ආණ්ඩුව අඳුරේ අතපත ගානවා – මහාචාර්ය රොහාන් සමරජීව

මම හිතන ආකාරයට වඩාත් සාර්ථක විකල්පය තමයි ලෝක වෙළෙඳපොළට සමානුපාතිකව මිල ඉහළ දැමීම, නැති නම් නිශ්චිත මිලක් නියම නොකර සිටීම. මේ වන විට රට තුළ පවතින සමාගම්වල‍ට තම තමන්ට වුවමනා මුදලක් අයකර ගැනීමට අවස්ථාව ලබාදීම. එහෙම කළොත් මේ පෝළිම් ඉවර වෙයි, මිල ඉහළ නිසා ඉන්ධන පාවිච්චියත් අඩුවෙයි.

දැන් වෙන්න තිබෙන විනාශය බොහෝ දුරට වෙලා ඉවරයි. මැදපෙරදිග කලාපයේ තෙල් ලිං බහුතරයක් මේ වන විට වසා දමා තිබෙනවා. යුද්ධය හෙට අවසන් වුණත් මේවා යළි යථාතත්ත්වයට පත් වීමට සැලකිය යුතු කාලයක් යනවා. ඒ වගේම තමයි මේ යුද්ධය අද – හෙට අවසන් වෙයි කියලා කාටවත් විශ්වාසයක් නැහැ. ඒක තවත් උග්‍ර වන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ.

මගේ අදහස අනුව නම් ලංකාවට කළ හැකි කිසිම බලපෑමක් නැහැ. මීට දශක කිහිපයකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට නම් එවැනි හැකියාවක් සහ පිළිගැනීමක් තිබුණා. නමුත් අපි අද ඉන්නේ ඉතාම දුර්වල, බෙලහීන තත්ත්වයක. ඒ නිසා මේ විනාශය සිදු වන බව දැන ගෙන ඒ විනාශයට මුහුණ දීමට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි කළ යුත්තේ අපට වන ආර්ථික බලපෑම් අවම කර ගැනීමට කළ හැකි යමක් ගැන අවධානය යොමු කිරීම පමණයි.

මේක ඉතාම අමනෝඥ තීන්දුවක්. මේක සෑම අංශයකම බරපතළ ඍණාත්මක ප්‍රතිඵල ඇති කරන තීන්දුවක්. සරල උදාහරණයක් ගනිමු, බදදා උසාවි වලටත් නිවාඩු ලැබෙනවා. උසාවි වැහුවම මොකද වෙන්නේ ?, නඩු කල් යනවා. නඩු කල්යාම කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවෙයි. මේ තීන්දුව සෞඛ්‍ය පද්ධතියට බලනොපාන බව ආණ්ඩුව කියනවා. නමුත් රාජ්‍ය ආයතනවලට නිවාඩු දුන්නට පස්සේ ඒ ආයතනවලින් ජනතාවට කිසිම වැඩක් කරගන්න නොහැකි වෙනවා, කල් යනවා. ඒ වගේම මේ තීන්දුව හරහා ආර්ථිකය ඉතාම නරක බලපෑමක් වෙනවා. අපි අපේක්ෂා කරන අවම උපරිම ආර්ථික වර්ධනය වන 3%ක ඉලක්කය පවා මේ තත්ත්වය තුළ ලබා ගැනීමට නොහැකි වෙනවා. මේ තීන්දුව අරගෙන තියෙන්නේ ආර්ථිකය ගැන කිසිම තැකීමක් නොකර. ඒ වගේම මේ නිවාඩුව බදාදා දුන්නේ ඇයි කියලා මම නම් දන්නේ නැහැ. බදාදා කියන්නේ සතියේ මැද දවස. මේ දීලා තියෙන්නේ පඩි සහිත නිවාඩුවක්. මේ තීන්දුවේ අරමුණ තමයි ප්‍රාථමික මට්ටමින් ඉන්ධන ඉල්ලුම අඩු කිරීම, ආර්ථිකය නතර කිරීම. මේ තීන්දුවල හානිය ගැන අපට අලුතින් කතා කරන්න දෙයක් නැහැ. අපි මේකේ හානිය කොවිඩ් 19 වසංගතය කාලේ දැක්කා. ආර්ථිකය නතර කිරීමේ ප්‍රතිඵල අපි දක්කනේ.  අඩුම ගානේ කොවිඩ් කාලේ රාජ්‍ය සේවකයින්ට නිවාඩු දීමෙන් කොවිඩ් ව්‍යාප්ත වෙන එකවත් නතර වුණා. මේ තීන්දුවෙන් මොනව ද රටට ලැබෙන්නේ.

ඉන්ධන, විශේෂයෙන් පෙට්ට්‍රල් ඉල්ලුම අඩු කිරීමට කළ හැකි හොඳම දේ තමයි මිල ඉහළ දැමීම. ලෝක වෙළෙඳපොළේ මට්ටමට මිල ඉහළ දැමීම. මිල වැඩි කළාට පස්සේ  ජනතාව තෙල් පාවිච්චි කරන එක අඩු කරනවා, අත්‍යවශ්‍ය මිනිස්සු නියමිත මිලට ඉන්ධන ගනීවි. අනෙක් අතට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වෙලා තිබෙනවා වෙළෙඳපොළ මිලට ඉන්ධන අලෙවි කරනවා කියලා. ඒ නිසා ඉන්ධන පාරිභෝජනය අඩු කර ගන්න රාජ්‍ය සේවයට නිවාඩු දෙනවා කියන්නේ අර්ථශූන්‍ය වැඩක්.

ඔව්, මැදපෙරදිග අර්බුදය අපේ අපනයනවලට බලනොපාන බව ආණ්ඩුව මුලදී කිව්වා. නමුත් මේ වන විට අපනයන කර්මාන්තවලට සැලකිය යුතු බලපෑමක් සිදුවෙමින් තිබෙනවා. රාජ්‍ය සේවයට දවසක් නිවාඩු දීම සහ එම නිවාඩුව පුද්ගලික අංශයටත් දෙන ලෙස ආණ්ඩුව කළ ඉල්ලීම මේ තත්ත්වය තවත් තීව්‍රර කරනවා.

මටත් ඒක ප්‍රහේලිකාවක්. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන තර්ක අහගෙන ඉන්න කොට මට හිතෙනවා, ‘මම මේ මොන රටේ ද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා’. ඒ තරම් ප්‍රායෝගික නොවන, අතාර්කික සහ යල්පැන ගිය තර්ක ඔවුන් ඉදිරිපත් කරනවා. ස්වයංපෝෂිත ආර්ථිකයක්, කාබනික පොහොර ගැන ඔවුන් යළිත් කතා කරනවා. නමුත් මේවා සේරම අත්හදා බලපුවා. ඒවා සාර්ථක වුණේ නැහැ, අසාර්ථකයි. අන්තිමේ දී රටින් හාල් ගෙනත් ජනතාවට කන්න දෙන්න වුණා. ආර්ථිකය වැහුවට පස්සේ වෙන දේ අපි දන්නවා. ඒ විනාශය ගැන දැන දැනම එක එක මෝඩ යෝජනා ගේනවා.

මේ විසඳුම ඉදිරිපත් වුණේ රටේ ඉන්ධන පෝළිම් තිබුණ අවස්ථාවක, ඒ ජනතාවට යම්කිසි සහනයක් දෙන්න. මේ විසඳුම හඳුන්වා දුන්න ගමන් පෝලිම් නැති වුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ?,. QR Code එක ගෙනාවට පස්සේ තෙල් පෝලිම් ඇති වුණා. දැන් පෝලිම් සහ QR Code එක කියන දෙකම තිබෙනවා.

එදා තිබුණෙත් නැහැනේ. එදා ජනතාව ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානමින් හිටියා. ඉන්ධන කෝටාව ගැන වාද – විවාද කළේ නැහැ. නමුත් අද තත්ත්වය වෙනස්. ජනතාව ආණ්ඩුව දුන්න කෝටාව පිළිගන්න සූදානම් නැහැ. සියලුම කණ්ඩායම් තමන්ගේ ඉන්ධන කෝටාව ගැන සෑහීමට පත්වෙන්නේ නැහැ. වෛද්‍යවරු දැනටමත් මේ කෝටාවට විරුද්ධයි. ඔවුන් විශේෂ සැලකිලි ඉල්ලනවා, ගොවීන් විශේෂ සැලකිලි ඉල්ලනවා. මේ ආකාරයෙන් විශේෂ සැලකිලි ඉල්ලීමත් එකක් දූෂණය ඇති වෙනවා. මේ අනුව අපට පේනවා අද QR Code එක සාර්ථක විසඳුමක් නොවෙයි කියලා.

මම හිතන ආකාරයට වඩාත් සාර්ථක විකල්පය තමයි ලෝක වෙළෙඳපොළට සමානුපාතිකව මිල ඉහළ දැමීම, නැති නම් නිශ්චිත මිලක් නියම නොකර සිටීම. මේ වන විට රට තුළ පවතින සමාගම්වල‍ට තම තමන්ට වුවමනා මුදලක් අයකර ගැනීමට අවස්ථාව ලබාදීම. එහෙම කළොත් මේ පෝළිම් ඉවර වෙයි, මිල ඉහළ නිසා ඉන්ධන පාවිච්චියත් අඩුවෙයි.

මම හිතන ආකාරයට ආණ්ඩුව වහාම ක්‍රියාත්මක නොවුණොත් ඉදිරි මාස කිහිපය තුළ අපට ආහාර ප්‍රශ්නයක් එනවා. ඒකට හේතුව තමයි, රසායනික පොහොර හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදුවීමට වැඩි අවස්ථාවක් තිබීම. ගෝලීය වශයෙන් රසායනික පොහොර අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ගල්ෆ් කලාපයේ රටවල්. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඉන්ධනවලට වගේම රසායනික පොහොර ප්‍රවාහනයටත් ඍජුව බලපානවා. මේ වන විටත් ලෝකය පුරාම රසායනික පොහොර හිඟයක් නිර්මාණය වෙමින් තිබෙනවා, ඒ වගේම මිල ගණන් ඉහළ යමින් තිබෙනවා. නමුත් අපි යම්කිසි සහනදායී තත්ත්වයක සිටිනවා. අපිට මේ අවස්ථාවේ විශාල වශයෙන් රසායනික පොහොර අවශ්‍ය නැහැ. අපට යළි විශාල වශයෙන් පොහොර අවශ්‍ය වෙන්නේ 2026 යල කන්නය ආරම්භයේ දී. ඒකට තව මාස කිහිපයක් තිබෙනවා. නමුත් යල කන්නයට පොහොර අවශ්‍ය වන විට අදාළ සැපයුම ස්ථාවර කරගන්න අපි සූදානමින් සිටිය යුතුයි. ඒ වගේම චීනය වැනි පොහොර අපනයනකරුවන් තමන්ගේ අපනයන කටයුතු සීමා කිරීමට හෝ නතර කිරීමට පුළුවන්. යම්කිසි ආකාරයකින් චිනය පොහොර අපනයනය නතර කළොත් අපි විශාල අර්බුදයකට යනවා. ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. අවශ්‍ය ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කළ යුතුයි. නමුත් ඉදිරියේ දී රසායනික පොහොර වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමට සිදුවන බව නම් පැහැදිලියි.

පළමුවෙන්ම අපේ රසායනික පොහොර අධි  භාවිතය නතර කළ යුතුයි. ඒ වගේම පොහොර ඵලදායී ලෙස භාවිතා කිරීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් ව්‍යාප්ති සේවය යොදා ගන්න හැකියාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ වගේම රසායනික පොහොර භාවිතය ප්‍රශස්තකරණයට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙමින් තිබුණා. නමුත් ඒකට ආණ්ඩුව බැටේ දුන්නා. ලංකාවට එන සංචාරකයෝ රටේ තත්ත්වය ගැන දැන ගන්නේ ජනමාධ්‍යවලින්, විශේෂයෙන් ජනමාධ්‍ය ශීර්ෂපාඨවලින්. නමුත් දැන් අපි ගැන යන ප්‍රවෘත්තිවල තියෙන්නේ මොනවද ?, රජයේ කාර්යාල වහලා, රජයේ පාසල් වහලා, වාහනවලට ඉන්ධන දෙන්නේ නැහැ, පෝලිම් තියෙනවා. මේවා දකින විදේශිකයෝ ලංකාවට එන්න කැමැති වෙයි ද ?, ඔවුන් මේ රට ගැන හිතන්නේ මොනවද ?, ඔවුන් ලංකාවට එන එක ගැන දෙ පාරක්, තුන් පාරක් හිතයි. ආණ්ඩුව කළ වැඩවලින් වුණේ ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ වුණ එක. 2022 දී රටට ඇති වුණ තත්ත්වය ගැන ආණ්ඩුවේ කවුරු හරි බැලුවා නම් මේ වගේ තීන්දුවක් ගන්නේ නැහැ.

ඔව්, හොඳම උදාහරණය රසායනික පොහොර. මේ අවස්ථාවේ ලෝකය පුරාම කතා වෙනවා රසායනික පොහොර අර්බුදයක් එනවා කියලා. ඒත් ලංකාවේ ආණ්ඩුවට ඒ ගැන කිසිම අදාළත්වයක් නැති බවක් පේනවා, ජනමාධ්‍යවලට ඒ ගැන වැදගත්කමක් නැහැ. මේ උදාහරණය ගත්තත් අපට පේන දේ තමයි මේ ආණ්ඩුව කිසිම අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුව අනවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම රජයේ නිලධාරීන්ටත් මේ ගැන අවබෝධයක් නැහැ, එහෙම නැතිනම් ඔවුන් රජයට නිවැරදි උපදෙස් දෙන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ අවස්ථාවේ වඩාත් සක්‍රීය කාර්යභාරයක් ඉටුකළ යුතුයි කියලා මම හිතනවා, ඔවුන් එවැනි වැඩ කොටසක් කරනවා කියලා එළියට පේන සාක්ෂි නම් නැහැ. ආණ්ඩුව කළුවරේ අතපත ගාන ස්වභාවයක් තමයි මට පේන්නේ.

ඉන්ධන සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් ඉන්දියාව ඉන්නේ දැවැන්ත ප්‍රශ්නයක. ඉන්දියාව පසුගිය කාලය තුළ විශාල වශයෙන් ගෘහස්ත ගෑස් භාවිතය ප්‍රවර්ධනය කළා. මේ වන විට ඉන්දියාවට අවශ්‍ය ගෑස් නිෂ්පාදනය ඉක්මවා ගිය දැවැන්ත ඉල්ලුමක් රට තුළ තිබෙනවා. ඒ නිසා 60%ක් ආනයනය කරනවා. ඒ ආනයනවලින් බහුතර ප්‍රමාණය ආනයනය කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා. ඒ නිසා දැන් ඉන්දියාව ගෘහස්ත ගෑස් සැපයුම සම්බන්ධ බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මේ තත්ත්වය තුළ ඉන්දියාවේ නාගරික ජනතාව අතර අසහනය වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සතුව අති දැවැන්ත ඉන්ධන පිරිපහදු පද්ධතියක් තිබෙනවා. නමුත් මේ අති දැවැන්ත පිරිපහදුවලට අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමේ බරපතළ අර්බුදයක ඉන්දියාව සිටිනවා. මේ පිරිපහදුවලට අවශ්‍ය ඉන්ධන සොයා ගන්න පුළුවන් වුණොත් අපටත් ඉන්ධන සපයන්න ඉන්දියාවට පුළුවන්, ඔවුන් මීට පෙර වැනි සහන අපට ලබා දී තිබෙනවා. නමුත් අද ඉන්දියාව මුහුණ දෙන අර්බුදය වඩාත් සංකීර්ණයි. යළිත් රුසියාවෙන් තෙල් ආනයනය කරන්න සැලසුම් කළත් ඒක කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඉන්දියාව මේ වන විට පිරිපහදුවක් වසා දමා තිබෙනවා. චීනයෙන් විශේෂ උදව් අවශ්‍ය නැහැ. පොහොර ආනයනයට අවශ්‍ය සහාය ලබාදීම තමයි චීනය අපට කළ යුතු ලොකුම උදව්ව. රසායනික පොහොර සම්බන්ධයෙන් හෝමූස් අර්බුදයට චීනයට ගැටලුවක් වෙලා නැහැ. ඔවුන් අභ්‍යන්තරිකව තමයි රසායනික පොහොර නිෂ්පාදනය කරන්නේ.

සංචාරක ව්‍යාපාරය හරහා ලැබෙන ආදායම අඩු වුණොත්, යම් ප්‍රමාණයකින් විදේශ සංක්‍රාම අඩු වුණොත්, අපනයන ආදායම් අඩු වුණොත් ඒ හරහා අපේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ වගේම ඉන්ධන, ගෑස්, රසායනික පොහොර ආදි ආනයනවල මිල ගණන් ඉහළ යාම හරහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යනවා. රට තුළට ගලා එන ඩොලර් අඩු වෙලා, රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය වැඩි වීම ඍජුව විදේශ සංචිතවලට බලපානවා. ඒ කියන්නේ අපේ විදේශ ණය ගෙවීමේ හැකියාව දුර්වල වෙනවා. මේක යහපත් තත්ත්වයක් නොවෙයි.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website