වංචා දූෂණවලට ආණ්ඩුවෙන් කිසිම සමාවක් නැහැ –  වෛද්‍ය නිශාන්ත සමරවීර – කෝප් කමිටුවේ සභාපති

වෛද්‍ය නිශාන්ත සමරවීර, සභාපති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (එසේ නොමැති නම් බොහෝ දෙනා කියන ආකාරයට ‘කෝප්’ කමිටුවේ අධීක්ෂණය යටතේ පොදු ව්‍යාපාර 457ක් පමණ තිබෙනවා. නමුත් මෙතෙක් කාලයක් ජනතාව කෝප් කමිටුව දැක්කේ පාර්ලිමේන්තුවට යම් යම් රාජ්‍ය ආයතන කැඳවලා, විගණන ක්‍රියාවලිය පදනම් කරගෙන කරුණු විමසලා, දෝෂාරෝපණයක් කරලා එළියට යවන ආයතනයක් විදිහට. ඊට වඩා යමක් සිදු නොවන ආයතනයක් විදිහට තමයි ජනතාව කෝප් කමිටුව දැක්කේ. අපි මුලින්ම මේ කරුණ අවධාරණය කර ගත යුතුයි. කෝප් කමිටුව සම්බන්ධයෙන් අපට ලොකුම ගැටලුව තියෙන්නේ ජනතාව කෝප් කමිටුව දකින ආකාරය තුළයි. ඒ වගේම කෝප් කමිටුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගවලට ඇති බාධාවන් හඳුනා ගැනීමට අපට අවශ්‍ය වුණා. ඒ වගේම මෙතෙක් කාලයක් වුණේ කෝප් කමිටුව විසින් හඳුනා ගන්නා කරුණු මත පදනම් වූ වාර්තාවක් කතානායකවරයාට භාරදීමයි. ඊට පස්සේ කතානායකතුමාට හිතෙන කරුණු පිළිබඳව නීතිපතිතුමාට දැනුම් දෙන්න පුළුවන්. නීතිපතිතුමාට මේ වාර්තාව ගැන යම් අධ්‍යයනයක් කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් වන ආකාරයට තමයි කෝප් කමිටුවේ යාන්ත්‍රණය සකස් කරලා තිබුණේ.

නමුත් අපි මේ තත්ත්වයේ  යම්කිසි වෙනසක් කිරීමට සූදානම් වෙනවා. මේ වන විට අදාළ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට යොමු කරලා තිබෙනවා, ඒ වගේම අවශ්‍ය වෙනස්කම් සඳහා කරුණු සැලසුම් කරමින් සිටිනවා. ඒ වගේම කෝප් කමිටුවට බලපාන ස්ථාවර නියෝග වල වෙනස්කම් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.  ඊට පසුව අපි අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරනවා. ඊට සමාගාමී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිෂමට කෝප් කමිටුවේ වාර්තා ලබාදීමට පියවර ගන්නවා. මෙම වෙනස්කම් වලට අදාළ නීති සම්පාදනයේ අවසන් පියවරට අපි ළඟා වෙලා තිබෙනවා. මම හිතනවා මේ මාසය අවසන් වන විට වන විට අදාළ වෙනස්කම් අවසන් කිරීමට හැකි වෙයි කියලා.

නව සංශෝධන හරහා කෝප් කමිටුවට අමතර බලතල ලැබෙන්නේ නැහැ. අපි මේක කරන්නේ සද්භවයෙන්. මීට පෙර කෝප් කමිටුවට විසින් කතානායකතුමාට භාර දුන් වාර්තාව සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක අවශ්‍ය නෛතික පියවර ගෙන නැහැ. වඩාත් සරලව පැහැදිලි කළොත් කෝප් කමිටුවට පූර්ණ විමර්ශනයක් කරන්න හැකියාවක් නැහැ. සමහර ඒවා අපරාධමය වැරදි, තවත් ඒවා මූල්‍යමය වැරදි, අල්ලස් හෝ දූෂණ වැරදි. නමුත් මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට කෝප් කමිටුවට බලයක් නැහැ. අපි මේ සංශෝධනය හරහා බලාපොරොත්තු වෙන්නේ කෝප් කමිටුව විසින් සොයා ගන්න කරුණු  ඍජුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දීම අවශ්‍ය නෛතික පහසුකම් සම්පූර්ණ කර ගැනීමයි. දඬුවම් කිරීමේ බලයක් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් අපේ නව යෝජනා හරහා කෝප් කමිටුට ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෙනදා ලොකු රවුමක් ගිහින් කරන වැඩේ කෙටි කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

කාලයක් තිස්සේ එකම දේ සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන් තුළ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිම දඬුවමක් නොලැබෙන බව පේන තත්ත්වයක් තුළ රාජ්‍ය  නිලධාරීන් වැරදි කිරීමට බියක් නොදක්වනවා වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව යටතේත් රාජ්‍ය ව්‍යවසාය තුළ වංචා දූෂණ, මූල්‍ය අක්‍රමිකතා වෙනවා නම් අපි හිතන ආකාරයට ඒක නතර කරන්න ක්‍රම ගණනාවක් අවශ්‍යයි. ඒකෙන් එකක් තමයි කෝපි කමිටුව හරහා කරන විමර්ශනවලින් හෙළිදරව් වන අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධව නීතිය  ක්‍රියාත්මක කරවන ආයතන කෙරෙහි ඉක්මනින් යොමු කිරීමේ ක්‍රමය, ඒක අත්‍යවශ්‍යයි. මොකද ඒ හරහා පණිවුඩයක් යනවා යම් යම් කරුණු හෙළිදරව් වූ වහාම කෝප් කමිටුව ක්‍රියාත්මක වෙනවා කියලා.

නැහැ, වංචා සහ දූෂණ නතර කරන්න මේක පමණක් ප්‍රමාද වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසාම අපි මීට පෙර ඉතිහාසය් කිසිම සභාපතිවරයෙක් නොකළ දෙයක් කිරීමට පියවරක් ගත්තා. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය 457ම නියෝජනය වන ආකාරයට එම ආයනවල සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා කියන ප්‍රධාන තනතුරු දෙකට අදාළ නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්නලා අපි විශේෂ සාකච්ඡාවක් කළා. අපි එහි දී ‘රාජ්‍ය ව්‍යවසායක් පවත්වා ගෙන යා යුත්තේ කෙසේ ද, තමන්ගේ පනතට අනුකූලව වැඩ කළ යුතු කෙසේද, සැලසුම් සකස් කළ යුතු කොහොම ද, නීතිමය ක්‍රියාමාර්ග  ගත යුතු කෙසේ ද, මුදලට වගකියන්නේ කොහොම ද, ආදිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කළා. අපි බාලාපොරොත්තු වූ ආකාරයටම මෙතෙක් කාලයක් රාජ්‍ය ව්‍යවසායන් තුළ තිබුණ දුර්වලතාවයන් සැලකිය යුතු ලෙස වෙනස් කර ගෙන තිබෙනවා. අපි පිළිබඳව අපි අධ්‍යයනයක් කරමින් සිටිනවා. ඒ වගේම මේ ආයතන තෝරා ගැනීමේ ක්‍රියාවලියත් වෙනස් කිරීමට අපි බලාපොරොත්තු  වෙනවා.  පසුගිය කාලය පුරාම ඉතාම අවධිමත් ආකාරයට තමයි රාජ්‍ය ව්‍යාපාර කෝප් කමිටුව  හමුවට කැඳවීම කළේ.  අහඹු ලෙස තමයි ආයතන  තෝරා ගැනීම කළේ. නමුත් අපි ඉදිරියේ දී මේ ක්‍රමය වෙනස්  කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රමවේදයක් සකස් කරමින් සිටිනවා. ඒ අනුව, ඒ ඒ ආයතන තමන්ගේ විගණන ක්‍රියාවලිය තුළ එකතු කර ගත් දත්ත මත යම් ලකුණු ප්‍රමාණයක් දීලා, ඒ අතරින්  ඉතාම දුර්වල ආයතන ටික කෝප් කමිටුව හමුවට කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අඩුපාඩු නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි ආණ්ඩු කාලයක් තුළ සියලුම රාජ්‍ය ව්‍යවසායන් කෝප් කමිටුව හමුවට ගේන්න බැහැ. ඉස්සර වාගේ පැයක් දෙකක් කතා කරලා වැඩක් නැහැ. කරනවා නම් සැලකිය යුතු විමර්ශනයක් කළ යුතුයි.

ඔව්, පසුගිය වසරේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද ආයතන සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අනිවාර්යයෙන් පසුවිපරමක් කරනවා. ඒ කියන්නේ පසුගිය වසරේ කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ සියලුම රාජ්‍ය ව්‍යවසායන් මේ අවුරුද්දේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යූතුයි. මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. මේ හරහා අපි ආදර්ශයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි බොහෝ තැන්වල පද්ධතිමය දුර්වලතා දකිනවා. උදාහරණයක් ලෙස පනතක් මඟින් යම් ආයතනයක් ස්ථාපිත කරලා තිබෙනවා, ඒක මත නිලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. බොහෝ අවස්ථාවල දේශපාලනඥයෝ මැදිහත් වෙලා පනතේ තිබෙන දුර්වලතා, එසේ නොමැති නම් ක්‍රියාවලියේ පවතින දුර්වලතා පදනම් කරගෙන තමන්ට වුවමනා ලෙස කටයුතු කරලා යම්කිසි ගැටලුවක් උද්ගත වුණොත් ඒ වරද නිලධාරීන් මත පටවපු අවස්ථා තිබෙනවා. දේශපාලනඥයෝ පමණක් නොවෙයි, යම්කිසි නිලධාරීන් පිරිසකුත් ඉන්නවා පනතේ හෝ කියාවලියේ යම්කිසි දුර්වලතාවක් දැක්ක ගමන් ඒකෙන් රිංගලා වංචා, දූෂණ කරන. නමුත් අපි පසුගිය කාලය තුළ ගත්ත ක්‍රියාමාර්ග හේතුවෙන් පිළිවෙළට වැඩ කළ යුතුයි කියලා යම්කිසි මතයක් ඇතිවෙලා තිබෙනවා. අපේ ආණ්ඩුව විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩල මේ වෙනස වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා රාජ්‍ය නිලධාරීන් හිතාමතා කරන වැරදි දැන් සැලකිය යුතු ලෙස අඩුවෙලා කියලා. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් වුවමනාවෙන් කරන වැරදි අවම වෙලා තිබෙනවා. ඒ නිසා අපට දැන් රාජ්‍ය නිලධාරීන්ව විශ්වාස කරලා කටයුතු කිරීමේ අවස්ථාව තිබෙනවා. අපි තව දුරටත් පරීක්ෂණ කරමින් ඔවුන්ට දිරිමත් කරනවා. කුඩා හෝ අතපසු වීමක් සිදුනොවිය යුතුයි  කියන ස්ථාවරයේ අපි ඉන්නේ. මේ වසර අවසාන වන විට රාජ්‍ය ව්‍යවසායන්ගෙන් බහුතරයක් නිසි ක්‍රමවේදයකට වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ තත්ත්වය තුළත් යම්කිසි නිලධාරියෙක් හෝ කණ්ඩායමක් වංචා දූෂණ කරනවා නම් ඔහුට ‌හෝ ඔවුන්ට එරෙහිව නිසි නිසි පියවර ගන්න අපි කිසිසේත් පැකිලෙන්නේ නැහැ. ඒක තමයි ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රතිපත්තිය, අපේ ක්‍රමය.

ඔව්, පසුගිය කාලයේ එහෙම වුණා. නමුත් මේක එවැනි තත්ත්වයකට පත්විය යුතු ආයතනයක් නෙමෙයි. කෝප් කමිටුව කියන්නේ ජනතාවගේ මුදල් වෙනුවෙන් පාර්ලිමේන්තුවට වගකියන අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක්. අපි රාජ්‍ය විගණන ක්‍රියාවලියට සහය වෙමින් ඒක අධීක්ෂණය කරන ආයතනය. නමුත් රාජ්‍ය ව්‍යවසාය පද්ධතිය තුළ තිබුණ බරපතළ විෂමාචාර හේතුවෙන් ඒක පිළිබඳව හොයන ආයතනය ලෙස කෝප් කමිටුවට විශාල සමාජ හා මාධ්‍ය අවධානයක් ලැබුණා. ඒ සමාජ හා මාධ්‍ය අවධානය නිසා පසුගිය කාලේ සමහර මන්ත්‍රීවරු තමන්ට සුදුසුකම් තිබුණ ද, නැද්ද කියලා පවා සොයා බලන්නේ නැතිව සභාපති තනතුරට ආවා. තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ඔසවා තබන්න මේ තනතුර යොදා ගත්තා. නමුත් අපට එවැනි විශේෂ වුවමනාවක් නැහැ. අපට තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය පද්ධතිය ගොඩනැගීමේ වුවමනාව, දේශපාලන අභිලාෂය පමණයි. ඒ වෙනුවෙන් අපි කෝප් කමිවුට මෙහෙයවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website