මේකත් ආණ්ඩුවක් ද ?  – නීතිඥ අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී

ඔව්, මේ සම්බන්ධ යෝජනාව පසුගිය 17 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. අපි, විපක්ෂය ඒ යෝජනාවට සම්පුර්ණ සහයෝගය පළ කළා. ඒ වගේම 2023 අංක 09 දරන අල්ලස් පනත සකස් කිරීමේ දී, ඒකට පදනම් වුණ මූලික ක්‍රියාදාමයට නායකත්වය දුන් පුද්ගලයා හැටියට එම පනතේ ඉදිරි ගමන පිළිබඳව වැදගත් පියවරක් තැබීම ගැන  මට සතුටක් තිබෙනවා, ඒ පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු සහ දූෂණ විරෝධී අධීක්ෂක කාරක සභාවේ සභාවේ සාමාජිකයෙක් සහ පසුව සභාපතිවරයා ලෙසයි. අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ලසන්ත කෝදාගොඩ විනිසුරුතුමා තමයි යෝජනා කළේ රටේ තිබෙන සියලුම දූෂණ විරෝධී නීති එක තැනට ගෙනත්, එක නීතියක් ගොඩනගමු කියලා. කෝදාගොඩ විනිසුරුතුමාගේ අදහස අනුව අපි දීර්ඝ කාලයක්, පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවේ මූලිකත්වයෙන් මේ කෙටුම්පත් කිරීමේ කටයුතු කරගෙන ගියා. දුෂ්කර කාලයකින් පස්සේ 2023 දී මේ නීතිය සම්මත කර ගන්න පුළුවන් වුණා.

දූෂණ විරෝධී පරීක්ෂණ, අපරාධ හා සම්බන්ධ පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක වගේ බරපතළ වගකීම් දරන ආයතන. මේ ආයතවල ස්වාධීනත්වය තහවුරු කරන්න ඔවුන්ගේ වැටුප් සහ දීමනා ප්‍රමාණවත් තරම් ලබාදිය යුතු බව අපි පිළිගන්නවා. එදා අපට පුළුවන් වුණා නීතිපති දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න රජයේ අධි නීතිඥවරුන්ගේ කාඩරය ඉහළ දාන්න  අපට පුළුවන් වුණා. ඒ නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම ශක්තිමත් කිරීම ඉතාම වැදගත්.

ඔව්, ආණ්ඩුවට පාලනය කරන්න ‌නොහැකි දේවල් තිබෙනවා, අපි ඒ බව පිළිගන්නවා. නමුත් පාලනය කරන්න පුළුවන් දේවලුත් තිබෙනවා. බලශක්ති අර්බුදය ඒ අතරින් ප්‍රධානයි. මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම සමඟ මුළු ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. නමුත් අපේ විදුලිබල ජනනයෙන් 1/3කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන නොරෙච්චෝලේ ලක්විය බලාගාරය සඳහා 2025-26 ගල් අඟුරු වාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාදාමය තුළ සිදුවෙලා තිබෙන අක්‍රමිකතා, දූෂණ සහ පරිපාලන නොහැකියාව අපට පාලනය කර ගන්න තිබුණා. ඒ පාලනය තියෙන්නේ ආණ්ඩුව අතේ, බලශක්ති ඇමතිවරයාගේ පාලනයේ ඒක තියෙන්නේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. පළමුවැනි ගල් අඟුරු නැව් නවයෙන් පමණක් සිදුවෙලා තිබෙන අලාභය රුපියල් බිලියන 8.8947ක්. ඒ වගේම මහජන උපයෝගීතා කොමිෂම පැහැදිලිව කියනවා, (ඔවුන් නිල වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා) ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට නියමිත දිනය, අප්‍රේල් 18 වන විට (2026 වරකං කාලය ආරම්භ දිනය)  රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ලැබෙන එකක් නැහැ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ ?,  එක පැත්තකින් ගල් අඟුරු බාලයි, අනෙක් පැත්තෙන් නැව් ප්‍රමාදයි.

නමුත් මේ තත්ත්වය ජනවාරී මාසේ මුල් සතියෙම නිරීක්ෂණය කළා නම්,  අඩු මිලක් දාලා මේ ටෙන්ඩරය ලබා ගත්ත සමාගමට මේ වැඩේ කරන්න හැකියාවක් නැහැ. ගල් අඟුරු සැපයීම පටන් ගන්න කොටම ප්‍රමාදයි, ගල් අඟුරු බාලයි. මේ තත්ත්වය තුළ ඒ අවස්ථාවේදීම ටෙන්ඩරය අවලංගු කරලා, ඒ අවස්ථාවේදීම දෙවැනි, තුන්වැනි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවෝ එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න තිබුණා. නමුත් ආණ්ඩුව ඒක කළේ නැහැ. මේ කිසිම දෙයක් මැදපෙරදිග යුද්ධය එක්ක සම්බන්ධ නැහැ.

ඉතාම පැහැදිලිව එල්ල වෙනවා. ඒක ගැන කිසිම සැකයක් හෝ තර්කයක් නැහැ. උදාහරණයක් ලෙස නොරොච්චෝලේ බලාගාරයෙන් පසුගිය 14 වැනිදා බලාපොරොත්තු වුණ විදුලි ජනනය වෙනුවට මෙගාවෝට් 135ක අඩුවෙන් විදුලිය ජනනය කරලා තියෙන්නේ. 15 වැනිදා මෙගාවෝට් 132ක් අඩු වුණා, 16 වැනිදා ඒක මෙගාවෝ‌ට් 148 දක්වා අඩු වුණා. ගල් අඟුරු වලින් ජනනය කිරීමට නොහැකි වන සෑම මෙගාවෝට් එකක් සඳහාම වැඩිපුර ඩීසල් දහනය කිරීමට සිදුවෙනවා. රුපියල් 20කට ගල් අඟුරු වලින් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. යුද්ධය පටන් ගන්න කලින් ඩීසල් වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා රුපියල් 65කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වුණා.  මේ වන විට ඩීසල් මිල අසීමිත ලෙස ඉහළ යනවා, ඒ වගේම ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිෂ්පාදන හැකියාවත් දිනපතා අඩු වෙනවා. ගල් අඟුරුවල තත්ත්වය දිනෙන් දින බාල වෙනවා. ඒක පාලනය කර ගන්න ආණ්ඩුවට තිබුණා.

ඔව්, මේ සමාගම මෙතරම් අසමත්කම් කරලා තිබුණත් පසුගිය දා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000කට දැම්ම හදිසි ටෙන්ඩරයත් ඒ සමාගමටම දුන්නා. මේක පුදුම සහගත තත්ත්වයක්. ඒකට හේතුව තමයි ඇයි ආණ්ඩුව හදිසි ටෙන්ඩරයක් දැම්මේ. ඒකට හේතුව තමයි දැනට ගල් අඟුරු සපයමින් සිටින සමාගම නියමිත දිනට ගල් අඟුරු සැයීමට අසමත් වීම. ඒ නිසා නියමිත පරිදි ගල් අඟුරු සැපයීමට තවත් සමාගමකට අවස්ථාව දීම. නමුත් පුදුමය කියන්නේ මේ ටෙන්ඩරය දිනා ගත්තෙත් නියමිත දිනට ගල් අඟුරු සැපයීම නොකළ, බාල ගල් අඟුරු සපයපු සමාගමයයි. හරි හමං ආණ්ඩුවක් නම් මේ සමාගමට හදිසි ටෙන්ඩරයටත් ඉල්ලන්න අවස්ථාව දෙනවද ?. අපිටත් අහන්න තියෙන්නේ ‘මේවා ආණ්ඩු ද ?’  කියලා තමයි. මේකට කිසිම ආකාරයකින් මැදපෙරදිග යුද්ධය සම්බන්ධ නැහැ. ගල් අඟුරු ගේනනේ දකුණු අප්‍රිකාවෙන්, රුසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන්.

ඔව්, හොරු අල්ලනවා කියලා මෙයාලා ආවේ. නමුත් අද හොරු ආණ්ඩුව අල්ල ගෙන. ඒකට හේතුව පැහැදිලියි. හොරුන්ට ආණ්ඩුව අල්ල ගන්න ලේසියි.

ඔව්, බලශක්ති ඇමැතිවරයාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අල්ලස් කොමිෂම මීට මාස කිහිපයකට ඉස්සර තීන්දුවක් ගත්තා. නමුත් ඊට පස්සේ අල්ලස් කොමිෂමට එල්ල වුණ පීඩනයත් එක්ක අධි චෝදනා ගොනු කිරීම ප්‍රමාද වුණා. නමුත් ඒ කටයුතු ඉදිරියට ගියේ නැහැ. නමුත් කුමාර ජයකොඩි මහතාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනතේ 70 වැනි වගන්තියේ ‘දූෂණය’ කියන වරද යටතේ.

කිසිසේත්ම හැකියාවක් නැහැ. දූෂණ චෝදනා යටතේ නඩුවක් පවරපු සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ අනිවාර්යයෙන්ම වැඩ තහනම් කළ යුතුයි. තෝරා ගැනීමක් නැහැ. මහාධිකරණයේ නෙමෙයි, මහේස්ත්‍රාත් උසාවියේ නඩු දැම්මත් වැඩ තහනම් කරනවා. නමුත් ඒ සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ. නමුත් වර්තමාන බලශක්ති අමාත්‍යවරයා ‘දූෂණය’ කියන බරපතළ වරදට අද නඩුවට මුහුණ දී සිටිනවා. ඒ ඔහු මීට පෙර රැකියාව කළ ලංකා පොහොර සමාගමේ සිද්ධියට අදාළව සාක්ෂි තිබෙන නිසා. ‘බැලූ බැල්මට සාක්ෂි තිබෙනවා නම් තමයි මේ ආකාරයට නඩු පවරන්නේ’. දැන් අධි චෝදනා ගොනු කරලා තියෙන්නේ. රජයේ සේවකයෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළොත් අනිවාර්යයෙන්, ස්වයංක්‍රීයවම වැඩ තහනමට ලක්වෙනවා. නමුත් දූෂණ චෝදනා තිබිය දී බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කළ බලශක්ති අමාත්‍යවරයා අදත් ඒ තනතුර දරනවා.

අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒ අතර ප්‍රකට එකක් තමයි පසුගිය පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අපරාධමය වරද යටතේ අධි චෝදනා ගොනු කිරීම. ඒ අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස මේ වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක එදා කිව්වේ ‘කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි’ කියලා. වත්මන් අග්‍රාමාත්‍යවරිය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දුන්නා. එදා පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ඇය දැඩිව කිව්වා, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුයි’ කියලා. අද අපි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් අහන්නේ කෙහෙළිය වෙනුවෙන් ඉල්ලුව යුක්තිය අද බලශක්ති අමාත්‍යවරයාට අදාළ නැද්ද ? කියලයි. ජවිපෙ විපක්ෂයේ සිටියදී සහ අද ආණ්ඩු බලය අල්ලා ගෙන සිටිය දී වැඩ කරන ආකාරයෙන් ඔවුන්ගේ දෙබඩිකම, අවස්ථාවාදීකම සහ ප්‍රතිපත්තියක් නැති දේශපාලනය මනාව හෙළි වෙනවා.

ඔව්,  ගල් අඟුරු ටෙන්ඩරය තිබිය දී බලශක්ති අමාත්‍යවරයා රුසියාවට ගිහින්, රුසියාවේ දී මේ ටෙන්ඩරයට ඉදිරිපත් වුණ සමාගමක නිලධාරීන් එක්ක රැස්වීමක් පවත්වා තිබෙනවා. මේකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයත් සහභාගී වුණා. මම මේ ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මේ ගැන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු කිව්වා මේ ගමන ගියේ ආණ්ඩුවේ මුදලින් කියලා. නමුත් සාකච්ඡා කළ දේවල් අමාත්‍යාංශයට වාර්තා කරලා නැහැ. මේ සමාගම තමයි කලින් ගල් අඟුරු සපයපු සමාගම. මේ කිසිම දෙයක් පහසුවෙන් බැහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේම අද අපට ගල් අඟුරු සපයන්නේ ලංකාවට සහල් සැපයීම සම්බන්ධයෙන් අසාදු ගත කළ සමාගමක්. ඒ  බව විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව කියනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website