2026 මාර්තු 23 – ලෝක කාලගුණ විද්‍යා දිනය වෙනුවෙනි

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
නිරන්තර මිනිස් ක්‍රියාකාරකම් මගින් යටපත් කරන, ස්වාභාවික ක්රියාවලී හේතුවෙන් ලොව පුරා සෑම මහාද්වීපයක් තුළ ම පරිසර පද්ධතීන් කෙරෙහි එල්ලවී ඇති අහිතකර බලපෑම් සුළුපටු නොවේ. මේවන විටත් අප අසන, දකින අතිමහත් පාරිසරික ව්‍යසනයන් වෙතින් පිළිබිඹු වන්නේ එම ක්‍රියාවන්ගේ අනිටු ප්‍රතිඵල බව, කාලගුණ හා පරිසර විද්‍යාඥයින් විසින් සිදුකර ඇති නිරීක්ෂණ පදනම් කරගත් වාර්තා වෙතින් සනාථ කෙරේ.
දිනෙන් දින ඉහළ යන ආන්තික කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය දේශගුණික ඉතිහාසයේ පෙර නොවූ විරූ අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට අපි දැන් එළඹ සිටිමු. ඒ අනුව මානව සහ සත්ත්ව ප්‍රජාවගේ පැවැත්ම උදෙසා ගනු ලබන සෑම පියවරකදී ම කාලගුණය හුදු ස්වභාවික සංසිද්ධියක් නොව, අපේ ජීවිතවල ඉරණම තීරණය කරන ප්‍රමුඛතම සාධකයක් බවට දැන් පත්වී තිබේ. උද්ගත විය හැකි ව්‍යසන හමුවේ ලෝකය පුරා ම අවදානමට ලක්වන ප්රජාවන්ගේ ආරක්ෂාව සහ යටිතල පහසුකම්වල සුරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානම්වීම ඊට වඩාත් ම සුදුසු ක්‍රියාමාර්ග වනු ඇත. ඒ උදෙසා නිවැරදි තොරතුරු මත පදනම් වූ කාලගුණ අනාවැකි කෙරෙහි අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය දෙයකි.
මේ පිළිබඳ ව ලොව පුරා ප්‍රජාවගේ අවධානය යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ව වර්ෂ 1950 දී පිහිටුවනු ලැබූ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය World Meteorological Organization – WMO මැදිහත් ව කටයුතු කරයි. විවිධ තේමා යටතේ සෑම වසරක ම මාර්තු 23 වන දින ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීම ඔස්සේ තම කාර්යයන් පිළිබඳ ව ගෝලීය අවධානය නතුකර ගැනීමට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සුවිශේෂී තේමාවක් ඊට උපයෝගී කරගනු ලැබේ. එදා මෙදා තුර තම කර්තව්‍යයන් යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙවර එහි තේමා පාඨය වන “අද නිරීක්ෂණය කරමු – හෙට දින සුරකිමු” Observing Today, Protecting Tomorrow යන්නෙන් අවධාරණය කරන්නේ හෙට දවසේ සුරක්ෂිතතාව වෙනුවෙන් අද දින, එනම් වර්තමානයේ, අප සතු වගකීම පෙන්වා දීමයි.
දේශගුණික උපද්‍රව හමුවේ ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට නම්, කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්රිත නිරීක්ෂණ කෙතරම් තීරණාත්මක ද යන්න අප අවබෝධකර ගත යුතු වේ. ඒ අනුව මෙම සමුළුවේ මෙවර අභිමතාර්ථය මිනිස් ජීවිත සුරැකීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි යොමුවූ දැවැන්ත මෙහෙයුමක් බව පැවසිය හැකි ය. ප්‍රායෝගිකව, මේ උදෙසා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කිරීම සහ ගෝලීය දත්ත හුවමාරුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම කාලගුණ නිරීක්ෂණ ලෙස රැස්කර ගන්නා දත්ත කඩිනමින් විශ්ලේෂණයකර බෙදාහැරීම හරහා, පෘථිවියේ යහපැවැත්ම උදෙසා වන ක්රමෝපායයන් හඳුනාගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි තවත් පැතිකඩක් ලෙස ගම්‍ය වේ.
උණුසුම් වන පෘථිවිය
විශේෂයෙන් ම, ගෝලීය කාලගුණ නිරීක්ෂණ දත්තවලට අනුව, කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට වඩා අවම වශයෙන් සෙල්සියස් අංශක 1.4 කින් ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩ ඉහළ යන සිව්වන වසර, 2026 වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. පසුගිය සියවස තුළ, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනයන්හි දැවැන්ත වැඩිවීම පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුකාරක වන බව විද්‍යාඥයින්ගේ අදහස වී ඇත. ගෝලීය උෂ්ණත්වය මේ ආකාරයෙන් වැඩිවීම දේශගුණික විපත් නිරන්තරයෙන් සිදුවීමට හේතුකාරක වන අතර, එම තත්ත්වය වළකා ගැනීමට අප පියවර නොගතහොත් එය තවත් නරක අතට හැරෙනු ඇති බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. මෙම සන්දර්භය තුළ අපට කල්තබා කාලගුණ විපර්යාස හඳුනාගැනීම ඔස්සේ ඉන් සිදුවන ව්‍යසන මගින් පෘථිවි ප්‍රජාව බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි වේ. මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පෙන්වා දෙන්නේ, ව්‍යසනයන්ගෙන් සිදුවන දැවැන්ත සමාජයීය හා ආර්ථික හානියට වඩා නවීන සංවේදක ජාල නඩත්තු කිරීමේ පිරිවැය ඉතා අඩු බැවින්, ගෝලීය නිරීක්ෂණ පද්ධති සඳහා ආයෝජනය වහාම ඉහළ නැංවිය යුතු බවයි.
මෙම කරුණු සම්බන්ධයෙන් වඩාත් ගවේෂණාත්මක, විචාරශීලී, හරවත් සාකච්ඡාවක් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සලේ ඔබසි Salle Obasi ප්‍රධාන සම්මන්ත්රණ ශාලාවේදී 2026 මාර්තු 23 දින, පැවැත් වේ. ඒ සඳහා, රාජතාන්ත්‍රික නියෝජිතයිනට, එක්සත් ජාතීන්ගේ ආයතන අනුබද්ධ කාර්ය මණ්ඩලයට, සිසුන් සහ පරිසරවේදීන්හට නිල උත්සවයට එක්වන ලෙස ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ආරාධනා කර තිබීමෙන් එහි ඇති සුවිශේෂී වැදගත්කම වඩාත් තහවුරු වේ. ඒ අනුව එම සංවිධානයේ සාමාජික රටවල කාලගුණ විද්‍යා සේවා කාර්ය මණ්ඩලය අතර අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසීම සඳහා මෙම සමුළුවේ කටයුතු එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයකින් සජීවීව විකාශනය කිරීමට ද කටයුතු සලසා තිබේ.
මෙයට සමගාමී ව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මගින් දේශගුණික විපර්යාසවලට වඩාත්ම ගොදුරු විය හැකි කලාප තුළ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථාන නවීකරණය කිරීම සහ කලාපීය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීමට පෙර සිට ම ක්‍රියාකරන ආකාරය අපට අසන්නට, දකින්නට ලැබේ. උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ සිදුකරන නිරීක්ෂණ වලට අදාළ දත්ත, වඩාත් අවශ්‍ය වන්නා වූ සේවාවන් සහ ප්‍රජාව වෙත ළඟා කරවීම එහි අරමුණයි. තොරතුරු සැපයීමේ පරතරය පියවීම මගින් දේශගුණික අභියෝග හමුවේ ලෝකය පුරා කිසිවෙකු අත්හැර නොදැමීමට කාලගුණ විද්‍යා සේවාවන් ව්‍යාප්ත කිරීම එමගින් තහවුරු කෙරේ.
ඕනැම දවසක “අද පායයි ද? හෙට වහියි ද?” කියා කෙනෙකු විමසනුයේ තම සිත තුළ ඇති අවිනිශ්චිත ගැටලුව නිරාකරණය කරගැනීමේ අභිලාෂයෙනි. වර්තමානයේදි අප බොහෝ දෙනෙකුට මෙයට පිළිතුර ක්ෂණිකව ලබාදිය හැකි ය. සුහුරු ජංගම දුරකථනයක් හෝ රූපවාහිනී තිරයක් ඔස්සේ කාලගුණය පිළිබඳ විවරණ දෙස බැලීමෙන් එය පැහැදිලි කළහැකි වේ. මෙම පහසුව අප සුළුකොට තැකුවද, එම සෑම අනාවැකියකම පිටුපස සංකීර්ණ විද්‍යාත්මක විශ්ලේෂණ රැසක් ඉටුකරන සැඟවුණු මානව සම්පත් රැසකි. ලෝක ප්‍රජාවගේ යහපත වෙනුවෙන් එකී කර්තව්‍යයන් උදෙසා කාලගුණ විද්‍යා නිරීක්ෂකයින්, කාලගුණ විද්‍යාඥයින්, දේශගුණ විද්‍යාඥයින්, ජල විද්‍යාඥයින්, සාගර විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, චන්ද්‍රිකා කාර්මික ශිල්පීන් සහ පරිගණක තාක්ෂණ ශිල්පීන් එකමුතුව ඊට දායකත්වය සපයයි.
තාක්ෂණික මෙහෙයුම
එවැනි වාර්තා සහ අනාවැකි පළ කිරීමට තොරතුරු සපයා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රමිති අනුගමනය කරමින් කාලගුණ විද්‍යා නිරීක්ෂණ කටයුතු නිතිපතා අඛණ්ඩ ව සිදුකරනු ලැබේ. ඒ අනුව ලොව පුරා පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථාන 17500 ක් ඔස්සේ සෑම පැය තුනකට හෝ හයකට වරක් අදාල කාලගුණික දත්ත එක්රැස් කිරීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම, තෝරාගත් ස්ථානයන්හි සිටි සැම දිනකම පෙරවරුවේ සහ සවස්වරුවේ සංවේදක ඇතුළත් රේඩියෝසොන්ඩ් Radiosondes ඒකකයක් කාලගුණ බැලූන ආධාරයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 30 ක් ගුවනේ ඉහළට යොමුකර, ඉහළ වායුගෝලයේ සිරස් පැතිකඩ ඔස්සේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය, සුළං වේගය සහ දිශාව මැනීමෙන් එකතු කරන දත්ත ඇසුරෙන් එහි පවතින ගතික ස්වරූපය සහ ඇතිවිය හැකි කුණාටු තත්ත්වයන් හඳුනාගැනීම ද සිදු කෙරේ. ඒ සමගම එල්-නිනෝ සහ ලා-නිනා වැනි කාලගුණ පද්ධතිවලට බලපෑම් කරන සාගරය මතුපිට උෂ්ණත්ව සහ සාගර විචල්‍ය නිරීක්ෂණය උදෙසා සාගරයේ මතුපිට ස්ථානගත කරන ලද බෝයා Buoys වෙතින් ලබාගන්නා දත්ත භාවිත කෙරේ. ඉන් බැහැරව ලොව පුරා ම 3500 ක් තරම් වූ පාවෙන ආර්ගෝ රොබෝ යන්ත්‍ර Robotic Argo Floats ඒකක මීටර 2000 පමණ ගැඹුරේ සිට ඉහළට සාගරයේ උෂ්ණත්වය, ලවණතාව, පීඩනය සහ ජෛව භූ රසායනික වෙනස්කම් නිරීක්ෂණ කරමින් අඛණ්ඩව තත්‍ය කාලීන දත්ත කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණය උදෙසා උපයෝගීකර ගැනේ.
සමහර අවස්ථාවක කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණය කරන ගුවන් යානා Aircraft Meteorological Data Relay ඔස්සේ සහ පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 35800 කට වඩා ඉහළින් කක්ෂගත වු භූ ස්ථායී චන්ද්‍රිකා සහ කිලෝමීටර් 500 – 879 අතර ඉහළින් පිහිටි ධ්‍රැවීය කක්ෂගත චන්ද්‍රිකා රැසක් ඇසුරෙන් පෘථිවි ගෝලය පිළිබඳව සිදුකරන නිරීක්ෂණ ඔස්සේ සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි Numerical Weather Prediction සහ දේශගුණික නිරීක්ෂණ උදෙසා අවැසි තොරතුරු එක්රැස් කරගනු ලැබේ. එකී තොරතුරු හා ඊට අදාළ ඡායාරූප එකිනෙක ගලපා ගත් කල, වායුගෝලයේ උෂ්ණත්ව වෙන්ස්වීම්, වලාකුළු සහ කුණාටුවල වර්ධනය සහ චලන ස්වරූපයන් හඳුනාගැනීමට අවස්ථාව උදාවී තිබේ.
ඉන් බැහැරව සාගර බෝයාවන්, නැව් සහ ගුවන් යානා ආශ්රයෙන් සිදුකරන නිරීක්ෂණ සහ දත්ත එක් එක් රටවල් විසින් එක්රැස්කර විශ්ලේෂණය කරයි. මෙම තොරතුරු කලාපීය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන ඔස්සේ නිරතුරුව ම හුවමාරු කරගැනේ. උද්ගතවිය හැකි කාලගුණය පිළිබඳ කෙටි කාලීන පුරෝකථනය කිරීමට Short-Term Forecasting හෝ පවතින අවස්ථාවේ නිර්මාණය වන්නා වූ Now Forming වායුගෝලීය තත්ත්වයන් පිළිබඳ මෙම තොරතුරු කාලගුණ විද්‍යාඥයින්හට විශේෂයෙන් වැදගත් වේ. එසේම විශ්ලේෂණය කරන ලද එම තොරතුරු පරිගණක ආශ්රිත වැඩසටහන් ඔස්සේ දර්ශනීය රූපමය සිතියම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමටද, ඇතිවිය හැකි විභවයන් පැවසීමට ද එමගින් ඔවුන්හට හැකියාව ලබා දෙයි.
මෙයට සමගාමී ව වායුගෝලීය නිරීක්ෂණ ගෝලීය වැඩසටහන Global Atmosphere Watch Program මගින් වායුගෝලීය සංයුතිය, හරිතාගාර වායු ප්‍රමාණය සහ වායු දූෂක ද්‍රව්‍යයන්ගේ සංයුතිය මෙන්ම පෘථිවියේ ආරක්ෂිත ඕසෝන් ස්ථරයේ තත්ත්වය පිළිබඳව ගෝලීය අවබෝධයක් ගොඩනැගීම කෙරෙහි ප්‍රජාවගේ අවධානය යොමුකිරීමට දායකත්වය සපයයි. ඒ උදෙසා නව පර්යේෂණ පාදක නිෂ්පාදන සහ සේවාවන් නිර්මාණය කිරීම සඳහා විවිධ ආයතන හා ඒකාබද්ධව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ද සිදුකරයි. ඊට සමගාමීයව වායුගෝලය, සාගර සහ ජෛවගෝලය අතර අන්තර්ක්‍රියා පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට තම සංවිධානය හා බැඳුනු ආයතනවලට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ සපයනු ලැබේ.
දේශසීමා රහිත සහයෝගීතාව
ඒ කෙසේ වුවද, කාලගුණයට ගමන් බලපත්‍රයක් නොමැති අතර දේශගුණයට දේශසීමා නොමැත. මෙම මූලික සත්‍යය ලෝක කාලගුණ විද්‍යා සංවිධානය හා ඊට අනුබද්ධ රටවල විවිධ ආයතනයන්හි නිදහස් හා විවෘත දත්ත හුවමාරු කරගැනීමේ සහයෝගීතාවයට මග පෙන්වයි. කිසිදු රටකට, කොතරම් ධනවත් වුවද, පෘථිවි වායුගෝලය තනිවම නිරීක්ෂණය කළ නොහැකි ය. ඒ අනුව කාලගුණික තත්ත්වයන් පුරෝකථනය කිරීමට ඇති එකම මග මෙම සහයෝගීතාවය බව සනාථ කෙරේ. එමෙන්ම මැනවින් ක්‍රියාකරන උසස් තත්ත්වයේ නිරීක්ෂණ පද්ධති භාවිතය ඔස්සේ මෙවැනි හානිදායක අවස්ථා පූර්ව හඳුනාගත හැකි බව ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයකි. ලෝක බැංකු වාර්ථා අනුව, පූර්ව අනතුරු ඇඟවීමේ සේවාවන් සඳහා ගෝලීය ප්‍රවේශය ඔස්සේ වාර්ෂිකව ඩොලර් බිලියන 13 ක දේපළ හානි වළක්වා ගත හැකි බව පෙන්වා දෙයි. කුණාටුවක් හෝ උෂ්ණ තරංග පිළිබඳව පැය 24 කට පෙර අනතුරු ඇඟවීමක් ලබාදීමෙන්, සිදුවිය හැකි හානිය 30% කින් අඩු කළ හැකි බව ද පෙන්වා දෙයි. ඒ අනුව, කාලගුණ විද්‍යා සේවාවන් ඔස්සේ සිදුකරන මෙම අනතුරු ඇඟවීම් ප්‍රජාව සුරැකීමේ තීරණාත්මක සාධකයක් බව නිතැතින්ම තහවුරු වේ.
එනමුත්, ගෝලීය වශයෙන් තවමත් සැලකිය යුතු ලෙස කාලගුණ නිරීක්ෂණ කටයුතු අනාවරණය නොවන කලාප පවතියි. සංවර්ධනයෙන් පහළ මට්ටමක සිටින බොහෝ රටවල් සහ කුඩා දූපත් රාජ්‍යයන් පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ විවිධ අපහසුතා විඳිති. විශේෂයෙන්, අප්‍රිකාවේ පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානවල ව්‍යාප්තිය ගෝලීය ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, එය සමස්ත පෘථිවියේ ම අනාවැකිවල නිරවද්‍යතාවයට බලපාන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ම පෙන්වා දෙයි. එබැවින් තත්‍ය කාලීන නිරීක්ෂණ කටයුතු අරභයා මෙම පරතරය පියවීම සඳහා එම සංවිධානය විසින් එකී රටවලට මූල්‍ය පහසුකම් හඳුන්වා දී තිබේ. මෙම අරමුදල් සැපයීම හුදෙක් පුණ්‍යකර්මයක් නොව, උපායමාර්ගික ආයෝජනයකි. විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ පැසිෆික් කලාපයේ දත්ත පරතරය පියවීමෙන් ඩොලර් බිලියන 5 ක සෘජු වාර්ෂික ප්‍රතිලාභයක් සහ කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර හරහා ඩොලර් බිලියන 160 ක පුළුල් ආර්ථික වාසි ලබාගත හැකිබව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙයි.
කෘත්‍රිම බුද්ධිය සහ අනාගතය
සිව්වන කාර්මික විප්ලවයෙන් ව්‍යුත්පන්න තාක්ෂණ උපාංග කාලගුණ විද්‍යා ක්ෂේත්රය තුළ නව බලාපොරොත්තු ඇතිකරවයි. ඒ අනුව කාලගුණ අනාවැකි පැවසීම අරභයා කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence සහ උසස් පරිගණක තාක්ෂණය ඇසුරුකරගත් කාලගුණය නිරීක්ෂණ කටයුතු කරන රෝබෝ යන්ත්‍ර හා සුහුරු උපාංග භාවිතයේ අවශ්‍යතාව සහ වැදගත්කම වඩාත් ඉස්මතු කෙරේ. කෘත්‍රිම බුද්ධිය මගින් චන්ද්‍රිකා සහ පෘථිවි මධ්‍යස්ථාන වලින් ලැබෙන විශාල දත්ත ප්‍රමාණයක් පෙර නොවූ විරූ වේගයකින් විශ්ලේෂණය කළ හැකි අතර, එමගින් වඩාත් නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් පැවසීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව කාලගුණ විද්‍යා ක්ෂේත්රයේ නිරතවන්නන් නවීන ඩිජිටල් මෙවලම් හැසිරවීමට සමත් පිරිසක් බවට පත් කිරීම සඳහා තරුණ වෘත්තිකයන් සවිබල ගැන්වීමට ද මෙම සංවිධානය ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කරන ආකාරය දැනටමත් පිළිබිඹු කරයි. ලොව බහුතරයක් රටවලට මිල අධික සුපිරි පරිගණක නොමැතිව වුවද, උසස් තාක්ෂණික හැකියාවන් කරා ළඟා වීමට ඉන් මග පෑදී තිබේ. එසේ වුවද, මානව බුද්ධිය සැමවිට ම කෘත්‍රිම බුද්ධියෙහි පදනම විය යුතු බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අවධාරණය කරයි.
කෙසේ වුව ද අප තවදුරටත් පරිසරයේ වෙනස්කම් දෙස බලා සිටින ප්‍රේක්ෂකයින් හෝ නිරීක්ෂණයට පමණක් සීමා වූ නිරීක්ෂකයින් නොවිය යුතු ය. ඒ වෙනුවට, අද දින අප සිදුකරන විධිමත් නිරීක්ෂණ කටයුතු ඔස්සේ රැස්කරන, සෑම දත්තයක්ම පෘථිවි වාසි ප්‍රජාවගේ ආරක්ෂාව සහ හෙට දවස සුරක්ෂිත කිරීමේ පලිහක් කරගත යුතුය. මේ අරභයා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුදු ඉටුකරන කාර්යභාරය පැසසිය යුතු මට්ටමක පවතින බව කිව යුතුය.
(තොරතුරු World Meteorological Organization – Atlas of Mortality and Economic Losses from Weather, Climate and Water-related Hazards-1970-2021 ඇසුරෙනි.)
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ










