මේ ආණ්ඩුව ජනතාවට හතුරුකම් කරන්නේ නැහැ – වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය

මම දකින ප්‍රධාන කාරණය තමයි වත්මන් ආණ්ඩුව එකපිට එක එන ආපදාවන්ට සහ අසීරු තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. දිට්වා අවසන් වෙන කොට මැදපෙරදිග යුද්ධය ආවා. අපිට අයිති නැති යුද්ධයකට අපිව පටලවා ගන්න, එහෙම නැතිනම් අපි අයිති නැති, අපි එකඟ නැති යුද්ධයක වගකීමක් අප මත පටවන්න උත්සාහයක් තියෙනවා. IRIS Dena සහ IRIS Bushehr යුද්ධ නෞකා සම්බන්ධ සිද්ධියේ සී අමෙරිකාව අපට බලපෑම් කරනවා, බල කරනවා. “මේ නාවිකයෝ ආපසු ඉරානයට යවන්න එපා” කියලා බල කරනවා.

ලංකාව කළේ අලුත් දෙයක් නෙමෙයි. ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව රටක් කළ යුතු දෙයක්, රටකට ඇති වගකීමක් තමයි ලංකාව කළේ. තමන් අයිති මුහුදු කලාපයේ හෝ ආසන්න මුහුදු කලාපයේ යම්කිසි නැවක් හෝ බෝට්ටුවක් අනතුරකට ලක් වුණොත් එහි සිටින නාවිකයින් හෝ මගීන් බේරා ගැනීම අදාළ රටේ වගකීමක්. ඒ වගේම බේරා ගත් පුද්ගලයින් ආරක්ෂිතව ඔවුන්ගේ රටට භාරදීම ජාත්‍යන්තර නීතිය අනුව කළ යුතු දෙයක්. නමුත් ඇමෙරිකාව මේ ජාත්‍යන්තර නීති, ජාත්‍යන්තර සම්මුති කිසිවක් ගරු කරන්නේ නැහැ. ඔවුන් ඒවාට ගරු නොකරන බව කියලත් තියෙනවා. මේක අනපේක්ෂිත තත්ත්වයක්, අර්බුදයක්.

මේ අවස්ථාවේ ඉන්දියාව අපට උදව් කළ යුතුයි. මහා බලවතුන්ගෙන් අපට එන තර්ජනවලින් අපව බේරා ගන්න ඉන්න මහා බලවතා ඉන්දියාව. අපි ඉන්දියාවත් එකක් මේ ගැන කතා කළ යුතුයි. මේ ඉරාන නැව් ගියේ ඉන්දියාවේ ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට. ආපසු ඉරානයට යන විට කෙටි මාර්ගයේ නොගිහින් දුර පාරෙන් ආවේ තිබුණ අවදානම නිසයි. නමුත් IRIS Dena නෞකාව ඇමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වුණා. නමුත් එහි නැවියන් විශාල පිරිසක් බේර ගන්න අපට පුළුවන් වුණා. IRIS Bushehr යුද්ධ නෞකාව ආරක්ෂිතව කොළඹට ගේන්න අපට පුළුවන්කම ලැබුණා. ඒක ලෝකයේ ගෞරවය දිනාගත් මෙහෙයුමක් වුණා. නමුත් මේ අර්බුදය තවම අවසන් නැහැ. මේ නැවියෝ ආපසු ඉරානයට යවන්න එපා කියලා අමෙරිකාව අපට බල කරනවා.

කිසිම අයිතියක් නැහැ. මේක කරන්න අයිතියක් හෝ බලයක් නැහැ. යුක්තියකුත් නැහැ. නමුත් ඇමෙරිකාවට හිතුවක්කාර බලයක් නම් තිබෙනවා. අපි ඇමෙරිකාව මත යැපෙනවා. අනෙක් අතට ඇමෙරිකාව කියන්නේ ලෝකයේ යුධ බලවතා. ඒ වගේම තමයි අපි නොබැඳි රටක්. අපි ලෝකයේ කිසිම බල කඳවුරකට අයත් නැහැ. එවැනි තැනක ඉන්න අපිව බෙල්ලෙන් අල්ලලා ඇමෙරිකාවේ වුවමනාවට අනුව කටයුතු කරන තැනකට පත් කරන්න හදන අමෙරිකාවේ මේ උත්සාහය මුළු ලෝකයම හෙළා දැකිය යුතුයි. ලංකාව වැනි පුංචි රටක් මත මේ ආකාරයේ පීඩනයක් එල්ල කිරීම දීනකමක්. ඒ නිසා අපි මේ ගැන ලෝකයට කියන්න ඕනෑ. ඉන්දියාවට මුලින්ම කියන්න ඕනෑ. ඒකට හේතුව තමයි මේ ඉරාන නැව් ඉන්දියාවේ ආරාධනයෙන් පැමිණි නැව්. ඒ නිසා ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන මේ තත්ත්වයට ඉන්දියාව මැදිහත් විය යුතුයි. ඉන්දියාව ඉදිරියට පැමිණිය යුතුයි. ඒ වෙනුවෙන් යුතුකමක් සහ බැඳීමක් ඉන්දියාවට තිබෙනවා. ඒත් මේ දක්වා ඉන්දියාවෙන් එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒක කනගාටුදායක තත්ත්වයක්.

ලංකාවේ මොන ආණ්ඩුවකට වුණත් මධ්‍යස්ථව ඉන්නවා හැර  කඳවුරකට ඇතුළු වීමට හේතුවක් නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවක ශක්තිය නෙමෙයි, ආණ්ඩුවක අධ්‍යාත්මික තීරණය, ආණ්ඩුවක ප්‍රතිපත්තිමය තීරණය. කාටවත් රිදවීමක් නොකරන, ඒ නිසා අපට ද රිදවීමක් නොවන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබිය යුතුයි. 1956 සිට අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව නෙමෙයි, මීට වඩා දුර්වල ආණ්ඩු පවා ඒ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කළා. එක්සත් ජාතික පක්ෂය බටහිර කඳවුරට යම්කිසි ආකාරයකින් සමීප වුණත් අපි දීර්ඝ කාලයක් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

මධ්‍යස්ථභාවය කියන්නේ ‘වැට උඩ සිටීම’ නෙමෙයි. ඒක නොබැඳි ජාතීන්ගේ සමුළු කිහිපයක දීම තහවුරු කරලා තිබෙනවා. මධ්‍යස්ථභාවය කියලා කියන්නේ ‘යුක්තියට පිටුපෑම’ නෙමෙයි, යුක්තියට අනුබල දීමයි. අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ එක ලක්ෂණයක් තමයි තම රාජ්‍යයේ නිදහස සහ ජනතාවගේ විමුක්තිය පතා සටන් කරන ජනතාවට අපේ ආශිර්වාදයත්, අපේ අධ්‍යාත්මික ශක්තියත් ලබාදීම.

ඇමෙරිකාව කටයුතු කරන ආකාරය කිසිම ආකාරයකින් පිළිගන්න බැහැ. ඇමෙරිකාව තමන්ගේ ප්‍රචණ්ඩකාරී සහචරයා වන ඊශ්‍රායලය සමඟ එක්ව මැදපෙරදිග කලාපයේ, ඉරානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන මේ දැවැන්ත යුද්ධය කිසිම ආකාරයකින් පිළිගන්න බැහැ. ඉරානය කියන්නේ ලෝක බලවතෙක් නෙමෙයි, ඊශ්‍රායලය වාගේ ව්‍යාප්තවාදී රාජ්‍යයක් ද නෙමෙයි, ලෝකයේ කිසිම රටකට එරෙහිව ඉරානය ආක්‍රමණයක් දියත් කරලා නැහැ. නමුත් ඊශ්‍රායලය ඉරානයේ අනෙක් පැත්ත. ඊශ්‍රායලය කියන්නේ ව්‍යාප්තවාදී රටක්. ඔවුන් අනෙක් රටවල් යටත් කර ගැනීමට, භූමිය කොල්ලකෑමට නිරන්තර සූදානමකින් පසු වෙනවා. ඊශ්‍රායලයේ ව්‍යාප්තවාදයට ඉරානය යටත් නොවිම කලාපයේ දුර්වල රටවල් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඉරානය සම්බන්ධ බයක් වගේම වෛරයක් ඊශ්‍රායලයට තිබෙනවා. ඒ නිසා ඊශ්‍රායලයට වගේම ඇමෙරිකාවටත් බලවත් වුවමනාවක් තිබෙනවා ඉරානය විනාශ කරන්න, දුර්වල කරලා දාන්න. ඒක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

ඊශ්‍රායලය ‘මහා ඊශ්‍රායලය’ කියන දැවැන්ත දේශය බිහිකර ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලයක සිට කටයුතු කරමින් සිටිනවා. අමෙරිකාව මේ සිහිනයට, සැලසුමට ඍජුව සහාය දෙනවා.

නැහැ, මම ඒ පාලනය අනුමත කරන්නේ නැහැ.

ඉරානයට එරෙහිව ඇමෙරිකානු – ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධයෙන් අවම වශයෙන් රුසියාව සහ චීනය විරෝධයවත් පළ කළ යුතුව තිබෙනවා. නමුත් එවැනි අවම මැදිහත් වීමක් පවා මම දැක්කේ නැහැ, මම ඒ ගැන දුකෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි රුසියාව, චීනය කියන්නේ දුර්වල රටවල් නෙමෙයි. ඒ නිසා රැසියාව සහ චීනය ඇමෙරිකානු – ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින්, මේ යුද්ධය නතර කිරීමට යම් බලපෑමක් කළ යුතුයි. ඒකට හේතුව තමයි, මේ යුද්ධය ආරම්භ කළේ අමෙරිකාව සහ ඊශ්‍රායලයයි.

ආණ්ඩුව කියන්නේ එකක්, ඒ ආණ්ඩුවේ බලය හසුරුවන පක්ෂය තවත් එකක්. ආණ්ඩුවේ බලය හසුරුවන පක්ෂයට ආණ්ඩුවේ වගකීම තම අතට ගන්න බැහැ. ඒ දෙක දෙකක් හැටියට කටයුතු කිරීම හොඳයි. මම හිතන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මේ සම්බන්ධ ඔවුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. මේ විනාශයට එරෙහිව විරෝධය පළ කළ යුතුයි. නමුත් ආණ්ඩුවට ඊට වඩා මධ්‍යස්ථ ස්ථාවරයක් දැරීමට සිදුවෙයි.  

ආණ්ඩුවට ‘එක්තරා ආකාරයක’ අමාරු ගමනක් යන්න වෙලා තියෙන්නේ. අමාරු දිය පාරක් මැදින් ආණ්ඩුව කියන බෝට්ටුව පැදගෙන යන්න වෙලා තියෙන්නේ. පැති කිහිපයකින් මේ අසීරුතාව තිබෙනව, දුෂ්කර තත්ත්වය තිබෙනවා.

අංක එක ලෙස ගත්තොත්, මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උඟුලට අහුවෙලා ඉන්නේ. ඒ උඟුල අටවලා ගියේ රනිල් වික්‍රමසිංහ. ආණ්ඩුවට මේ උඟුලෙන් ගැළවෙන්න බැහැ. ‘රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුමට අපි එකඟ නැහැ, ඒ නිසා අපි මේ ගිවිසුම අහෝසි කරනවා’ කියලා ආණ්ඩුට කියන්න බැහැ. ආණ්ඩුකින් – ආණ්ඩුවකට බැඳීමක් තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තුළ, මායිම ඇතුළේ තමයි මේ ආණ්ඩුවට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.

අංක දෙක, දිට්වා සුළි කුණාටුවෙන් රට පුරාම මහා විනාශයක් වුණා. මේ විනාශය යළි යථා තත්ත්වයට පත් කරන, ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න විශාල මුදලක් වැය කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ආණ්ඩුවට ‘අලුත් බරක්’ එකතු වෙලා තියෙනවා. ආණ්ඩුව මේ මූල්‍ය බර නිසි පරිදි කළමනාකරණය කරන බව පේනවා.

තෙවැනුව අභියෝගය මැදපෙරදිග යුද්ධ සහ ඉරාන නැව.  කොහෙද යන මරාලයක් අපේ හිස මත කඩා ගෙන වැටුණා. ඉරාන නැව සම්බන්ධ ගැටලුව පැහැදිලිවම ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක්. ඇමෙරිකාවට මේක කරන්න ඉස්සර හිතන්න දේවල් කිහිපයක් තිබුණා. ඉන්දියානු සාගර කලාපය කියන්නේ ‘සාම කලාපයක්’. මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක්. මේ කලාපය තුළ ඇති වන යම්කිසි අර්බුදකාරී තත්ත්වයක දී අසල්වැසි රටවල් වලට විශාල බලපෑමක් ඇති වෙනවා. නමුත් ඇමෙරිකාව ඒ කිසිවක් ගැන කල්පනා කළේ නැහැ, අවධානය යොමු කළේ නැහැ. කිසිම ජාත්‍යන්තර නීතියක්, සම්මුතියක් නොතකා මේ ඉරාන නැවට පහර දුන්නා.

තවත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දේශීය වශයෙන් ගොවියන්ගේ ප්‍රශ්න තියෙනවා, ජනතාවට ජීවත් වීමට අසීරුයි කියලා කියනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයට ආදායම් එකතු කළ යුතුයි, වියදම් කිරීමට සීමා දමා තිබෙනවා.  මේ වගේ හතර – පස් පැත්තකින් කොටු වුණ ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ.

මේක වාමාංශික ආණ්ඩුවක්, වාමාංශික දැක්මක් තිබෙන ආණ්ඩුවක්. නමුත් අද ආණ්ඩුව ඉන්නේ වාමාංශික නොවන චතුරශ්‍රයක් ඇතුළේ. ඒ නිසා  ආණ්ඩුවට ස්වාධීනව, හිතෙන විදිහට වැඩ කරන්න බැහැ, බොහෝ වාමාංශිකයෝ ප්‍රාර්ථනා කරන ආකාරයට වැඩ කරන්නත් බැහැ. ප්‍රායෝගිකව මුහුණ දිය යුතු ගැටලු සහ අභියෝග හමුවේ තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. සමහර දේවල් මග හැරලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ආණ්ඩුව ඒවට ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා තිබෙනවා. අපිට මේ වගේ විචේනය තියෙන්න පුළුවන්. මේවා ඇතැම් අවස්ථාවල ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් පොදුවේ ගත්විට මේ ආණ්ඩුව හෙළා දකින්න හේතුවක් නැහැ.

ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසියම් ආකාරයකට ජනතාවට හතුරුකම් කරන ආණ්ඩුවක් කියලා කියන්න බැහැ.

ඔබ ඔය කියන කඳවුර අද නියෝජනය කරන්නේ කාවද ? අද මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහගේ කඳවුර. එදා ඉදලා මම ඒ කඳවුරේ නැහැ, මම කිසිමදාක රනිල් වික්‍රමසිංහගේ කඳවුරේ හිටියේ නැහැ. මම මහින්ද රාජපක්ෂ කඳවුරේ හිටියේ ඔවුන් රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වන තෙක් පමණයි. මහින්ද රාජපක්ෂ කියන්නේ මැද මාවතේ වමට බර මිනිහෙක්. ඒ නිසා තමයි අපි ආවේ. නමුත් මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුණා පස්සේ මට මහින්ද රාජපක්ෂ එක්ක ඒ පාරේ යන්න බැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ දකුණට යටත් වුණ නායකයෙක්. ඒ නිසා රනිල් එකක් මට ගමනක් නැහැ.

මම ඒ ගැන ඉතාම සතුටින් ඉන්නේ. මේ රටේ ජනතාව දකුණටයි, මැද මාවතටයි රැවටෙන්නේ නැතිව ස්ව කැමැත්තෙන්ම වමට ගියා. මෙවැනි දෙයක් කර ගන්න අපි අපේ ජීවිත කාලය පුරා උත්සාහා කළා. මැරෙන්න ඉස්සර ඒක දකින්න ලැබීම මට නම් ලොකු සතුටක්.

ඔව්, මේ ආණ්ඩුවට එක්තරා ආකාරයක නුපුහුණු භාවයක්, අත්දැකීම් අඩුකමක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ නායකයින් ජාත්‍යන්තරය ඉදිරියේ කතා කරන්න ගිය විට, ලෝකයට මුහුණ දෙන විට, ජාත්‍යන්තර නායකයින් හමුවන විට කතා කළ යුත්තේ සිංහල භාෂාවෙන්. මාඕ සේතුං කතා කළේ චීන භාෂාවෙන්, පරිවර්තකයෙක් ඔහු ළඟ හිටියා. බලන්න දැන් අනුර කුමාර සහෝදරයා කතා කරන්නේ සිංහලෙන්. පරිවර්තකයා ඒක පරිවර්තනය කරනවා. බැරි ඉංගිරිසියට ගිහින් කකුල පටලවා ගන්නේ නැතිව තමන් දන්න සිංහලෙන් කතා කරලා, පරිවර්තනය හරහා අනෙකාට ඒක කියලා දෙනවා නම් ඒක ඉතාම හොඳයි.

මේ සිදුවීම් දෙකම පැහැදිලි පරීක්ෂණයකට ලක් කළ යුතුයි. පැරණි සිදුවීමක් ගැන කුමාර ජයකොඩි ඇමැතිතුමාට අල්ලස් කොමිෂමේ නඩුවකුත් තිබෙනවා. ඒ අය ඒ නඩුවලට මුහුණ දිය යුතුයි. එවැනි චෝදනා තිබෙන ඇමැතිවරයෙක් තව දුරටත් තියා ගන්නවා ද කියලා ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළ යුතුයි. කන්ටේනර් 323 සිද්ධිය වුණාට පස්සේ වරාය ඇමැති, බිමල් රත්නායකගෙන් අමාත්‍යාංශය ඉවත් කළා. කුමාර ජයකොඩි අමාත්‍යවරයා සම්බන්ධයෙන් අඩුම ගානේ මේ ආකාරයේ පියවරක් හෝ ගත යුතුයි. කුමාර ජයකොඩි සම්බන්ධයෙන් මීට වඩා ලොකු පියවරකට යන්න වෙයි.

මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ දැවැන්ත බර මේ හරහා හෑල්ලු වෙනවා. තනි ආයතනයක් ලෙස තිබෙනවාට වඩා, මේක කොටස් කිහිපයකට කඩලා, වෙන් කරලා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කළොත් මීට වඩා අඩු වියදමකින් විදුලිය ලබා දෙන්න පුළුවන් වෙයි. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය. මේ මතය ආණ්ඩුව පිළිගෙන තිබෙනවා. නමුත් මේ සැලසුමට වෘත්තීය සමිති කැමැති නැහැ. මගේ අදහස නම් මේක වෘත්තීය සමිති එකඟ කර ගෙන කළ යුතුව තිබුණ දෙයක්. ඒක කරගෙන නෙමෙයි ආණ්ඩුව වැඩේට බැස්සේ, ඒක තමයි මේ ක්‍රියාවලියේ තියෙන දෝෂය.

නැහැ, අපි හිතුවා ශිෂ්ටාචාරය ඉදිරියට යනවා කියලා. නමුත් ට්‍රම්ප්ගේ මතු වීම හරහා අපට අද පේන්නේ ශිෂ්ටාචාරය මත මළපහ කරන නායකත්වයක් තමයි අද අපට ලෝකයේ දකින්න තියෙන්නේ. ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු කියන්නේ යුධ අපරාධකකාරයෝ. ඔවුන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට ගෙන ආ යුතුයි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ නාසි ජර්මනියේ යුධ අපරාධකරුවන්ට දඬුවම් කළ ආකාරයට මොවුන් දෙදෙනාටත් දඬුවම් කළ යුතුයි කියලා මම හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website