
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ගෝලීය බල අධිකාරිය මැන බලන සහ ක්‍රියාත්මක වන ආකාරයෙහි සුවිශේෂී දසුනක් මැදපෙරදිග ඇවිළෙන ගැටුම් ඔස්සේ අපට පෙන්නුම් කරයි. මෙම නව යථාර්ථය තුළ, ඉරානය කේන්ද්‍ර කරගත් වත්මන් ගැටුම්කාරී තත්ත්වය, සිව්වන කාර්මික විප්ලවය ඔස්සේ සුපිරි බලවතුන් පිළිබඳ සංකල්පය සහමුලින්ම වෙනස් කරන ප්‍රපංචයක් ලෙස ඉස්මතුවී තිබේ. ඒ අනුව ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කරන ප්‍රහාරයන් ඔස්සේ විද්‍යාමාන වන්නේ කුමක්ද? තාක්ෂණික ස්වෛරීභාවය උදෙසා බලශක්ති නිෂ්පාදන මූලාශ්‍ර මාර්ග පාලනය කිරීම සහ කෘත්‍රිම බුද්ධි AI තාක්ෂණයේ බල අධිකාරිය තමන් නතුකර ගැනීම අරමුණුකරගත් වඩාත් ගැඹුරු, පද්ධතිමය අරගලයක ඇමෙරිකාව නිරතව ඇති ආකාරයකි.
පැහැදිලිවම හොර්මුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජන සහ ගොඩනැගෙන ඉරාන නායකත්වයට එල්ල වූ බාධාවන්, පැරණි ලෝකයේ පරාධීනත්වයන් සිහිපත් කරවන ප්‍රචණ්ඩකාරී සංඥාවන්ය. ඉරානය වැනි කලාපීය තර්ජන මැඩපැවැත්වීමට ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරන්නේ සිය සම්පූර්ණ අවධානය පැසිෆික් කලාපය වෙත යොමු කිරීමේ පූර්ව අවශ්‍යතාවයක් වශයෙනි. මක්නිසාදයත් වඩා විශාල ආර්ථික ව්‍යුහයක් උදෙසාවන ස්ථාවර පසුබිමක් සකසා ගැනීම ඇමෙරිකාවේ ඒකායන අපේක්ෂාව වන හෙයිනි. එහිදී චීන සැපයුම් දාම වෙතින් කලාපීය රාජ්‍යයන් දිගුකාලීනව විතැන්කිරීම සහතික කරගැනීමට ඇමෙරිකාව උත්සාහ දරණු ඇත. මෙය හුදෙක් න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳ වූ මතවාදය හා භීතිය ඉක්මවා යන, සම මට්ටමේ ප්‍රතිවාදියෙකුට එරෙහිව ශතවර්ෂයක් පුරා දිවෙන තරඟයකට සූදානම්වීම සඳහා සිදුකරන උපායමාර්ගික සැලසුමකි.
මෙම ගෝලීය චෙස් පුවරුවේ එක් පසෙකින්, ඇමරිකා-චීන වෙළඳ යුද්ධය හුදු වානේ හෝ පාරිභෝගික භාණ්ඩ මත පනවන බදු සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ඇත. දියුණු අර්ධ සන්නායක Semiconductors, ක්වොන්ටම් පරිගණක සහ හරිත බලශක්ති යටිතල පහසුකම් ඇතුළු සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන්ගෙන් ස්වයංපෝෂිත පරිසර පද්ධතියක් ප්‍රථමයෙන් ගොඩනගන්නේ කවුද යන්න පිළිබඳ තරඟයක් බව නොරහසකි. චීනය සිය ආර්ථිකය බලකොටුව Fortress economy ආසියාව ඔස්සේ යුරෝපය දක්වා සකස් කර ගැනීමට පෙළඹීමෙන් පෙනී යන්නේ 2000 දශකයේ මුල් භාගයේ තිබූ ගෝලීයකරණ යුගය අවසන් වී ඇති බවයි.
මේවනවිට මැදපෙරදිග කලාපීය ගැටුම්වල සාම්ප්‍රදායික සීමාවන් දියවී ගොස් එය සිව්වන කාර්මික විප්ලවයේ ආධිපත්‍යය සඳහා වූ පුළුල් අරගලයක් බවට විකසනය වන ආකාරයක් පිළිබිඹු කරයි. පෙබරවාරි 28 දින ආරම්භ වූ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ Operation Epic Fury නම් ඒකාබද්ධ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරය එතෙක් පැවති තත්ත්වය උඩුයටිකුරු කිරීමකි. ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ පුත් මොජ්ටාබාගේ නැගී ඒම ලෝකයම දැඩි කැළඹීමකට ඇද දමා ඇත. මෙම මෙහෙයුම හුදෙක් න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් උපක්‍රමික ප්‍රහාරයක් පමණක් නොවන බව දැන් මනාව පැහැදිලි වේ. එය එක් තීරයක්, එක් මාවතක් වැඩසටහන ඔස්සේ චීනය සමග තාක්ෂණික වශයෙන් ඒකාබද්ධවීමට පෙර මැදපෙරදිග රටවල් බලහත්කාරයෙන් ඇත්කිරීම සඳහා ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ගත් ගණනය කළ පියවරකි. ඉරාන පාලනය අඩපණ කිරීමෙන්, වොෂින්ටනය සිය බලශක්ති මාර්ග සහ කලාපීය ආරක්ෂාව සහතික කරමින්, බීජිං වෙතින් එල්ල වන පද්ධතිමය අභියෝගයට මුහුණ දීමට පිටිය සකස් කර ගන්නට වෑයමක නිරතව සිටින බව මින් පැහැදිලි වේ.
කෙසේ වෙතත්, මෙම යුද්ධයේ ප්‍රතිවිපාක දැනටමත් සෑම අංශයකින්ම ගෝලීය ආර්ථිකයට බලපාමින් පවතී. ඉරාන හමුදා හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර, එය ප්‍රබල හා දුබල රාජ්‍යයන් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරයි. ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන චීනය, මේ වනවිට සිය දරුණුතම බලශක්ති ආරක්ෂණ අභියෝගයට මුහුණ දෙමින් සිටී. බීජිං පාලනය මෙම ප්‍රහාර හෙළා දුටුවද, ඍජු මිලිටරි මැදිහත්වීමකින් වැළකී ඇත. මෙයින් පෙනී යන්නේ ඇමරිකාව මිල අධික කලාපීය යුද්ධයක සිරවී සිටින අතරතුර, චීනය සිය තාක්ෂණික ස්වයංපෝෂිතභාවය කරා යන ගමන දිගටම කරගෙන යන බවයි.
කෙසේ වුවද මෙහිදී ඉරානයේ ඉලක්ක හඳුනා ගැනීම සහ සටන් අනුකරණයන් සඳහා ඇන්ත්‍රොපික් Anthropic වෙතින් බිහිවන දියුණු කෘත්‍රිම බුද්ධි පද්ධති ඇමරිකානු හමුදාව භාවිතා කරන බවට වාර්තා වීමෙන් චීනය වෙත පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත. චීනයේ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීමට ලබා දී ඇති ප්‍රමුඛතාවය, සහ අනාගත හමුදා ශිල්පීය තාක්ෂණ සංවර්ධනය කෙරෙහි දක්වන අභිලාෂය හා දැඩි අවශ්‍යතාවය ඉන් ව්‍යුත්පන්න කරයි. ඒ සටන දැන් ඉස්ෆහාන්හි යුධ පිටියේ මෙන්ම ෂෙන්සෙන්හි සිලිකන් කර්මාන්තශාලාවල සහ සිලිකන් නිම්නයේ පර්යේෂණාගාරවල ද ක්‍රියාත්මක වේ.
මෙම ගැටුම් සම්බන්ධයෙන් වූ සැඟවුණු අදහස නම් අප තවදුරටත් ගෝලීයකරණය වූ ලෝකයක නොව, සන්නද්ධ වූ අන්තර් රඳා පැවැත්මේ Armed Interdependence යුගයකට අවතීර්ණව ඇති බවයි. ඇමරිකාව සහ චීනය තරඟ වදින්නේ ආර්ථික ස්වෛරීභාවය ප්‍රථමයෙන් අත්පත්කරගන්නේ කවුද යන්න පිළිබඳ වූ නොනවතින අරගලයක බව මින් පැහැදිලි වේ. දුර්ලභ පාෂාණ මූලද්‍රව්‍යයේ සිට කුමන ආකාරයේ බලශක්ති මූලාශ්‍රයක් වුවද දැන් බලය පෙන්වන මෙවලම් බවට පත්ව තිබීමෙන් එය වඩාත් තහවුරු කෙරේ. ඒ අරභයා ඇමෙරිකාව විසින් තම සුවිශේශී හිතමිතුරාවන ඊශ්‍රාලය ඔස්සේ ඉරානයට එරෙහිව ඇරඹි යුද්ධය ලෝකයේ අනෙකුත් රටවල් කෙරෙහි ව්‍යාප්ත කිරීමේ නිරර්ථක වෑයමක නිරතව සිටී.
මෙම තත්වයන් හමුවේ දකුණු ආසියාතික පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි රටවල් මූලික බලශක්ති සම්පාදනය හා විදෙස් ණය අතර තේරීමක් කළ නොහැකි මට්ටමේ දරුණු අර්බුදවලට මුහුණ දෙමින් සිටී. මෙම රටවල බලශක්ති පිරිවැය ඉහළ යාම හුදු උද්ධමන පීඩනයක් පමණක් නොව, ඔවුන්ගේ මූල්‍ය ස්වෛරීභාවයට එල්ල වූ දැඩි තර්ජනයකි. මේ නිසා බොහෝවිට සිය බලශක්ති පද්ධති පවත්වාගෙන යාම සඳහා සහන ණය ලබා ගැනීමට මෙකී රටවලට සිදුවනු ඇත. විශේෂයෙන්ම මෙම කලාපයේ පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දුනිසියාව වැනි රටවල යටිතල පහසුකම් මූල්‍යකරණය සහ සිව්වන කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ උකහා ගැනීමට හා ඒකාබද්ධ කිරීම සඳහා තවමත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රභවය වන්නේ චීනය බව නොරහසකි. චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම මගින් බටහිරින් ස්වාධීන වූ තාක්ෂණික පද්ධතියක් ගොඩනැගීමට අපේක්ෂා කිරීම ඔස්සේ ඒබව ගම්‍ය කෙරේ. කෙසේ වෙතත්, බීජිං සමඟ ඇතිවිය හැකි මෙම ගැඹුරු බැඳීම උපායමාර්ගිකව යම් හුදෙකලා වීමක් Strategic claustrophobia පිලිබිඹු කරවයි. මන්ද යත්, ඉන්දු-පැසිෆික් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා වන ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව, සහ ඕස්ට්‍රේලියාව එකමුතු වු Quad වැනි සන්ධාන හරහා මෙම රටවලට චීනය සමඟ පවතින සහයෝගීතා සීමාකරවීම අරභයා වෙළඳ බදු සහ ආරක්ෂක හවුල්කාරිත්වයන් හරහා කිසියම් දුරකට පීඩනයක් එල්ල කිරීමට පසුබට නොවන හේතුවෙනි.
මේ අතර ඉන්දියාව කලාපීය බලවතා ලෙස මෙන්ම චීනයෙන් බැහැර ගෝලීය විකල්පයක් ලෙස සුවිශේෂී මෙහෙවරකට අවතීර්ණ වී සිටී. චිනය සමඟ ප්‍රායෝගික වෙළඳ සබඳතාවක් පවත්වාගෙන යන අතරම, ඉංදියාව එහි අනාගතය බටහිර රටවල මුලපිරීම් සමඟ නොවෙනස්ව තබා ගැනීමට ක්‍රියාකරන ආකාරය මෑතක සිට එම රට අනුගමනය කරන විදෙස් සම්බන්ධතා තුළින් ඉස්මතු වේ. එපමණක් නොව ඉන් ඔබ්බට ගොස් සෑම අතකින්ම චීනයට සමරූපී තාක්ෂණික නිපැයුම් කෙරෙහි ඉඩකඩ පුළුල් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසින් ඉන්දියාව චීන ආයෝජන තමන් වෙත ඇද ගැනීමට වෙර දරමින් සිටී. එහෙත් මෙම ගමන බාධාවලින් තොර වූවක්ද නොවේ. මෙහිදී රුසියාව සමඟ ඇති බලශක්ති සබඳතා සම්පූර්ණයෙන්ම අත්හැරීමට ඉන්දියාව දක්වන අකමැත්ත සහ ඉරාන ගැටුම සම්බන්ධයෙන් දක්වන ප්‍රවේශම් සහගත ආකල්පය මගින් පෙනී යන්නේ ඔවුන් කිසිදු කඳවුරකට සම්පූර්ණයෙන්ම ගැති නොවී උපායමාර්ගික ස්වාධීනත්වයක් සඳහා උත්සාහ කරන ආකාර යයි.
ගොඩනැගෙන තත්වයන් හමුවේ ඉදිරි වසරවලදී දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර ඛණ්ඩනය වූ ඒකාබද්ධතාවයක් Fragmented Integration අපට දැකගත හැකි වනු ඇත. කලාපය ආර්ථික ස්ථර දෙකකට බෙදීයනු ඇත. බටහිර තාක්ෂණය සහ කලාපීය බලය තුලනය කරන ඉන්දියාව ප්‍රමුඛ ස්ථරය සහ ආර්ථික අවශ්‍යතාවය මත චීනයේ තාක්ෂණික හා මූල්‍ය කක්ෂය තුළ වෙලී සිටින ස්ථරය ලෙස එය විද්‍යාමාන වනු ඇත. ගල්ෆ් යුද්ධය මෙම බෙදීම වේගවත් කරන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ යන බලශක්ති පිරිවැය හමුවේ වඩාත් අවදානමට ලක්විය හැකි දකුණු ආසියානු ආර්ථිකයන්, සිය දිගුකාලීන මධ්‍යස්ථභාවය පසෙකලා තමන්ට වේගවත්ව සහන සපයන බලවතෙකු වෙත යොමු වීමට මින් පෙළඹෙනු ඇත. ඒ අනුව 2026 මැයි මාසය වන විට, දකුණු ආසියාව වොෂින්ටනය සහ බීජිං විසින් ඉදිරිපත් කරනු ලබන තරඟකාරී මෙහෙයුම් පද්ධති Operating systems අතරින් වඩාත් නිවැරදි දිශානතියකට ගමන්කරනු ඇත.
මෙම මාසයේ ආරම්භ කරන ලද චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම 2026–2030, සාමාන්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමේ සිට නවීකරණය කරන ලද කාර්මික පද්ධති දක්වා වූ අධි තාක්ෂණික නැඹුරුවීමක් පෙන්නුම් කරයි. මේවනවිට දකුණු ආසියාවේ බහුතරයක් රටවල් චීනයේ නව ඩිජිටල් සේද මාවතට Digital Silk Road වඩ වඩාත් නැඹුරු වෙමින් සිටිති. බටහිර රටවල් ණය උගුල් ගැන අනතුරු ඇඟවුවද, බොහෝ දකුණු ආසියානු නායකයින් චීනය දකින්නේ වේගවත් කාර්මික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගතහැකි සහකරුවෙකු ලෙසයි.
කෙසේ වෙතත්, මේ වනවිටත් ඉන්දියාව ඉතා සූක්ෂ්ම ක්‍රීඩාවක නිරත වෙමින් සිටින ආකාරයක් පෙන්නුම් කරයි. තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ පෙළ ගැසෙන අතරම, ඉංදියාව සිය නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය අධි-තාක්ෂණික උපාංග අඛණ්ඩව ලබාගැනීම සහතික කරනු පිණිස චීනය සමග ආයෝජන සීමාවන් ලිහිල් කරගැනීමට උත්සාහ කරයි. එනම් සම්පූර්ණයෙන් වෙන්වීම Decoupling සිහිනයක් පමණක් බවත්, බුද්ධිමත් ලෙස අවදානම් අවම කර ගැනීම Smart de-risking පවතින එකම ප්‍රායෝගික මග බවත් ඉන්දියාව වටහාගෙන සිටී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි බලශක්තිය සඳහා ආනයනික ඉන්ධන මත යැපෙන රටවලට දැඩි ආර්ථික බලපෑමක් එල්ල නොකරනු ඇතැයි පැවසිය නොහැක.
එවන් තත්වයක් යටතේ මෙම අර්බුදය හමුවේ ඇති ප්‍රායෝගික සහ දීර්ඝකාලීන විසඳුම වන්නේ ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියානු රටවල් සමඟ ඒකාබද්ධ වූ කලාපීය බලශක්ති ජාලයක් Regional Energy Grid ස්ථාපනය කරගැනීමයි. ඒ ඔස්සේ ඛණිජ තෙල්, ගෑස් සහ ගල්අඟුරු මත පවතින පරාධීනත්වය අවම කර ගැනීමට මෙරටට අවස්ථාව උදාකෙරෙනු ඇත. මන්නාරම වැනි ප්‍රදේශවල පවතින ඉහළ සුළං බලශක්ති විභවය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව නිපදවන අතිරික්ත හරිත බලශක්තිය කලාපීය වෙළඳපලට අලෙවි කිරීමේ ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථාවන් ඒ ඔස්සේ අපට විවරකරගත හැකි වේ. එවැනි ජාලයක් හරහා බලශක්ති පිරිවැය ස්ථාවර කර ගැනීමෙන් මෙරට කර්මාන්තශාලාවල නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමටත්, ගෝලීය වෙළඳපල තුළ තරඟකාරීත්වයක් ඇති කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
මේ අතර, 2026 දී ආරම්භ වූ චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම ආසියාතික රටවල කාර්මික නවීකරණය කෙරෙහි සුවිශේෂී බලපෑමක් ඇති කරනු ඇත. චීනය සිය අභ්‍යන්තර ආර්ථිකය උසස් තාක්ෂණික නිෂ්පාදන High-tech manufacturing කෙරෙහි යොමු කරමින් පවතින බැවින්, ඔවුන්ගේ මධ්‍යම මට්ටමේ කර්මාන්ත සහ සිව්වන කාර්මික විප්ලවය තාක්ෂණයන් ශ්‍රී ලංකාව වැනි රටවල ස්ථාපනය කිරීමට ඔවුන් උනන්දු වෙයි. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා චීනය ලබා දෙන ප්‍රමුඛතාවය හමුවේ, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට ආයෝජන කලාපයන් චීන තාක්ෂණික පරිසර පද්ධතියක කේන්ද්‍රස්ථාන බවට පත්වීමේ ඉඩකඩ පවතී. මෙය ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායට නවීන තාක්ෂණය සමඟ වැඩ කිරීමට අවස්ථාව සලසන අතරම, මෙරට අපනයන ක්ෂේත්‍රය වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට රුකුලක් වනු ඇත.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීමේදී ශ්‍රී ලංකාවට සිය භූ-දේශපාලනික මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ. එක් අතකින් ඉන්දියාව සමඟ බලශක්ති ජාලයක් හරහා ඒකාබද්ධ වන අතරම, අනෙක් අතින් චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම හරහා ලැබෙන තාක්ෂණික ප්‍රාග්ධනය කළමනාකරණය කර ගැනීමට සිදුවීම සංකීර්ණ තත්ත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකාව අනුගමනය කළ යුත්තේ තාක්ෂණික ස්වෛරීභාවය Technological Sovereignty සුරකින උපායමාර්ගයක් බව පැහැදිලි වේ. එනම්, බලශක්ති ක්ෂේත්‍රයේදී කලාපීය සහයෝගීතාවයත්, කාර්මික නවීකරණයේදී චීන තාක්ෂණික සහයෝගීතාවයත් සමබරව භාවිත කරමින්, කිසිදු බලවතෙකුට පූර්ණ ලෙස ගැති නොවී ස්වාධීන ආර්ථික මාවතක ගමන් කිරීමයි.
අවසාන වශයෙන්, මෙම අර්බුදකාරී වාතාවරණය ශ්‍රී ලංකාවට සිය ආර්ථික පදනම යළි සකස් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. තෙල් මිල ඉහළ යාමෙන් ඇති වන පීඩනය සමනය කර ගැනීමට කලාපීය බලශක්ති ජාලයත්, ලෝක ප්‍රවණතාවලට ගැළපෙන ලෙස කර්මාන්ත දියුණු කිරීමට චීන පස් අවුරුදු සැලසුමේ තාක්ෂණික දායකත්වයත් මනාව ගළපා ගතහොත්, ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ ඔරොත්තු දෙන සහ නවීන කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස නැගී සිටීමට හැකි වනු ඇත. අනාගතය තීරණය වනුයේ අප මෙම ගෝලීය මාරුවීම් කෙතරම් ඉක්මනින් හා බුද්ධිමත්ව වැළඳ ගන්නේ ද යන්න මතය.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ – මත්තේගොඩ












