදානම් වීම

නිගමනය

ආහාර සුරක්ෂිතතාවය යනු හුදෙක් කෘෂිකාර්මික ගැටලුවක් නොව එය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවකි (National Security Issue). මැදපෙරදිග යුධමය තත්ත්වය අපට පාලනය කළ නොහැකි බාහිර සාධකයක් වුවද, එහි බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් අප සතුව තිබිය යුතුය. සහල්වලින් ස්වයංපෝෂිත වීමට එහා ගොස්, සමස්ත ආහාර පද්ධතියම නවීකරණය කිරීම හරහා ඕනෑම ගෝලීය අර්බුදයකදී නොසැලී සිටිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් අපට ගොඩනැගිය හැකිය. ඒ අනුව ඉදරියේදී ඇතිවියහැකි ආහාර අර්බුධය පාලනයකරගැනීම වෙනුවෙන් වර්තමානයේ ඉන්ධන සදහා ලබාදෙන රාජ්‍ය දායකත්වය,මැදිහත්වීමම මෙම රසායනික පොහොර අංශය සඳහාද ලබා දිය යුතුම වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website