ශ්‍රී ලාංකිකයින් 275ක් බිළිගත් රුසියානු – යුක්රේන යුද්ධය: තවත් පිරිසක් තවමත් අතුරුදහන්

සිව් වසරකට වැඩි කලක් මුළුල්ලේ රුසියාව සහ යුක්රේනය අතර දිග ඇදෙමින් පවතින යුද්ධයෙන් ලක්ෂ 12කට වැඩි රුසියානු සෙබළුන් මරුමුවට පත් වී ඇති බව යුක්රේනය සහ බටහිර මාධ්‍ය පවසන අතරවාරයේ, අඩුම තරමින් ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකුවත් ඒ පිරිස අතර සිටින බව අලුත්ම ගවේෂණයකින් හෙළි වී තිබේ. ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ එකමුතුවක් වන OCCRP (Organised Crime & Corruption Reporting Project) ආයතනයේ අනුග්‍රහයෙන් Himal Southasian වෙබ් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද එම ගවේෂණ වාර්තාවට අනුව, යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 751 දෙනෙකුවත් රුසියානු හමුදාවට බැඳී යුද බිමට ගොස් තිබේ.

යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ සිරකරු සුබසාධනය සම්බන්ධ ආයතනයක් වන Coordination Headquarters for the Treatment of Prisoners of War (CHTPoW) සංවිධානය විසින් රැස් කරන ලද තොරතුරු ඇසුරෙන් සකස් කරන ලද එම වාර්තාව ප්‍රකාර, යුද බිමේදී මියගිය සමස්ත විදේශිකයින් පිරිස 3,390කි. උස්බෙකිස්ථාන (481) සහ තජිකිස්ථාන (444) වැසියන්ට පසුව වැඩියෙන්ම මිය ගිය විදේශිකයින් පිරිස ශ්‍රී ලාංකිකයින් වේ. කසකස්තාන වැසියන් 270 ක් ද යුද බිමේ දී මිය ගොස් තිබේ.

යුක්රේන බලධාරීන් මේ සියලු දත්ත ලබා ගෙන තිබෙන්නේ 2025 වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණය. එවක් පටන් 2026 මාර්තු මාසය දක්වා දත්ත මේ වාර්තාවට ඇතුළත් නොවේ.

එමෙන්ම “මේ දත්ත, අපට දැනට නමින් තහවුරු කළ හැකි අවම සංඛ්‍යාවය. රුසියානු හමුදාවට බඳවා ගනු ලැබූ සහ සටනේ දී මිය ගිය ශ්‍රී ලාංකිකයින් ගේ සැබෑ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය හැකිය. විශේෂයෙන්ම මරණ සම්බන්ධයෙන් තොරතුරු විසිරී පවතී,” යනුවෙන් ද CHTPoW සංවිධානය Himal Southasian වෙත පැවසීය.

එම සංවිධානය පවසන පරිදි, රටවල් 44ක පුරවැසියන් සිය ගණනක් මේ වනවිට යුද සිරකරුවන් ලෙසින් යුක්රේනයේ සිර කඳවුරුවල රඳවා සිටිති. ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු ද ඒ අතර වේ. ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම බටහිර යුක්‍රේනයේ ල්වීව් (Lviv) නගරයේ රඳවා සිටින බවත්, විදේශික සිරකරුවන් සියයක පමණ පිරිසක් සිය කඳවුරේ සිටින බවත් සිය සිර මැදිරියේ සිට “Sandeshaya by Saroj” යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් එක් ශ්‍රී ලාංකික යුද සිරකරුවෙකු වන වර්ණකුලසූරිය අජිත් රුක්මන් ප්‍රනාන්දු පැවසීය (ලින්කුව කොමෙන්ටුවේ).

කෝප්‍රල්වරු සහ කනිෂ්ඨ සැරයන්වරු

ගතව ගිය තුන් වසරේ දී අත් අඩංගුවට පත්වූ සමස්ත විදේශික යුද සිරකරුවන් මෙන් දෙගුණයකටත් වැඩි පිරිසක් 2025 වසරේ දී අත් අඩංගුවට ගනු ලැබූ බවත් යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. යුක්රේනයේ අත් අඩංගුවේ සිටින යුද සිරකරුවන්ගෙන් සියයට හයකට ආසන්න ප්‍රමාණයක් විදේශිකයින් ය.

යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ඉහත කී සිරකරු සුබසාධන සංවිධානය පවසන්නේ, රුසියානු හමුදාවේ මූලාශ්‍ර මාර්ගයෙන් විදේශික සෙබළුන් සම්බන්ධ මේ තොරතුරු ලබාගත් බවය. “රුසියානු හමුදාවේ හැම කෙනෙක්ම ව්ලදිමීර් පූතින්ට හෝ ඔහු දියත් කළ යුද්ධයට උදව් කරන්නේ නැහැ. තොරතුරු ලබාදීම ඇතුළු විවිධ ආකාරවලින් යුක්රේනයට උදව් කරන බොහෝ දෙනෙක් රුසියානු ආරක්ෂක හමුදාවල ඉන්නවා,” යනුවෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී CHTPoW සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේ දී කළ විමසීමකට පිළිතුරු දෙමින්, එවකට කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් බැඳී තිබෙන්නේ කුලී හමුදාවකට වන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම දුෂ්කර බවය. ඒ ප්‍රකාශයේ කිසියම් සත්‍යතාවයක් තිබෙන නමුත් ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිස බැඳී තිබෙන්නේ රුසියාවේ නිල හමුදාවට බව අප කළ ගවේෂණයේ දී හෙළි විය. යුද්ධයේ මුල් අවදියේම ඇතැම් ශ්‍රී ලාංකිකයින් වාග්නර් වැනි රුසියානු ආණ්ඩුවේ අනුග්‍රහය ලත් අතුරු හමුදාවලට බැඳී තිබෙන නමුත්, කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී කියා සිටියේ, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා විදේශිකයින්ට නිලයක් නොලැබෙන නමුත් ඔවුන් බඳවා ගනු ලබන්නේ රුසියාවේ නිල හමුදාවට බවය. එහෙත් යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අප වෙත ලබා දෙන ලද රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් ගේ ලැයිස්තුවට අනුව කෝප්‍රල්වරු සහ කනිෂ්ඨ සැරයන්වරු ද ඒ අතර සිටිති.

මුලින්ම ගියේ යුක්රේනයට

2022 පෙබරවාරි මාසයේ 24 වෙනි දින රුසියානු හමුදා යුක්රේනයට කඩා වැදීමත් සමග ආරම්භ වූ රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම උත්සන්න වත්ම රුසියාවට එරෙහිව සටන් වැදීම සඳහා සිය හමුදා සමග එක්වන මෙන් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විදේශිකයින්ට ද විවෘත ආරාධනයක් කළේය.

එම ආරාධනය පිළිගෙන යුක්රේනයට පැමිණි, ශ්‍රී ලංකා හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ඩුබායි හි සේවය කරමින් සිටි කැප්ටන් රනිෂ් හේවගේ රුසියානු-යුක්රේන යුද්ධයට සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකේ. යුක්රේන යුද බිමේ සිට රනිෂ් හේවගේ “Sandeshaya by Saroj” නාලිකාවට ලබා දුන් සාකච්ඡාවක් ප්‍රබල අවධානයට ලක් වූ අතර, එහිදී රනිෂ් පවසන්නේ 2022 මාර්තු මාසයේ ඔහු යුක්රේන හමුදාව සමග සම්බන්ධ වූ බවය. යුක්රේන හමුදාවට බැඳීමෙන් අනතුරුව කිහිපවරක්ම යුද බිමේදී තුවාල ලැබූ රනිෂ් හේවගේ, කෙටි කලෙකින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් රණවිරු සම්මාන ලබා විදේශික සෙබළුන් සේවය කළ අනු ඛණ්ඩයක අණදෙන නිලධාරියා බවට ද පත් විය.

ඒ අතර ඔහු යුක්රේන හමුදාවට සම්බන්ධ වූ බව දැනගත් තවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් තිහකට ආසන්න පිරිසක් ද රනිෂ් ගේ ද සහය සහිතව යුක්රේන හමුදාවට එක්වූහ. ඒ පිරිස යුක්රේන හමුදාවට එක්වුවත්, 2023 වර්ෂය අග භාගය දක්වාම ශ්‍රී ලාංකිකයින් රුසියානු හමුදාවට සම්බන්ධ වූ බවක් දැනගැනීමට නැත.
2023 දෙසැම්බර් 05 වෙනි දින බක්මුත් ප්‍රදේශයේ දී රුසියාවෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම් එම් ප්‍රියන්ත සෙබලා ට ජීවිතය අහිමි වූ අතර, ඔහුගේ දේහය රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ රනිෂ් සහ රොඩ්නි ජයසිංහ ද මරුමුවට පත්වූහ. ඒ සමගම රනිෂ් යටතේ පැවති හමුදා අනු ඛණ්ඩය විසුරුවා හරින ලදි. එයට අනුබද්ධව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ද සටන් බිමෙන් ඉවත්වූහ.

රුසියාවට බඳවා ගැනීම

රනිෂ් ගේ අභාවයත් සමග යුක්‍රේන හමුදාවට බැඳීමට බලාපොරොත්තු වූ බොහෝ විශ්‍රාමික සෙබළු, රුසියානු හමුදාව දෙසට අවධානය යොමු කළහ.
ඒ අතරම, පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඉහළම අංශවල අනුදැනුම සහිතව විශ්‍රාමික සෙබළුන් ගේ ලැයිස්තු සකස් කරගත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් සූම් තාක්‍ෂණය ඔස්සේ විශ්‍රාමික හමුදා සෙබළුන් කණ්ඩායම් වශයෙන් අමතමින් රුසියානු හමුදාවට බැඳීමට ඔවුන් පොළඹවා ගත්හ. යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි මෙසේ බඳවා ගන්නා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය රූබල් ලක්ෂ දහයේ සිට ලක්ෂ හතලිහ දක්වා මුදලක් එකවර ගෙවනු ලැබේ. කිසිදු ශ්‍රී ලාංකික සොල්දාදුවෙකුට මේ මූලික දීමනාව ලැබුණු බවක් අප කළ ගවේෂණයේ දී හෙළි නොවීය. ඔවුන්ට ඒ දීමනාව ලබා දෙනු වෙනුවට, රුපියල් ලක්ෂ දහයේ සිට විස්ස දක්වා වූ මුදලක් තැරැව්කරුවන්ට ගෙවීමට මේ සොල්දාදුවන්ට සිදුවිය. ඇතැම්විට, අලුත් සෙබලෙකු බඳවා දුන් විට මොස්කව් නුවර සිටින තැරැව්කරුට රුපියල් ලක්ෂ හතලිහක සිට එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න මූලික දීමනාවක් ලැබුන බව ශ්‍රී ලංකාවේ සිටින තැරැව්කරු නොදැන සිටියා ද විය හැකිය.

වසරක කොන්ත්‍රාත්තුව නිමා කරන විදේශික සෙබළුන්ට ඩොලර් 50,000 ක දීමනාවක් ගෙවන බවට ද පොරොන්දුවක් දෙනු ලබන බව CHTPoW සංවිධානය පවසන නමුත්, වසරක් හමාරයේ ශ්‍රී ලාංකිකයෙකුට එවැනි දීමනාවක් ලැබුණේ ද යන්න දැනගන්නට නැත.

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ගේ අභාවයත් සමග යුක්‍රේනය කෙරෙහි පැවති ආකර්ෂණය අඩුවීමත්, ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් ද නොමැති වීම හේතුවෙන් යුක්රේනයට වීසා ලබා ගැනීම දුෂ්කර වීමත් හේතුවෙන් රුසියානු හමුදාවට බැඳීමට ඇති වූ උනන්දුව භාවිතා කරමින් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලනයට සම්බන්ධ ආරක්ෂක අංශවල ඉහළම පෙළේ පුද්ගලයින් මිනිස් ජාවාරමක නිරත වූ බවට චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පුහුණු කඳවුරු පවත්වා රුසියාවට සෙබළුන් බඳවා ගත් බවට ඇවන්ට්ගාඩ් සංවිධානයට ද චෝදනා එල්ල වී තිබේ. ඒ පිළිබඳව විමසීම පිණිස මේජර් නිශ්ශංක සේනාධිපති ට කිහිප වරක්ම ඇමතූ නමුත් ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත. මේ ජාවාරම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ ලේකම්වරයෙකු බව පවසන චතුරංග නමැති පුද්ගලයෙකුට ද චෝදනා එල්ල වී තිබේ.

යුද පෙරමුණට නොයවන බවටත්, රියදුරු රැකියා සහ බංකර් රැක බලාගැනීම වැනි යුද පෙරමුණෙන් එපිට රැකියාවලට ඔවුන් යොදවන බවටත් බොහෝ රැකියා ඒජන්තයින් තමන්ට පොරොන්දු දුන් බව රුසියානු හමුදාවෙන් පලා ආ ශ්‍රී ලාංකිකයින් මාධ්‍ය හමුවේ සඳහන් කළ අතර, ඇතැමුන් පොලිසියට ද පැමිණිලි කොට තිබේ. එයට අදාලව විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීමෙන් අනතුරුව දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටිති. ඉන් අනතුරුව පරීක්ෂණයේ ප්‍රගතිය කවරක් ද යන්න දැනගන්නට නැත. ලියුම්කරු සමග අදහස් දැක්වූ සැමියන් අහිමි වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් කියා සිටියේ, “ලොකු මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා,” යයි තමන්ට පොලිසියෙන් උපදෙස් ලැබුණ බවය.

සහෝදර සොල්දාදුවන් ගේ පඩි පතත් ගසා කාලා

එසේ ශ්‍රී ලංකාවේ දී ජාවාරම්කරුවන් ගේ රැවටීමට ගොදුරු වූවා මදිවාට බොහෝ ශ්‍රී ලාංකිකයෝ රුසියානු හමුදාවට බැඳීමෙන් අනතුරුව යුද බිමේදීත් සිය සහෝදර ශ්‍රී ලාංකිකයින් ගේ සහ ඇතැම් රුසියානු හමුදා නිලධාරීන් ගේ රැවටීම්වලට ගොදුරු වූහ. රුසියානු භාෂාව නොදැන සිටීම බොහෝ විට ඔවුන් රැවටීම්වලට ගොදුරු වීමට ප්‍රධානම හේතුවයි. රුසියානුවන් සමග එක්ව රත්නායක නම් හමුදා නිලධාරියෙක් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක ගේ පඩිපත වංචා කළ බවට බොහෝ චෝදනා එල්ල වූ අතර, තමන් සතුව රුපියල් කෝටි පහකට වැඩි වත්කමක් තිබෙන බව ඔහු පවසා තිබුණි. පසුව රුසියානු හමුදාව සමග හටගත් මතභේදයක් හේතුවෙන් ඔහු හමුදාවෙන් පළා යමින් සිටියදී අත් අඩංගුවට පත්ව යුද බිමේදී ජීවිතක්ෂයට පත් වූ බව විශ්වාස කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට පණවා තිබෙන සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවට මුදල් එවීම දුෂ්කර වීම නිසා, රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ම උන්ඩියල් ක්‍රමයට මුදල් එවන බවට පොරොන්දු වෙමින් සෙබළුන් ගේ මුදල් ගසා කෑ අවස්ථා ගැන ද වාර්තා වී තිබේ.

යුද බිමේ දී කිහිප වතාවක්ම තුවාල ලබා, රුසියානු හමුදාවෙන් පැන යන්නට කළ උත්සාහයන් ද අසාර්ථක වී, වසරක සේවා කාලයෙන් අනතුරුව යළි සිය රට බලා එමින් සිටි 45 හැවිරිදි උල්පාකඩ පතිර ආරච්චිලා ගේ මහේෂ් සුරංජිත් කරුණානායක ට අත් වූ ඉරණම මේ සොල්දාදුවන් මුහුණ දෙන ඛේදනීය ඉරණම පිළිබඳ එක් උදාහරණයක් පමණකි. වසරක සේවය හමාර කොට බ්‍රියාන්ස්ක් (Bryansk) පළාතේ කඳවුරට පැමිණි සුරංජිත් සිය බැංකු ගිණුම විමසා බැලූ විට එහි තිබූ රූබල් ලක්ෂ තිස් හත අතුරුදහන් වී තිබුණි. සිය ගිණුමෙන් මුදල් ලබාගෙන තිබෙන්නේ “චාබෝස්” නම් සිය අණ දෙන නිලධාරියා බව සොයාගත් ඔහු, ඒ පිළිබඳව ඉහළ හමුදා නිලධාරියෙකුට පැමිණිලි කළේය. පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහුට දැනුම්දෙනු ලැබිණ. ඒ වනතුරු චාබෝස් සහ සුරංජිත් සමීප මිතුරන් මෙන් ඇසුරු කළ අතර, පැමිණිල්ල යොමු කිරීමෙන් පසුව චාබෝස් ඔහුට රූබල් ලක්ෂයක මුදලක් අතට දුන්නේය.

ඒ අතර, පසුගිය වසරේ ජුලි පළමු වෙනි දින ඔහු මොස්කව් නුවරට යාම සඳහා බස් රථයකට ගොඩ විය. ඔහු බස් රථයට පිටත් කිරීම සඳහා චාබෝස් ද පැමිණි අතර, චාබෝස් තමන්ගේ දුරකතනය පරීක්ෂා කරන බැවින් පණිවුඩ එවන්න එපා යයි සුරංජිත් සමීප ඥාතියෙකුට පවසා තිබුණි. බස් රථයට නැගුනු මොහොතේ සිට අද දක්වා සුරංජිත් කරුණානායක ආ ගිය අතක් නැත! එහෙත් උල්පාකඩ පතිර ආරච්චිලා ගේ මහේෂ් සුරංජිත් කරුණානායක ගේ නම, යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සකස් කොට තිබෙන මිය ගිය ශ්‍රී ලාංකික සෙබළුන්ගේ ලැයිස්තුවේත් නැත.

සැමියාට ශ්‍රී ලංකා හමුදාවෙන් ලැබෙන විශ්‍රාම වැටුප පවා අහිමිව, හත් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකුගේ මවක වන 41 හැවිරිදි ඔහුගේ බිරිඳ නයෝමි දිසානායක, සැමියාත් නැතිව කිසිදු ආදායමකුත් නැතිව ජීවිතය ගැට ගසා ගන්නේ කෙසේ දැයි ලතවෙමින් සිටින්නීය.

යුද බිමේ දී තුවාල ලැබූ බොහෝ දෙනෙකු රක්ෂණ වන්දිය ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ අතර, යුද බිමේ දී මිය යන විදේශික සෙබළෙකුට රූබල් මිලියන 13කට ආසන්න මුදලක් (රුපියල් කෝටි පහක් පමණ) වන්දි වශයෙන් ලැබෙන බව ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවේ සඳහන්ව තිබේ. රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 275ක් යුද බිමේ දී මිය ගිය බව යුක්රේන ආණ්ඩුව පවසන නමුත්, ඒ කිසිදු පවුලකට මෙතෙක් එම වන්දි මුදල ලැබුණ බවක් වාර්තා වී නැත. මිය ගිය සිය සැමියන් වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීම පිණිස ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් මේ වනවිට රුසියාවට ගොස් සිටිති. මේ වනවිට බැංකු ගිණුම් ආරම්භ කිරීමට ඇතැමුන්ට හැකි වී තිබෙන නමුත් වන්දි මුදල් ලබා ගැනීම ඉතා වෙහෙසකර සහ දිගු කලක් ගතවෙන ක්‍රියාදාමයක් බව ඔවුහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website