
මම සිතන ආකාරයට ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නොවෙයි, ප්‍රධාන ප්‍රශ්නය තමයි වර්තමානයේ ක්‍රියාත්මක වන ආධිපත්‍යවාදී අසාධාරණ ලෝක රටාව. මේ කෑදර ලෝක රටාව වෙනස් කිරීමකින් තොරව ලෝකය සුරක්ෂිත තැනක්, ආරක්ෂාකාරී තැනක් බවට පත් කිරීම ඉතාම අසීරුයි.
- එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ කොහොම ද ? ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
20 වැනි සියවසේ ඇති වුණ මහා පරිමාණ යුද්ධවලින් සිදු වුණ විනාශය තේරුම් ගත් ලෝක නායකයින්, බුද්ධිමතුන් ඇතුළු පාර්ශ්ව ලෝක සාමය ස්ථිර සාර ලෙස පවත්වා ගැනීම සඳහා ස්ථිර යාන්ත්‍රණයක් ගොඩනැඟීමට ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ. පළමු වැනි ලෝක යුද්ධය අවසානයේ දී, 1919 දී මීට සමාන සංවිධානයක් බිහි වුණා ‘ජාතීන්ගේ සංගමය’ කියලා. නමුත් හේතු ගණනාවක් නිසා මේ සංවිධානය අසාර්ථක වුණා. ඊට පස්සේ 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වුණා. ඒ සංග්‍රාමය සිදුවන අතරතුර නැවතත් ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අන්තර් ජාතික යාන්ත්‍රණයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ගැන ලෝකයේ නායක රටවල් දිගින් දිගටම සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1945 ඔක්තෝබර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවෙන්නේ.
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණු මොනවා ද ?
එක්සත් ජාතීන්ගේ තිබෙනවා ව්‍යවස්ථාවක්, ඒක හඳුන්වන්නේ ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය’ කියලා. ඒ ප්‍රඥප්තියේ පූර්විකාව පටන් ගන්නේම, යුද්ධයේ ශාපයෙන් මතු පරම්පරාවන් බේරා ගැනීම උදෙසා’ කියලා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ අරමුණ ඉතාම පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ මූලික අරමුණ, මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ‘යුද්ධ වළක්වා ගැනීම, ජාත්‍යන්තර ආරක්ෂාව සහතික කිරීම. මේ මූලික අරමුණ ඇසුරින් තවත් පරමාර්ථ කිහිපයක් බිහි වුණා.
ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු වන්නේ, ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම, ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම, පොදු අයිතිවාසිකම් පදනම් කර ගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම සහ ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීමයි. මේ මූලික අරමුණු හතර මත පදනම් වූ මූලධර්ම හතක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබෙනවා. ඒවා නම්, සියලුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත, සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම, සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටලු සාමකාමීව විසඳාගත යුතුය, සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම, සියලුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටීමයි.
- එක්සත් ජාතීන් ගැන කතා කරන විට UNESCO, UNICEF වැනි සංවිධාන ගැන නිතර කතා වෙනවා. මේ ආයතන අයත් වෙන්නේ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයටම ද ?
මේ ආයතන (තවත් ආයතන ගණනාවක් තිබෙනවා) හඳුන්වන්නේ ‘එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන’ කියලා. මේ විශේෂිත ආයතන බිහිවෙලා තිබෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවක් අනුවයි. ඒ කියන්නේ මේ විශේෂිත ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළින්ම තමයි උපත ලබන්නේ. මෙම ආයතනවල හැර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බාහිරව ආරම්භ කරලා, පසුව එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන ලෙස නම් කරන ලද ආයතන කිහිපයක් තිබෙනවා. ඒවා අතර ප්‍රකට ආයතන දෙකක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව.
- එක්සත් ජාතීන් ගැන කතා කරන විට ආරක්ෂක මණ්ඩලය ගැන කතා නොකරම බැහැ. ආරක්ෂක මණ්ඩලය පිහිටුවීමට පියවර ගත්තේ ඇයි ?
එක්සත් ජාතීන්ගේ සංකීර්ණ සංවිධාන ව්‍යුහයක් තිබෙන්නේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන අංග හයක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කර තිබෙනවා. ඒවා නම්, මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව), ආරක්‍ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජීය මණ්ඩලය, භාරකාරත්ව මණ්ඩලය (අහෝසි කරනු ලැබීය), අන්තර්ජාතික අධිකරණය සහ මහා ලේකම් කාර්යාලය යි. මේ ආයතන අතරින් ආරක්ෂක මණ්ඩලය සුවිශේෂී ආයතනයක්. ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යාම සම්බන්ධ කාර්යභාරය පැවරී තිබෙන්නේ ආරක්ෂක මණ්ඩලයටයි. ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ 15 දෙනෙක් ඉන්නවා. ඔවුන් අතරින් සාමාජිකයින් පස් දෙනෙක් නිශේධ බලය හිමි ‘නිත්‍ය’ සාමාජිකයින්. ඒ රටවල් වන්නේ එක්සත් ජනපදය, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයයි. වසර දෙකෙන් දෙකට මහා මණ්ඩලය විසින් ඡන්ද විමසීමකින් තෝරා ගනු ලබන සාමාජිකයින් 09 දෙනෙකුත් ඉන්නවා.
ආරක්ෂක මණ්ඩලයට විශේෂ බලයක් තිබෙනවා. ආරක්ෂක මණ්ඩලය විසින් ගන්නා තීරණයක් ක්‍රියාත්මක කිරීමට සාමාජික රටවල් බැඳී සිටිනවා. යම්කිසි ආකාරයකින් මේ තීරණ ක්‍රියාත්මක නොකළොත් අදාළ රටට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් මහා මණ්ඩලයේ යෝජනාවක් සම්මත වුණොත් ඒ යෝජනාවට ‘බැඳීමක්’ නෑ. රටවල් ඒක ක්‍රියාත්මක නොකළා කියලා දඬුවම් ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. මහා මණ්ඩලයේ යෝජනා සම්බන්ධයෙන් තියෙන්නේ ‘සදාචාරමය අධිකාරය’. මේක තමයි න්‍යායාත්මක තත්ත්වය. යුද්ධය හෝ සාමය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත වීමට නම්, ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ද ඇතුළුව 09 ඡන්දයෙන් ඒ යෝජනාව සම්මත විය යුතුයි. නිත්‍ය සාමාජිකයෙක් යම් යෝජනාවකට විරුද්ධ වුවහොත් ඒ යෝජනාව අහෝසි වෙනවා. මෙහි අදහස තමයි නිත්‍ය සාමාජිකයෝ 05 දෙනාම යම් යෝජනාවකට එකඟ නොවුණහොත් ඒ යෝජනාව අහෝසි වීම. පසුගිය කාලය පුරාම නිත්‍ය සාමාජිකයෝ තමන්ට හානිකර යෝජනාවලට නිශේෂ බලය භාවිතා කිරීම සිදු වුණා. නිත්‍ය සාමාජිකයින්ගේ මේ හැසිරීම ආරක්ෂක මණ්ඩලය දැඩිව විවේචනය කිරීමටත්, එහි නිත්‍ය සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වීමටත් හේතුවක් වුණා.
- එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය අරමුදල් ලබා ගන්නේ කෙසේ ද ?
එක්සත් ජාතීන්ට මූල්‍ය සම්පත් ලැබෙන ක්‍රම කිහිපයක් තිබෙනවා. ප්‍රධාන ප්‍රභවය වන්නේ සාමාජික රටවලින් ලැබෙන මූල්‍ය දායකත්වය. මේක සාමාජික ගාස්තුවක් ලෙස සැලකිය නොහැකියි. ඒ නිසා මෙය ‘තක්සේරුගත දායක මුදල’ ලෙස හැඳින්වෙනවා. එක්සත් ජාතීන්ගේ අයවැය කමිටුව විසින් එක් එක් රට විසින් ගෙවිය යුතු දායක මුදල තීරණය කරනවා. මේ මුදල තක්සේරු කිරීමට නිර්ණායක කිහිපයක් පදනම් කර ගන්නවා. අදාළ රටේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම සහ දායක මුදල ගෙවීමට ඇති හැකියාව මේ අනුව සලකා බලනවා. ඒ අනුව ලෝකයේ ඉහළම ආර්ථික බලය සහිත එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය වැනි රටවල් වැඩිම දායකත්ව මුදලක් ලබා දෙනවා. උදාහරණයක් ලෙස එක්සත් ජනපදය 22%ක්, ජපානය 12.5%ක්, ජර්මනිය 8%ක් වශයෙන් දායකත්ව මුදල් ගෙවනවා. ලෝකයේ ප්‍රබල ආර්ථික 10 විසින් 28%ක පමණ දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව වාර්ෂිකව දායක මුදල ලෙස ඩොලර් 110,000ක් පමණ ගෙවනවා. දුප්පත් රටවල් මේ මුළු මුදලම ගෙවව්ත් එක්සත් ජනපදය, ජපානය වැනි ධනවත් රටවල් අදාළ මුදල ගෙවීමේ දී නියමිත කාලයට නොගෙවනවා පමණක් නොව සෑම අවස්ථාවකම හිඟයකුත් තබා ගන්නවා. බලවත් රටවල් මේක කරන්නේ එක්සත් ජාතීන් තමන්ගේ පාලනය යටතේ තබා ගැනීමටයි.
- එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දීර්ඝ කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ මොනවා ද ?
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීම එක්සත් ජාතීන් ලැබූ ප්‍රධාන ජයග්‍රහණය ලෙස සැලකිය හැකියි. ඒකට හේතුව තමයි යම්කිසි ආකාරයකින් තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වුණා නම් ඒක අනිවාර්යයෙන් න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වෙනවා. මුළු මානව සංහතියම අනතුරට ලක්වෙනවා. මෙහි සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතීන්ට නොලැබිය යුතු වුණත් ඒ සඳහා සැලකිය යුතු කාර්යභාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ බව අවිවාදිත කරුණක්. ඒ වගේම සමස්ත මානව සංහතියේ පැවැත්මට, දියුණුවට දායක වන අන්තර්ජාතික ගිවිසුම් සහ සම්මුති ගණනාවක් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම තුළින් ලෝකයට හිමි වුණා. පරිසර විනාශය, සාගර විනාශය, දේශගුණ විපර්යාස පාලනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කැපවීම අගය කළ යුතු තත්ත්වයක තිබෙනවා. ඒ වගේම පසුගිය සියවසේ ලෝකය මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ළමා කාලයේ දී වැළදෙන රෝග. පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප වැනි රෝග වලින් ළමයින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් සාර්ථක එන්නත්කරණ ව්‍යාපෘති දියත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණා. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ එන්නත්කරණ වැඩසටහන් මඟින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබනවා. ආසන්න උදාහරණයක් ගත්තොත් කොවිඩ් -19 වසංගතය පැමිණි අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම යුනෙස්කෝව, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගෝලීය වශයෙන් සුවිශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. ලංකාව ගතත් යුනෙස්කෝ සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානවලින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා ගන්නවා.
- එක්සත් ජාතීන්ගේ සංවිධානය තව දුරටත් වලංගු නැහැ, එය විසුරුවා හැරිය යුතුයි කියලා වර්තමානය වන විට මතයක් තිබෙනවා. ලංකාවෙත් මේ මතය දරන පිරිස් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ දීර්ඝ කාලයක් ඉතා සමීපව කටයුතු කළ කෙනෙක් ලෙස ඔබ මේ ගැන දරන අදහස කුමක් ද ?
මට තිබෙන දැනුම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තව දුරටත් ක්‍රියාත්මක විය යුතුයි. එහි අඩුපාඩු තිබෙන බව අපි කවුරුත් පිළිගන්නවා. ඒ අඩුපාඩු හඳුනා ගෙන ඒවා නිවැරදි කරගත හැකියි. ඒ නිවැරදි කිරීම් තුළින් තමයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ තිබෙන යහපත් අරමුණු සාර්ථක කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි උපහැරණයට කියනවා වාගේ, දරුවා නාවලා දරුවයි උණු වතුරයි දෙකම විසි කරන්නේ නැහැනේ. අපි විසි කරන්නේ දරුවා නාවපු උණු වතුර ටික විතරයි. යම්කිසි ආකාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අහෝසි කළොත් හෝ විසුරුවා හැරියොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි තවත් අලුත් යාන්ත්‍රණයක් හදන්න අපට සිදුවෙනවා. වත්මන් ගෝලීකරණය තුළ කිසිම රටකට තනියම ජීවත් වෙන්න බැහැ. ඒ නිසා කලාපීය සංවිධාන වගේම එක්සත් ජාතීන් වැනි ගෝලීය සංවිධානයක් වර්තමාන ලෝකයට පමණක් නොවෙයි අනාගත ලෝකයටත් අත්‍යවශ්‍යයි.
- ඔබේ යෝජනාව කුමක් ද ?
වර්තමාන ලෝකයේ ඇතිවෙලා තිබෙන විවිධ අර්බුද, රුසියානු – යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායල – පලස්තීන යුද්ධය සහ වත්මන් ඉරාන යුද්ධය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බරපතළ ලෙස විවේචනය කරන බව පේනවා. මේ විවේචනවලට පදනමක් ද තිබෙනවා. නමුත් මම මුලින් කිව්වා වාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අහෝසි කිරීම මේ සඳහා වන ‘හොඳම’ විසඳුම නෙමෙයි. මගේ අදහස වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතින් සිදුවෙන වැරදි නිවැරදි කළ හැකියි, අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතීන් අකාර්යක්ෂම නම් ඒක කාර්යක්ෂම කළ හැකියි. ඒ වගේම දශක 08ක් පැරණි ආයතනය, යාන්ත්‍රණය නූතන අභියෝග සහ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කළ හැකියි, නවීකරණය කළ හැකියි. නමුත් ඒ සඳහා විශේෂයෙන්ම ලෝක බලවතුන්ගේ සහයෝගය සහ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. නමුත් මේ සියල්ල රඳා පවතින්නේ බලවත් සහ ධනවත් ජාතීන් අතේ. බලවත් සහ ධනවත් ජාතීන් තමන්ගේ ස්වාර්ථය සඳහා සෙසු රටවල් තමන්ගේ ග්‍රහණයේ තබා ගන්න උත්සාහා කරනවා, බලපෑම් කරනවා. ඒ හරහා අදාළ අරමුණ ඉටුකර ගන්න නොහැකි වුණොත් ආක්‍රමණය කිරීම් සඳහා වුණත් යොමු විමට බලවත් ජාතීන් දෙවරක් සිතන්නේ නැහැ. මේ ධනවත් සහ බලවත් රටවල් දුර්වල හෝ දුප්පත් රටවල ස්වභාවික සම්පත් කොල්ලකෑමට හැකි සෑම යාන්ත්‍රණයක්ම භාවිතා කරනවා. මේ ධනවත් හා බලවත් ජාතීන්ගේ බලයට ඇති කෑදරකම, ස්වභාවික සම්පත්වලට ඇති කෑදරකම, රටවල් සූරාකෑමට ඇති කෑදරකම තිබෙන තාක් කල් එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි, එය අහෝසි කරලා, මීට වඩා බලවත් හා ශක්තිමත් සංවිධානයක් ස්ථාපිත කළත් වැඩක් නැහැ.
- ඔබ සිතන ආකාරයට ප්‍රශ්නය තිබෙන්නේ කොතැන ද ?
මම සිතන ආකාරයට ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නොවෙයි, ප්‍රධාන ප්‍රශ්නය තමයි වර්තමානයේ ක්‍රියාත්මක වන ආධිපත්‍යවාදී අසාධාරණ ලෝක රටාව. මේ කෑදර ලෝක රටාව වෙනස් කිරීමකින් තොරව ලෝකය සුරක්ෂිත තැනක්, ආරක්ෂාකාරී තැනක් බවට පත් කිරීම ඉතාම අසීරුයි.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 15 වැනි දින කලාපයේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකි













