පාලනය ආර්ථිකයට පසු සටහනක් විය නොහැක – ජෙහාන් පෙරේරා

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවාගේ ශ්‍රී ලංකා සංචාරය රජයට සාර්ථක අවස්ථාවක් ලෙස සැලකේ. ඇය රට සහ එහි අනාගත සංවර්ධන හැකියාව පිළිබඳව ඉතා ධනාත්මකව කතාකළාය. මෙම ධනාත්මක සම්බන්ධතාව ඇගේ සංචාරයෙන් ආරම්භ නොවීය. එය ආරම්භ වූයේ 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික ණය ආපසු ගෙවිය නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් පසුව, IMF සමඟ ගිවිසුමක් අත්සන් කළදා පටන් ය. ඒ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියේය. IMF අවසාන විසඳුම ලෙස ණයහිමියෙකු වශයෙන් මැදිහත් වූ අතර, එයින් අදහස් කළේ, වෙනත් කිසිවකු ලබානොදෙන විට, එය හදිසි මූල්‍ය ආධාර ලබාදෙන බවයි.

එකල රජය දුෂ්කර තීරණ ගත්තේය. රජය මහජනතාව අතර ජනප්‍රිය නොවූ ප්‍රතිපත්ති හඳුන්වාදුන්නේය, විශේෂයෙන් විශාල බදු වැඩිවීම් ප්‍රකාශයට පත්කළේය. අර්බුදය අතරතුර, ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟ වී තිබිණි. රජය ණය ගෙවීම පැහැරහැර ඇති අතර ඉන්ධන, ඖෂධ සහ ආහාරවල බරපතල හිඟයකට මුහුණ දී තිබිණි. එවන් පසුබිමක, IMF වැඩසටහන තමන්ගේම ජනතාව අතර සහ අන්තර්ජාතික ප්‍රජාව තුළ රට කෙරෙහි යම් විශ්වාසයක් නැවත ඇති කිරීමට ශ්‍රී ලංකාවට උපකාරී විය.

1965 සිට ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් 16 කට එළඹ ඇති අතර, ඉන් එකක්වත් අවසානය දක්වා සම්පූර්ණ කර නොමැත. වත්මන් වැඩසටහන IMF සමඟ ඇති 17 වැනි ගිවිසුමයි. IMF ගිවිසුම් සාමාන්‍යයෙන් රටක ආර්ථිකය වෙනස්කිරීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරයි. කෙසේවෙතත්, IMF කොන්දේසි බොහෝවිට දැඩි ය. ප්‍රධාන ඉලක්කය වන්නේ, රට IMF වෙත ණය ආපසු ගෙවීම සහතික කිරීමයි. මෙම වැඩසටහන්වලට සාමාන්‍යයෙන් රජයේ වියදම් අඩුකිරීම, බදු වැඩිකිරීම, සහනාධාර කපාහැරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම පියවර සාමාන්‍ය ජනතාවට දුෂ්කර විය හැකිය. ඒවායේ සාමාජයීය හා දේශපාලනික පිරිවැය බොහෝවිට ඉහළ ය. එමගින් රජයන්ට සමහර විට මහජන සහයෝගය අහිමි කරන අතර, සමහර අවස්ථාවල වැඩසටහන අවසන් වීමට පෙර ආණ්ඩු බලයෙන් ඉවතට විසිවේ. කාලයත් සමඟ, නිසි සමාජ ආරක්ෂාවක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ විසින් මහජන කෝපය, දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ අවලංගු කරන ප්‍රතිපත්ති වෙනස්කම් ඇතිකළ හැකි බව IMF ලොව පුරා අත්දැකීම් වලින් ඉගෙනගෙන ඇත.

යුරෝපා කලාපීය අර්බුදය අතරතුර ග්‍රීසිය, අයර්ලන්තය සහ පෘතුගාලය වැනි රටවල අත්දැකීම්වලින් පෙනීගියේ, IMF යෝජනා කරන සහන කප්පාදු ප්‍රතිපත්ති විසින් බරපතල සමාජ හා දේශපාලනික ගැටළු ඇතිකළ හැකි බවයි. එම රටවල ආර්ථිකයන් පසුව ස්ථාවර වී නැවත වර්ධනය වීමට පටන් ගත්තද, වියදම් කප්පාදුව සහ බදු වැඩි කිරීම් බොහෝදෙනකුට වේදනාකාරී විය. එවැනි අත්දැකීම් නිසා, අන්තර්ජාතික මූල්‍ය අරමුදල එහි සමහර ප්‍රතිපත්ති වෙනස්කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ඇති වත්මන් ගිවිසුමේ වැදගත් නව ලක්ෂණ දෙකක් තිබේ. පළමුවැන්න සමාජ ආරක්ෂණ ජාලයක් ඊට ඇතුළත් කිරීමයි. දුප්පත්ම ජනතාවට සහන කප්පාදු පියවරවල බලපෑම අඩුකිරීම සඳහා සමාජ සුභසාධනය සඳහා මුදල් වෙන්කළ යුතු බවට IMF එකඟ වී ඇත. රටේ ජනගහනයෙන් තුනෙන් එකක් දිවි ගලව ගැනීමට අරගල කරන්නේ නම්, රටකට වසරකට සිය ආර්ථිකය සියයට 7 ක් හෝ 8 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. IMF හි එකඟතාවෙන් සංවර්ධනය කරන ලද අස්වැසුම වැඩසටහන වැනි දරිද්‍රතාව අඩුකිරීමේ වැඩසටහන් වැදගත් වේ. ජීවන වියදම ඉහළ යෑමේ සහ රැකියා අවස්ථා නොමැතිකමේ නරකම බලපෑම් අඩුකිරීමට ඒවා උපකාරී වේ.

පාලනය ඇතුළත් වේ

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ දෙවැනි වැදගත් ලක්ෂණය වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ යහපාලනය කෙරෙහි අවධානය යොමුකිරීමයි. මෙය වැදගත් වන්නේ, අතීතයේ දී ශ්‍රී ලංකාවට බොහෝ වාරයක් IMF වෙත යෑමට සිදුවූයේ මන්දැයි එය පැහැදිලි කරන බැවිනි. රටේ ආර්ථික ගැටලු අහම්බෙන් සිදුවූ ඒවා නොවේ. දුර්වල ආයතන, තීරණ ගැනීමේදී දේශපාලන මැදිහත්වීම්, රජයේ කොන්ත්‍රාත්තුවල විනිවිදභාවයක් නොමැතිකම සහ සංවරණය සහ තුලනය දුර්වල වීම නිසා ඒවා වඩාත් නරක අතට හැරිණි. මේ නිසා, IMF ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් ලෙස පාලන ගැටළු තක්සේරුවක් ඇතුළත් කර ඇත. මෙයින් අදහස් කරන්නේ රට පාලනය කරන ආකාරය වැඩිදියුණු කිරීම සමඟ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුවනු ඇති බවයි. දූෂණයට එරෙහිව සටන් කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවක් වේ. මෙයට රජයේ කොන්ත්‍රාත්තු ප්‍රසිද්ධ කිරීම, ටෙන්ඩර්වල විවෘත හා තරඟකාරී බව සහතික කිරීම සහ රාජ්‍ය නිලධාරීන් මූල්‍යමය වශයෙන් වගකිව යුතු බවට පත්කරන පද්ධති ශක්තිමත් කිරීම ඇතුළත් වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් කරන ලද අධ්‍යයනයක් දිරිමත් කළ අතර ඔවුන් සමඟ නිතිපතා සාකච්ඡා පැවැත්වීය. පාලන ගැටළු පිළිබඳ සිවිල් සමාජ සමාලෝචනය Verité Research විසින් මෙහෙයවන ලද අතර, Transparency International විසින් සහාය දක්වන ලදී. ඔවුන්ගේ අධ්‍යයනය IMF හි තක්සේරුවට වඩා පුළුල් පරාසයකින් ගැටළු දෙස බැලීය. එය මූල්‍ය ගැටළු පමණක් නොව පද්ධතියේ ගැඹුරු, දිගුකාලීන දුර්වලතා ඉස්මතු කළේය. සිවිල් සමාජ අධ්‍යයනය සමාජ සාධාරණත්වය පිළිබඳ කනස්සල්ල ද මතුකළේය. උදාහරණයක් ලෙස, EPF සහ ETF අරමුදල්වල සේවකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අසාධාරණ බලපෑම එමගින් ප්‍රශ්න කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත වැනි අනිසි ලෙස භාවිත කළ හැකි නීති අවලංගු කරන ලෙස ද එය ඉල්ලා සිටියේය. නිසි උපදේශනයකින් තොරව සේවකයන් තම විශ්‍රාමික ඉතිරිකිරීම් වෙනස්කරන බව දකින විට, ඔවුන්ට රජයේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය නැති වේ. නීති අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි මෙවලම් ලෙස දකින විට, පද්ධතිය කෙරෙහි විශ්වාසය සහ සමාජයේ එකමුතුකම දුර්වල වේ.

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ සිවිල් සමාජ නියෝජිතයන් අතර මෑතකදී පැවති හමුවකදී, එකඟ වූ පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. සිවිල් සමාජ සාමාජිකයන්ට තේරුම් ගතහැකි සහ ඒවාට සම්බන්ධ විය හැකි ආකාරයෙන් ඇය කතා කළාය. සිවිල් සමාජ වාර්තාවේ රටේ ජනවාර්ගික ගැටුම සහ ප්‍රජාවන් අතර සබඳතා බිඳවැටීම ද සඳහන් කර ඇත. එය වසර තිහකට ආසන්න යුද්ධයකට තුඩුදුන් අතර, ශ්‍රී ලංකාවට විශාල ආර්ථික හානියක් සිදුකළේය. මෙම ගැටළුව රැස්වීමේදී ද මතුකරන ලදී. යහපාලනය යනු නිසි ගිණුම්කරණය සහ සාධාරණ ප්‍රසම්පාදන නීති ගැන පමණක් නොවේ. එය සමාජ සාධාරණත්වය, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සාධාරණ දේශපාලන නියෝජනය පිළිබඳව ද වේ. මෙම ක්ෂේත්‍රය තුළ, රජයට තවමත් කළයුතු වැඩ වැඩිය. ඉහළ මට්ටමේ රජයේ කමිටුවල වාර්ගික සහ ආගමික සුළුතරයන් හොඳින් නියෝජනය නොවේ. ඊට අමතරව, පළාත් මට්ටමින් සුළුතරයන් සඳහා නියෝජනය සහතික කිරීමට උපකාරී වූ පළාත් සභා ක්‍රමය තවමත් ක්‍රියාත්මක නොවේ.

IMF වලින් ඔබ්බට

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට පමණක් නොව, පාලන ගැටළුවලට විසඳුම් සෙවීම වැදගත් වේ. යුරෝපීය සංගමයෙන් ලැබෙන වෙළඳ ප්‍රතිලාභ පවත්වාගැනීම සඳහා ද එය වැදගත් වේ. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට GSP+ නමින් වෙළඳ ප්‍රතිලාභයක් ලබාදෙයි. මෙය ශ්‍රී ලාංකික භාණ්ඩ යුරෝපයේ අඩු මිලට විකිණීමට ඉඩ සලසන අතර, එමඟින් ඔවුන්ට වෙළඳපොළේ තරඟ කිරීමට උපකාරී වේ. අපනයන මත දැඩි ලෙස රඳාපවතින රටකට මෙය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව මෙම ප්‍රතිලාභය අහිමි වුවහොත්, එය රැකියාවලට, විශේෂයෙන් ඇඳුම් පැළඳුම් සහ ඇඟලුම් වැනි කර්මාන්තවලට සෘජුවම බලපෑ හැකිය. යුරෝපා සංගමය දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳව කනස්සල්ල පළකර ඇත. වසර ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාව වැදගත් අන්තර්ජාතික ගිවිසුම් සහ ප්‍රමිතීන් අනුගමනය කරන්නේ නම් පමණක්, GSP+ දිගටම පවතින බව යුරෝපා සංගමය පවසා ඇත.එහි එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කළ යුතු බවයි. රජය ඊට විකල්පයක් ලෙස ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත(PTSA)  නමින් නව නීතියක් යෝජනා කර ඇත. එය කඩදාසි මත එතරම් රළු බවක් නොපෙනුණද, එය පුළුල් පරාසයක ගැටළු ආවරණය කරන නමුත් තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රධාන ලක්ෂණ බොහොමයක් තවදුරටත් රඳවාගෙන ඇත.

ආර්ථික වර්ධනය සෙවීමේදී පාලනය සහ සමාජ සාධාරණත්වය නොසලකා හැරිය නොහැක. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ චක්‍රය සහ IMF ඇපකර නැවත නැවත ලබාගැනීම නැවැත්වීමට අවශ්‍ය නම්, රට විසින් වැදගත් පාඩමක් තේරුම්ගත යුතුය. එනම්, යහපාලනය යනු දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා පදනම වන බවයි. යහපාලනය යනු සාධාරණත්වය, වගවීම සහ සංවර්ධනයේ පිරිවැය සහ ප්‍රතිලාභ යන දෙකම සමානව බෙදාගැනීමයි. මෙය නොමැතිව ආර්ථික ස්ථාවරත්වය දුර්වලව පවතිනු ඇත. දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතිනු ඇති අතර, වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 7 සිට 8 දක්වා ළඟාකර ගැනීමේ ඉලක්කය කරා ළඟාවීමට අපහසු වනු ඇත. පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තවත් ප්‍රතිලාභයක් ගෙන එනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වත්මන් ගිවිසුම යටතේ, පාලනය හා සම්බන්ධ බැඳුම්කර ලෙස නව අදහසක් ඇත. මෙම බැඳුම්කර පාලන ප්‍රතිසංස්කරණවල ප්‍රගතියට සම්බන්ධ වේ. රට එහි පාලනය වැඩිදියුණු කරන්නේ නම්, එයට මූල්‍ය වාසි ලබාගත හැකිය. මෙය ආර්ථිකය ශක්තිමත් කරන අතරම ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑමට ධනාත්මක දිරිගැන්වීමක් ඇති කරයි.

පාලනයට සම්බන්ධ බැඳුම්කර පිළිබඳ අදහස වර්ධනය කිරීමේදී Verité Research වැදගත් කාර්යභාරයක් ඉටුකළේය. මෙම බැඳුම්කර මගින් රජයට එහි පවතින ණය සඳහා ගෙවීමට සිදුවන පොලී අනුපාතය අඩුකරයි. එහි අදහස සරලය: පාලනය වැඩිදියුණු වුවහොත්, ණය දෙන්නන්ට ඇති අවදානම අඩු වේ. අවදානම අඩු වූ විට, ණය දෙන්නන් අඩු පොලී අනුපාත පිළිගැනීමට කැමැත්තපළකරනු ඇත. මෙයින් අදහස් කරන්නේ පාලනය වැඩිදියුණු කිරීම සඳහා රටට සෘජු මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙන බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වත්මන් වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට තම ආර්ථිකය ස්ථාවර කිරීමට පමණක් නොව, එයට සහාය දක්වන ආයතන ශක්තිමත් කිරීමට ද අවස්ථාවක් ලබා දේ. මෙය වැදගත් අවස්ථාවක් වන අතර එය නාස්ති කරගත යුතු අවස්ථාවක් නොවේ. ශක්තිමත් ආයතන සහ වඩා හොඳ පාලනයක් නොමැතිව, රටට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, අපනයන වැඩිකිරීමට සහ සමෘද්ධිය අත්කර ගැනීමට අපහසු වනු ඇත. එසේම රටට ණය උගුලෙන් මිදීමට උපකාරී වන සියයට 7-8 ක ආර්ථික වර්ධන වේගයක් කරා ළඟාවීම ද දුෂ්කර වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website