ආණ්ඩුවේ ඩීල් නිසා ජනතාව ගෑස් පෝලිම්වල දුක්විඳිය යුතු නැහැ – හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක

නැවත වතාවක් රටේ ගෑස් සැපයුම සම්බන්ධ ගැටලු මතු වෙලා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා, වසන්ත සමරසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළා. ඔහුගේ අදහස් දැක්වීමෙන් ප්‍රකාශ වුණේ, ගෑස් සමාගම් දෙකක් වර්තමානය වන විට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා, ඒ ගෑස් සමාගම් දෙකෙන් එක ගෑස් සමාගමක ගෑස් සැපයුමේ හිඟයක් නිසා ජනතාව අනෙක් ගෑස් සමාගමේ ගෑස්වලට මාරු වීමට කළ උත්සාහය හේතුවෙන් මේ අර්බුදය නිර්මාණය වුණා වැනි අදහසක්. ඒ වගේම ඔහු සහතික වුණා සතියක් වැනි කෙටි කාලයක් තුළ මේ ගෑස් හිඟය අවසන් වෙන බවට. නමුත් ඇත්ත කතාව මේක ද කියලා අපි සොයා බැලිය යුතුයි. ඇත්තටම මොකක්ද මේ ගෑස් හිඟයට හේතුව ?. ලංකාවේ ගෑස් සැපයුමේ විශාල කොටසකට, ආසන්න වශයෙන් 80%කට හිමිකම් කියන්නේ රාජ්‍ය සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම. අනෙක් සමාගම තමයි පුද්ගලික සමාගමක් වන ලාෆ්ස් ගෑස් සමාගම. ලිට්‍රෝ ගෑස් සමාගමේ කලින් සැපයුම්කරු ලෙස ඉතා දීර්ඝ කාලයක් කටයුතු කළේ OQ කියන ඔ්මාන රාජ්‍යයට අයත් සමාගම. මේ සමාගම සමඟ කටයුතු කිරීමේ දී යම් යම් ගැටලු මතු වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ, 2021 දී ඔහුට හිතවත් කිසියම් පුද්ගලයෙක් ‘තමන්ට ගෑස් අඩුවෙන් ලබා දෙන්න පුළුවන්’ කියලා ගෑස් ටෙන්ඩරය පමා කළා. නමුත් ඔහුට අපේක්ෂිත පරිදි ගෑස් සැපයුම කරන්න නොහැකි වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවුරුද්ද පුරාම ගෑස් හිඟයක් ඇති වුණා. ඒක පසුව ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවට පත් වුණා. ඊට පස්සේ ගෑස් මිශ්‍ර කිරීමේ දෝෂ නිසා පිපිරීම් ඇති වෙලා මරණ කිහිපයක් සිදු වුණා. අද දක්වා  මේ ගෑස් සැපයුමේ ඇති වුණ ප්‍රශ්නය ගැන පරීක්ෂණයක් ආණ්ඩුව කරලා නැහැ. ගෑස් සැපයුම අඩාල වුණේ ඇයි, කවුද ඒ ගෑස් අඩුවට දෙනවා කියලා ආණ්ඩුව රැවටීමට ලක් කළේ, ඒ වගේම ගෑස් මිශ්‍ර කිරීමේ දී සිදු වුණ දෝෂවලට, මිය ගිය මිනිස්සුන්ට කවුද වන්දි ගෙව්වේ කියන එක ගැන අද දක්වාම පරීක්ෂණයක් කරලා නැහැ. කොහොම වුණත් OQ  සමාගම ඊට පසුවත් ගෑස් සැපයුම කළා. 2025 දී වත්මන් රජයත් ඒ ගෑස් ටෙන්ඩරය දීර්ඝ කළා. ඒ කියන්නේ OQ සමාගමටම ගෑස් සැපයීමේ අවස්ථාව ලබා දුන්නා. නමුත් මේ අවුරුද්දේ ආණ්ඩුව නව ගෑස් ටෙන්ඩරයක් නිවේදනය කරලා, එම ටෙන්ඩරය 2026 අගෝස්තු 25 වැනිදා එක්සත් ජනපදයට සම්බන්ධ නව සමාගමකට ලබා දුන්නා.

ලිට්‍රෝ සමාගමට මෙට්‍රික් ටොන් 8000ක ගබඩා පහසුකම් තිබෙනවා. ලංකාවේ දෛනික අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් 1300ක් ඔවුන් විසින් ලබාදීම කළ යුතුයි. ආරක්ෂිත තොග ලෙස මෙට්‍රික් ටොන් 3000ක් පවත්වා ගෙන යා යුතුයි.  ලිට්‍රෝ ගෑස් පර්යන්තයට ‘මවු යාත්‍රාවලට’ පැමිණීමට නොහැකි නිසා ඉන්දියාවේ හෝ මාලදිවයිනේ සිට කුඩා යාත්‍රවලින් ගෑස් ගෙන ඒම කරනවා. ඒ කුඩා යාත්‍රාවල ධාරිතාව ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 2500ක් පමණ වෙනවා. මේ තත්ත්වය යටතේ ආරක්ෂිත තොගත් තබා ගෙන, හිඟයකුත් ඇති නොවන ආකාරයට දෛනික අවශ්‍යතාව සපයන්න නම් සාමාන්‍යයෙන් කුඩා යාත්‍රා හතරක් හෝ අවම වශයෙන් කුඩා යාත්‍රා තුනක් පවත්වා ගෙන යා යුතුයි. එක්සත් ජනපදයට සම්බන්ධ සමාගමකට දුන් නව ටෙන්ඩර් එකේ තාක්ෂණික ඇගයීම් කමිටුව හමුවේ මේ සමාගම කියලා තියෙනවා තමන්ට කුඩා යාත්‍රා හතරක් තිබෙන බව. නමුත් ඇත්තටම ඔවුන් යොදා ගෙන තිබෙන්නේ කුඩා යාත්‍රා දෙකයි.  මෙන්න මේ නිසා තමයි වත්මන් ගෑස් හිඟය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකි වීම තමයි අද තිබෙන ගැටලුව.

එක එක තැන්වලට ආඩපාලි කියවන්නේ නැතිව වහාම මේ ටෙන්ඩරය අහෝසි කළ යුතුයි. නැතිනම් මේ සමාගමට එරෙහිව ටෙන්ඩරය ප්‍රකාරව කටයුතු කිරීම සඳහා රජය වහාම පියවර ගත යුතුයි. නමුත් පුදුමය කියන්නේ බාල ගල් අඟුරු වංචාවේ වගේම මේ සමාගමටත් එරෙහිව කිසිම පියවරක් ගන්න බවක් නම් අපට පේන්නේ නැහැ. අපට වාර්තා වන ආකාරයට මවු නෞකාව මාලදිවයිනේ තබා ගෙන තමයි කුඩා යාත්‍රාවලින් මේ ගෑස් සැපයීම කර ගෙන යන්නේ.

මිල ගණන් ගත් විට මීට පෙර ගෑස් සැපයීම කළ OQ සමාගම සහ ටෙන්ඩරය දිනා ගත් බව කියන නව සමාගම අතර ඩොලර් ශත 15ක පමණ වාසියක්, වෙනසක් තමයි තියෙන්නේ. මේ සාපේක්ෂ වාසිය නිසා තමයි අදාළ සමාගමට ගෑස් ටෙන්ඩරය දීලා තියෙන්නේ. නමුත් නව සමාගමට තාක්ෂණික දෝෂයක් තිබෙනවා. ඒක තමයි කුඩා නැව් හතරක් වෙනුවට නැව් දෙකක් ලබාදීම. ලිට්‍රෝ සමාගම ආසන්න වශයෙන් වසරකට ගෑස් මෙට්‍රික් ටොන් 400,000කට අධික ප්‍රමාණයක් සපයනවා. ඒ කියන්නේ මාසයකට මෙට්‍රික් ටොන් 35,000ක පමණ ගෑස් සැපයුමක් කරනවා. සාමාන්‍යයෙන් ගෘහස්තව පාවිච්චි කරන 12.5Kg ගෑස් සිලින්ඩර් 75,000ක් සහ 2.4Kg කුඩා සිලින්ඩරය 20,000ක් පමණ පාවිච්චි වෙනවා. Kg 5 ගෑස් සිලින්ඩර් 18,000ක් සහ 32.5Kg ගෑස් සිලින්ර් 800ක් දෛනිකව නිකුත් කළ යුතුව තිබෙනවා. මේ අනුව රට තුළ ප්‍රශ්නය තියන්නේ ගෑස් හිඟයවත්, ගෑස් නැව් නොපැමිණීමවත් නොවෙයි, කුඩා යාත්‍රා හතරක් වෙනුවට දෙකක් යොදා ගැනීමයි.

මෙතන ආණ්ඩුව නොකියන රහසක් තිබෙනවා. ඒ රහස තමයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජූලි අගදී  විශේෂ ප්‍රකාශයක් කළා, “තීරු බදු සහන ලබා දෙන්න නම් එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුම්වලට පැමිණිය යුතුයි, එක්සත් ජනපදයෙන් හෝ එක්සත් ජනපදයට අයත් සමාගම්වලින් භාණ්ඩ මිල දී ගත යුතුයි’කියලා. මේ කාරණා එකක්වත් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව රටට කිව්වේ නැහැ. නමුත් අපි දන්නවා ඉන්දියාවට කිව්වේ මොකක්ද කියල. ට්‍රම්ප් ඉන්දියාවට කිව්වා ‘තීරු බදු සහන අවශ්‍ය නම් එක්සත් ජනපදයෙන් ඉන්ධන ගන්න’ කියලා. ඉන්දියාව ඒක කළා. බංග්ලාදේශය ට්‍රම්ප් කිව්ව දේ කළා. වියට්නාමයත් ට්‍රම්ප් කිව්ව දේ කළා. එහෙම නම් ලංකාවට වෙනස් විදිහකට සලකන්න විශේෂ  හේතුවක් නැහැනේ. ට්‍රම්ප් ජනාධිපතිතුමා ගනුදෙනුවලින් තොරව කාටවත් ‘විශේෂ සහන’ දෙන්නේ නැහැනේ.

මම මේ අනාවැකිය කිව්වා. මම කිව්වා අනිවාර්යෙන්ම එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමක් තිබෙනවා කියලා. ඒක 2025 11.14 අනාවරණය වුණා. එදා එක්සත් ජනපද තානාපති කාර්යාලය ලංකාව සහ එක්සත් ජනපදය අතර තිබෙන ආරක්ෂක ගිවිසුම හෙළිදරව කළා. ඔවුන් ඒක හෙළි කළේ නැතිනම් මේ ගිවිසුමේ අන්තර්ගතයත් ඉන්දියානු ගිවිසුම, චීන ගිවිසුම වාගේ තවමත් රහසිගතයි. ඒ වගේම තමයි ඉන්දු – පැසිෆික් කලාපය භාර ආරක්ෂ ප්‍රධානියා පසුගිය දා සෙනෙට් සභාව හමුව්  විශේෂ ප්‍රකාශයක් කරමින් කිව්වා, ‘එක්සත් ජනපදය ලංකාවේ ප්‍රමාණයට වඩා  ඔවුන් ලංකාව ගැන අවධානය යොමු කරන’ බව. මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්. අපි දන්නවා ලෝක බලවතුන් හැසිරෙන ආකාරය. ඇමෙරිකාව බංග්ලාදේශයට අයත් ‘ශාන්ත මාටින්’ දූපත ඉල්ලා තිබුණා. ඒ වගේම අපට දැන් අපේ ත්‍රිකුණාමලය වරාය ගැන සැකයක් තිබෙනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්න ඉන්දීය – ඩුබායි සමාගමක් එනවා කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. මොකද ඉන්දියාව, ඩුබායි, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය වර්තමානය වන විට එකම ආරක්ෂක දැළකයි කටයුතු කරන්නේ. ඒ වගේම කොළඹ වරායේ සංවර්ධන ව්‍යාපෘතියකට ඉන්දියාව මැදිහත් වුණ විට ඒකට මුදල් දුන්නේ එක්සත් ජනපදය.

නැහැ, අපේ කිසිම විරෝධයක් නැහැ. නමුත් මේ ක්‍රියාවලියේ කිසිම විවෘතභාවයක් නැහැ. මොනවද යටින් ගහන ගිවිසුම් කියලා රට දන්නේ නැහැ. එක්සත් ජනපද ගෑස් සමාගමකට ටෙන්ඩරය ලබා දුන්නේ තීරු බදු සහන ලබා ගන්න නම් ඒක රටට විවෘතව හෙළි කරන්න. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගිවිසුම හේතුවෙන් රට තුළ ගෑස් හිඟයක් ඇති වෙනවා නම් ඒ ගිවිසුම අවලංගු කරලා රටට ගෑස් ගේන වැඩපිළිවෙළක්  හදන්න. මොකද ආණ්ඩුවේ ඩීල් වලට රටේ ජනතාව වන්දි නොගෙවිය යුතුයි. ඒ නිසා මම බොහොම පැහැදිලිව යෝජනා කරනවා, ගෑස්වල මිල ගණන් අඩු බව ඇත්ත, නමුත් තාක්ෂණික දෝෂයක් තිබිය දී, නැව් හතරක් වෙනුවට නැව් දෙකක් පාවිච්චි කරද්දී එක්සත් ජනපදයට අයත් සමාගමකට ගෑස් ටෙන්ඩරය ලබා දුන්නේ එක්සත් ජනපදයෙන් තීරු බදු සහන ලබා ගන්න කියන එක ඉතාම පැහැදිලි කාරණයක්. ඒ නිසා ලෙනින් ගැන කතා කර කර, අධිරාජ්‍යවාදය ගැන කතා කර කර, පිදෙල් ක්‍රැස්තෝ ගැන කතා කර කර රට රවට්ටන්නේ නැතිව, තමන්ගේ සැබෑ දේශපාලන අභිලාෂයන් ජනතාව හමුවේ විවෘතව ප්‍රකාශ කරලා, විවෘතව කටයුතු කරන ලෙස අපි ආණ්ඩුව ප්‍රකාශ කරන්න කැමතියි.

2014-15 කා‌ලේ මේ වගේ අර්බුද තිබුණා. රක්ෂණ සංස්ථාවට අනුබද්ධව ගෑස් සමාගම තිබුණ කාලේ තනිමතයට ගෑස් ටෙන්ඩර් ලබා දුන්නා. නමුත් මේ වන විට ප්‍රසම්පාදන ක්‍රමවේදයන් විශාල වශයෙන් දියුණු වෙලා තිබෙනවා. සාපේක්ෂ මිල වාසියට අමතරව තාක්ෂණික හැකියාවන් බරපතළ ලෙස සලකා බලනවා. ගෑස් කොහෙන්ද සපයන්නේ, නැව් කීයක් එනවද ? වාගේ තාක්ෂණික ශක්‍යතා ගැන සලකා බලනවා. ඊට පස්සේ තමයි මිල ශක්‍යතාව ගැන සොයා බලන්නේ. මිල වාසිය ගැන පමණක් සැලකිලිමත් වෙලා, ඩොලර් ශත කිහිපයක් අඩු වුණා කියලා, තාක්ෂණික හැකියාව නොමැති සමාගමකට ටෙන්ඩරය ලබාදීම වැරදි ක්‍රියාවක්. වත්මන් සමාගමට ප්‍රමාණවත් තාක්ෂණික හැකියාවක් නොතිබීම තමයි වර්තමාන අර්බුදයට හේතුව. ඒ නිසා මිල වාසිය සහ තාක්ෂණික හැකියාව යන දෙකම එකට බැලුවා නම් මේ අර්බුදය නිර්මාණය වෙන්නේ නැහැ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තාක්ෂණික පිරිවිතරයන්ට අනුව මව් නෞකාවේ සිට ලිට්‍රෝ පර්යන්තයට ගෑස් ප්‍රවාහනය කරන්න කුඩා නැව් හතරක් තිබිය යුතුයි. නමුත් අදාළ සමාගම සතුව තිබෙන්නේ කුඩා නැව් දෙකක් පමණයි. ඒ කියන්නේ මෙතැන පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳන්න වහාම රජය මැදිහත් විය යුතුයි.

ඔව්, පහසුවෙන් ඒක කරන්න පුළුවන්. ගෑස් තියෙන්නේ ඇමෙරිකාවට විතරක් නෙමෙයිනේ. තාක්ෂණික පිරිවිතරයන්ට අනුව අදාළ සමාගම කටයුතු කරන්නේ නැතිනම්, ටෙන්ඩර් කොන්දේසි කඩකරලා තිබෙනවා නම් ඒකට නිසි පියවර ගත යුතුයි. මේ වන විට ගල් අඟුරු සම්බන්ධයෙනුත් සිද්ධ වෙලා තියෙන්නේ මේකමනේ. පළමු වැනි නැවේ දීම ටෙන්ඩර් කොන්දේසිය කඩ වුණා. දෙක, තුන ඒකම වුණා. නමුත් මේ වන විට නැව් 10ක් ඇවිත් තියෙනවා. ටෙන්ඩර් කොන්දේසි කඩකර කර බාල ගල් අඟුරු නැව් 10ක් ගෙනත් තිබෙනවා. තව 15ක් ගේන්න යනවා. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. ඇයි මේ සමාගම්වලට විරුද්ධව කටයුතු කරන්න බය. අපට පේනවා මේ විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට රට හසුරවනා. රටේ ජනතාවගේ අවශ්‍යතාව දෙකට දාලා තියෙන්නේ. මුල්තැන දීලා තියෙන්නේ විදේශ සමාගම්වල අවශ්‍යතාවලට.

මේ කොන්දේසි ආණ්ඩුව රටට හෙළි කළ යුතුව තිබුණානේ. අනික් රටවල් ඒක කළා. ඉන්දිය රජය තමන් එක්සත් ජනපදය සමඟ ඇතිකර ගත් කොන්දේසි  රටට කියන්න තරම් අවංක වුණා. නමුත් අපේ ආණ්ඩුව ඒ ගැන එක වචනයක් රටට, පාර්ලිමේන්තුවට හෙළි කළේ නැහැ. නමුත් බංග්ලාදේයේ, වියට්නාමයේ, යුරෝපා සංගමයේ සහ චීනයේ කොන්දේසි හෙළි වෙලා තිබෙනවා. නමුත් ලංකාවේ ඒවා විතරක් අභිරහසක්. අපි ඉතාම පැහැදිලිව කියනවා, මේ තීරු බදු සහන සමඟ ආරක්ෂක ගිවිසුම්, තීරු බදු ගිවිසුම් ඇවිත් තියෙනවා.

ගල් අඟුරු ගෙන්නෙත් ඇමෙරිකානු සමාගමක් ද ?

නැහැ, ඒක ඉන්දියානු සමාගමක්. ඔවුන් මීට පෙර ගල් අඟුරු සපයපු සමාගමකුත් නෙමෙයි. ඉතාම කෙටි කාලයක් තුළ ලියාපදිංචි කරලා, මේ ටෙන්ඩර් එකටම ආපු සමාගමක්. ටොන් එකකට ඩොලර් 1.5ක් ඔවුන්ගේ ගල් අඟුරු ලාභ බව කියනවා. නමුත් බාල ගල් අඟුරු ගෙනත් තියෙන්නේත මේ සෑම ගල් අඟුරු ටොන් එකකින්ම අදාළ සමාගමට ඩොලර් 30ක ලාභයක් තියෙනවා. ඒක පුදුම ලාභයක්නේ.

බාල ගල් අඟුරු ආනයනයට සම්බන්ධ සභාපතිවරයා තමයි ඉල්ලා අස් වුණේ. ඔහු කියන ආකාරයට මේ ඉල්ලා අස්වීමට හේතුව සෞඛ්‍ය ප්‍රශ්නයක්. නමුත් ඉල්ලා අස්වීම සම්බන්ධ ඔහුගේ ලිපියේ මැද තිබෙනවා, බාල ගල් අඟුරු ආනයනයට සම්බන්ධ / වගකිව යුතු පුද්ගලයින් ගැන ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරනවා. මේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දැන් මේ සියලු චෝදනා නිලධාරීන් පිටින් යවලා ඔවුන් ගැළවෙන්න හදනවා. ඒ නිසා අවංක නිලධාරීන් මේ දූෂිත දේශපාලනඥයින්ගෙන් රැකගත යුතුයි. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වන විට අපට මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් තිබෙනවා. අපි දන්නවා, මෙවැනි නිලධාරීන්ට ආණ්ඩුව බරපතළ ලෙස තර්ජනය කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව අප ගැන නිරන්තරයෙන් තොරතුරු සොයමින් ඉන්නවා.

ඔව්, ඒ වගේම මේ ආණ්ඩුව සත්‍යයට බයයි. ඇත්තට බයයි. ඒ බය නිසා තමයි මේ හැමදේම යට ගහන්න හදන්නේ. හොරොන් කරන්නේ. නමුත් ඇත්ත කියන දේ කවදා හරි එළියට එනවා. ගල් අඟුරු ගැන අපි කිව්ව ඇත්ත මතු වුණා වාගේ අද හෙටම මේ ගෑස් අර්බුදයේ ඇත්තම කතාවක් එළියට එයි. මේ ගෑස් එකේ ගිවිසුමත් අද හෙටම එළියට එයි. මම නැවත කියනවා, ආණ්ඩුවේ ඩීල් නිසා ජනතාව ගෑස් පෝලිම්වල දුක්විඳිය යුතු නැහැ.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website