සමගි ජන බලවේගය බිහි කිරීම නිවැරදි දේශපාලන තීන්දුවක් කියලා මම අදත් විශ්වාස කරනවා – හරීන් ප්‍රනාන්දු

ඒකට මූලිකම හේතුව වුණේ මම සෑම අවස්ථාවකදීම දේශපලානිකව අවදානම් ගත්ත එක. ඒ වගේම ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එක. මම දේශපාලනයට එන්නේ 2009 දී, ඒ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ කරලා. බදුල්ල දිස්ත්‍රික්කය කියන්නේ දේශපාලන පතාකයෝ හිටිය දිස්ත්‍රික්කයක්. නමුත් මට ඒක අභියෝගයක් වුණ් නැහැ. මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඊට පස්සේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ කැම්පේන් එක. මම කළ මේ වගේ අභියෝගාත්මක වැඩ නිසා ඉතා ඉක්මනින් මට දේශපාලනයේ ඉහළට යන්න අවස්ථාව ලැබුණා. 2015 කැබ්නට් එකේ තරුණ අමාත්‍යවරයෙක් ලෙස මට අවස්ථාව ලැබුණා. මට ලැබුණ අමාත්‍යාංශවලත් මම මගේ රාජකාරිය හරියට කළා. ඒ වගේම 2018 දින 58 ආණ්ඩු අර්බුදයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම ඉතා වැදගත් අවස්ථාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් මාව දේශපාලනිකව විනාශ කළත් මම ඒ අභියෝග භාර ගෙන ඉදිරියට ගියා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයට පත් වූ පසු අමාත්‍යධුරයක් භාර ගැනීම දක්වා මම මගේ දේශපාලන ජීවිතය තුළ නොසැලී ඉදිරියට ගියා. මේ කාලය තුළ මා හමුවට පැමිණි සියලුම අභියෝගවලට නොසැලී මුහුණ දුන්න නිසා තමයි මම බ්‍රැන්ඩ් එකක් බවට පත් වුණේ.

2014 ඌව පළාත් සභා මැතිවරණය පවත්වන විට එක්සත් ජාතික පක්ෂය සෑම මැතිවරණයකින්ම පරාජයට පත්වෙලා 26%ක ඡන්ද පදනමක් තිබුණේ. ඒ වන විට රනිල් – සජිත් අර්බුදය උග්‍ර අතට පත් වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂට අභියෝග කරන්න පුළුවන් පක්ෂයක්, දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. ඔහු දිනෙන් දින ශක්තිමත් වෙමින් හිටියේ. ඔහුගේ ආධිපත්‍යයට එරෙහිව කටක් අරින්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. එවැනි අවධියකදී මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්න 2014 ඌව පළාත් සභා මැතිවරණ කැම්පේන් එකේදී මට පුළුවන් වුණා. මම තරඟ කළේ මහින්ද රාජපක්ෂගේ අයියා, චමල් රාජපක්ෂගේ පුතා ශෂේන්ද්‍ර රාජපක්ෂ එක්ක. ඔහු කතරගම දේවාලයේ බස්නායක නිළමේ. මුදල් වලින් ගත්තත්, දේශපාලන බල පුළුවන්කාරකම අතින් ගත්තත් ඔහුට අභියෝගයක් තිබුණේ නැති තරම්. ඒ වගේම පාර්ලිමේන්තුවේ හිටියේ මම විතරයි, හත් දෙනෙක් ආණ්ඩුවේ. නමුත් මම අභියෝගය ජය ගත්තා. 26%ක හිටිය පක්ෂය 44% දක්වා ඉහළට ගියා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ අතින් ඉතිහාස ගත වරදක් සිදු වුණා. එතුමා වේලාසන ජනාධිපතිවරණයකට ගියා. ඒ වන විට අපට ජ ජනාධිපති අපේක්ෂකයෙක් හිටියේ නැහැ. අපි දැනගෙන හිටියා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් අඩුව තිබුණ 6% ගන්න පුළුවන් කියලා. ඒක එහෙමම වුණා. එක්සත් ජාතික පාක්ෂිකයෝ ඡන්ද පොළට ආවා. පොදු අපේක්ෂකයා, මෛත්‍රීපාල සිරිසේන  ජයග්‍රහණය කළා. මිනිස්සු අවධි කිරීම පහසුවෙන් කළ හැකි බව අපි ඔප්පු කළා.

‘යහපාලනය’ කියන සංකල්පය මරු, ඒක ඇතුළේ විශාල දෙයක් තිබුණා. නමුත් අවාසනාව තිබුණේ වෙන තැනක. අපේ පොදු අපේක්ෂකයා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන. එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ තීරණය කළා පොදු අපේක්ෂකයා ලෙස නොව එතුමගේ පැරණි පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමඟ ඉදිරියට යා යුතුයි කියලා. ඒ තීන්දුව බරපතළ වරදක් කළා. මිනිස්සු බලාපොරොත්තු වුණේ අලුත් මූණු. එක්සත් ජාතික පක්ෂය තුළ අලුත් මුහුණ ගණනාවක් තිබුණා. හර්ෂ, එරාන්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, රුවන් විජේවර්ධන වාගේ තරුණ, වර්ණවත් දේශපාලනඥයෝ රැසක් හිටියා. ඒත් ඒ කිසිම කෙනෙක් කැබිනට් එකටවත් ගත්තේ නැහැ. අලුත් මුහුණු කැබිනට් එකට ගත්තේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහ මැතිවරණයෙන් පරාජයට පත් මන්ත්‍රීවරුන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන කැබිනට් ඇමැතිකම් දුන්නා. මේ තීරණයත් එක්ක ‘වෙනස’ අර්බුදයට ගියා. මහින්ද රාජපක්ෂව පරාජය කරලා පත් කළ ආණ්ඩුව පාරාජිත ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් කැබිනට් එකට ගත්තා. ඒක තමයි යහපාලන ආණ්ඩුව බිඳ වැටීමේ ආරම්භය.

රනිල් වික්‍රමසිංහ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයට හැමදාම ගෞරව කළ කෙනෙක්. මම හිතන ආකාරයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව එක්සත් ජාතික පක්ෂයට ගත්තා නම් මේ අර්බුදය ඇති නොවෙන්න තිබුණා. නමුත් එතුමව පිටින් තියල යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට දීපු අවස්ථාවෙන් තමයි යහපාලන ආණ්ඩුව  සම්පූර්ණයෙන් විනාශ වුණේ.  චම්පික රණවක වාගේ අති දක්ෂ ඇමැතිවරුන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට නායකයෝ දෙන්නා අතර ඇති වුණ බල අරගලය විශාල බාධාවක් වුණා.

මම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අවංකව, හදවතින්ම කම්පා වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. 2019 නොවැම්බර් මාසයේ ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ. පෙබරවාරී මාසයේ ජනමත සමීක්ෂණයක් සිදු කළා. ඒ සමීක්ෂණයේ දී සජිත් ප්‍රේමදාස දිනනවා කියලා තිබුණා. නමුත් අප්‍රේල් මාසේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ‘ජාතික ආරක්ෂාව’ කියන මාතෘකාව ඉදිරියට එනවා. ජාතික ආරක්ෂාව කේන්ද්‍රිය කාරණය වීම තුළ ජනමතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සජිත් 42%යි, ගෝඨාභය රාජපක්ෂ 52%යි. නමුත් යම් කිසි ආකාරයකින් 5%ක ඡන්ද එහා – මෙහා වුණා නම් කාටවත් 50%ක් ගන්න නොහැකි වෙනවා. මම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ විශ්ලේෂණයක් කළා. මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරය පිටුපස යම්කිසි සැඟවුණු කතාවක් තිබෙනවා. ඒ අදිසි දේශපාලන හස්තය තාමත් අභිරහසක්.

කතෝලික සභාව මේ ප්‍රහාරය දේශපාලනීකරණය කළා, ආණ්ඩු දෙක තුනක් පෙරළා දැම්මා. නමුත් කාටවත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. සාධාරණය ඉල්ලා කතා කළ එකාට ගැහුවා. ඇත්ත කිව්වොත් ගුටි කන්න වෙනවා. මම විශ්වාස කරනවා ස්වභාව ධර්මය අනුව තවත් දශකයකින් හෝ දෙකකින් හෝ කවදා හෝ සත්‍ය එළිවෙයි කියලා.

මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන දැනුම හෝ අවබෝධය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එතුමා දන්නවා බිම් මට්ටමේ ග්‍රාම නිලධාරියාගේ සිට විධායක ජනාධිපතිවරයා දක්වා දේශපාලන හා පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය. නමුත් අලුත් දේවල් ගැන එතුමාට හරි බයක් තිබුණා. මම යහපාලන ආණ්ඩුවේ ඩිජිටල් ඇමතිවරයා වුණාට, මම අමාත්‍යාංශය භාර ගන්න කොට පුටුවක්, මේසයක් පවා තිබුණේ නැහැ. ඩිජිටල්කරණ කියන වචනය ලංකාවේ මිනිස්සුන්ට ආගන්තුක වචනයක්. නමුත් අපි විශාල වැඩ කොටසක් කළා. ඔය කට්ටය විහිළු කරන ගූගල් බැලුම පවා කඩා ගෙන වැටුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා යටතේ තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබුණේ. විෂයභාර අමාත්‍යවරයා ලෙස මට ටෙලිකොම් එක තිබුණට නියාමනය තිබුණේ  ජනාධිපති යටතේ. ටෙලිකොම් එකේ සභාපති ජනාධිපතිතුමාගේ සහෝදරයෙක්.  අපි වැඩ කරගෙන යන කොට ජනාධිපතිතුමා සහයෝගය ලැබුණෙම නැහැ. මම හිතන්නේ අලුත් දේවල් ගැන නොතේරීම තමයි ඒකට හේතුව වුණේ. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවබෝධය තිබුණා. ඒ නිසයි ඩිජිටල් විෂයභාර අමාත්‍යාංශයක් හැදුවේ. නමුත් මෛත්‍රී – රනිල් බල අරගලය නිසා අපට ඉදිරියට යාමට නොහැකි වුණා. මිලියන 22ක ජනගහනයක් ඉන්න ලංකාව ඩිජිටල්කරණය කිරීම ඉතාම පහසුයි.  ඩිජිටල්කරණය හරහා හොරකම, නාස්තිය, දූෂණය නතර කරන්න පුළුවන්.

මම හිතනවා අනුර කුමාර ජනාධිපතිතුමා යටතේ හෝ මේ ඩිජිටල්කරණ සාර්ථක විය යුතුයි කියලා. මේ විෂය තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ. අමාත්‍යවරු ජනාධිපතිවරයාට අභියෝග කරන්නෙත් නැහැ. ඒ වගේම ජනාධිපතිතුමා ඉතාම නිවැරදි තීරණයක් ගෙන තිබෙනවා. මේ විෂය සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ප්‍රවීණයෝ කිහිප දෙනෙක් එතුමා සමඟ වැඩ කරනවා. නමුත් ආණ්ඩුව පත්වෙලා මාස 15ක්, 16ක් ගත වෙලා තිබුණත් මේ ක්ෂේත්‍රය තුළ දියුණුවක් නැහැ. මේ ආකාරයෙන් කාලය ගත වෙනවා කියන්නේ නිලධාරීන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙනවා කියන එක.

මම හිතන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයෙක් ක්‍රීඩා කරලා තිබිය යුතුම නැහැ. නමුත් ඔහුට ක්‍රීඩාවේ උන්නතිය ගැන කල්පනා කරන නිසි කණ්ඩායමක් සිටිය යුතුයි. ඒ වගේම අමාත්‍යවරයා ක්‍රීඩාවත් එක්ක ඇලිලා හිටියා නම් මේ විෂය සම්බන්ධ බොහෝ දේවල් වටහා ගන්න පහසුයි. නමුත් ඔ්නෑවට වඩා ක්‍රීඩා කරලා තිබුණත් ගැටලු වැඩියි. එවැනි අවස්ථාවක වෙනත් අයෙකුට කන් දෙන්න ඔහු කැමැති නැහැ. අර්ජුන රණතුංග මැතිතුමාට සිද්ධ වුණේ ඒකයි. එතුමා කොතරම් බලවත් දේශපාලනඥයෙක් වුණත්, අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් ඔහු සම්බන්ධ වුණ කිසිම ආණ්ඩුවක් ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නේ නැහැ. තවත් කාරණයක්  තමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන්නේ ක්‍රීඩකයින්ගේ ප්‍රශ්න නොවෙයි. ඇත්තටම තියෙන්නේ ක්‍රීඩා සංගම්වල ප්‍රශ්න. ඒවායේ නිලධාරීන්ට තියෙන්නේ පිටරට යන ප්‍රශ්න, නිලධාරීවාදී ප්‍රශ්න. නමුත් මේවා අවසන් වෙන්නේ ක්‍රීඩකයින්ගෙන්. මේ තත්ත්වය අමාත්‍යවරයා තේරුම් ගත යුතුයි. ඔහු ඉන්නේ ක්‍රීඩකයින් රකින්න මිසක් සංගම් රකින්න නෙමෙයි. ඒ බව ඔහු වටහා ගත්තොත් වැඩේ පහසුයි. මට ක්‍රීඩා අමාත්‍යංශය ලැබුණ අවස්ථා දෙකේදීම සංගම්වල ප්‍රශ්න නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් වෙලා තිබුණේ, පාපන්දු, රගර් සම්මේලනය තහනම් වෙලා තිබුණේ. නමුත් ගැටලු එකඟත්වෙයන් නිරාකරණය කර ගන්න මට පුළුවන්කම තිබුණා. මෙවැනි ගැටලු නිරාකරණය කර ගන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞරුෂත්වය ඉතාම වැදගත් සාධකයක් නෙවා.  විශේෂයෙන් ජාත්‍යන්තර සංගම්, සම්මේලන සමඟ කටයුතු කරන විට මේ තත්ත්වය තවත් වැදගත්. ඉතා හොඳ පෞරුෂයක් තිබෙන, නමුත් නම්‍යශීලී අමාත්‍යවරයෙක් ක්‍රීඩාවට ඉතාම වැදගත්. අපි වගේ දූපත් රටකට ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ ඉතාම වැදගත් අමාත්‍යාංශයක්.

ඔව්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව කැම්පේන් එක මුලින්ම ආරම්භ කළේ අපි තමයි. Gota Fail සහ Gota Go Home කියන කැම්පෙන් එක ආරම්භ කළේ අපි. අපි තමයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගිහින් මාර්තු 15 වැනිදා විරෝධතා ආරම්භ කළේ. අප්‍රේල් මාසයේ තමයි අනෙක් තරුණයෝ එකතු වුණේ. ඊට පස්සේ ඒක වෙනත් කල්ලියක් අයිති කර ග්තතා. අපි නුවර සිට කොළඹට ලොකු පා ගමනක් ආවා. අන්තිමට අපට ආණ්ඩුව ගන්න කියලා කිව්වා, නමුත් අපි (සජිත්) ආණ්ඩුව ගන්න කැමැති වුණේ නැහැ. ඒ අවස්ථාවේ මම හිතුවා , ‘මම කළ කැම්පේන් එක වතුරේ. ඒ නිසා මම පිළිගත්ත දේ මම ම කළ යුතුයි’ කියලා. ඒක තමයි මම මගේ දේශපාලන ජීවිතයේ ගත්ත තීරණාත්මකම දේශපාලන තීන්දුව. ඒ තීන්දුවෙන් මට හානියක් වුණාට මගේ දේශපාලන පෞරුෂයට, මගේ දේශපාලන දර්ශනයට ඒක ගොඩක් රැකුලක් වුණා කියලා.

මම ඒ තීන්දුව ගත්තේ මගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඇතිවෙන්න පුළුවන් අවධානම ගැන දැන ගෙනමයි.  ඒක අසාර්ථක වුණොත් දේශපාලනිකව සිය දිවි නසා ගැනීමක් බව මම දැනගෙන හිටියා. මම ඒ තීන්දුව නොගත්තා නම්, සජබේ හිටියා නම් මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. නමුත් අද මට මොකද කරන්න වෙන්නේ ? පාර්ලිමේන්තුවේ ඉඳන් කෑ ගහන්න විතරයි වෙන්නේ. මේ පසුබිම තුළ මම එදා ගත්ත දේශපාලන තීන්දුව සුවිශේෂයි. අපි 2022-2024 අවුරුදු දෙකේ දී මේ රටට සුවිශේෂ සේවයක් කළා. අපි විපක්ෂයේ කටයුතු කරලා වැඩක් නැහැ, අපට ආණ්ඩු බලයක් ගන්න බැරිනම්.

මම දේශපාලන තනතුරු පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක වුණත් තිස්ස අත්තනායක ආවට පස්සේ මම ඒ තනතුර ඔහුට දුන්නා. මම හිටියේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසයි. මට පක්ෂය තුළ කිසිම කෙනෙක් අභියෝග කළේ නැහැ. පූර්ණ නිදහස තිබුණා. ඒ නිදහස තුළ තමයි මැතිවරණ කැම්පෙන් හරියට කළේ. මම කිසිමදාක මේ විෂයේදී අසාර්ථක වුණේ නැහැ, අසමත් වුණේ නැහැ. වර්තමානයේ මම තමයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීම සම්බන්ධ වගකීම දරන්නේ. මම එජාපයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. මම යළි එක්සත් ජාතික පක්ෂයට එකතු වුණේ පක්ෂය බින්දුවට වැටුණ අවස්ථාවක. මේ පරාජයේ වැරදිකරුවෙක් ලෙස ඇතැම් අය මාවත් නම් කරනවා.  නමුත් මම ඒක ඒ විදිහට දකින්නේ නැහැ.

2019 අගෝස්ත් 11 ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළා. මම ඒ අවස්ථා‌වේ මානසිකව වැටිලා හිටියේ. 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න අපි ප්‍රමාද වෙමින් ඉන්න කොට තමයි 2019 අගෝස්තු 12 වැනිදා ‘සජිත් තමයි අපේ අපේක්ෂකයා’ කියලා මම ප්‍රසිද්ධියේ කියලා සජිත් බදුල්ලට ගෙනත් රැස්වීමක් තිබ්බේ. දැන් පිනුම් ගහන, බල්ටි ගහන මල්ලිලා මේවා දන්නේ නැහැ. එදා මම ගත්තේ අසීරු තීන්දුවක්. මංගල සමරවීර ඇතුළු පිරිස මට උදව් කළා.

දක්ෂිණාංශික දේශපාලන කඳවුර එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වෙලා වෙනත් කඳවුරකට යන එක වැළැක්වීමටයි සමගි ජන බලවේගය නිර්මාණය කළේ. මම අදත් හිතනවා ඒක නිවැරදි දේශපාලන තීන්දුවක් කියලා. එදා සජබය නිර්මාණය නොකරන්න එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමෙන් වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂට ලැබෙන්න තිබුණා. යම් කිසි ඡන්ද ප්‍රමාණයක් වෙනත් දේශපාලන පක්ෂයකට ගියාට පස්සේ ආපසු ඒ ප්‍රමාණමය එන්නේ නැහැ. 50%ක් ආපසු එයි. 25%ක් යළි ආවත් 25%ක් දේශපාලනය අතහැරලා දානවා. අද වුණත් සජබ – එජාප යළි එක්විය යුතුයි කියලා කියන්නේ එදා සජබය එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම රැකගත් නිසයි. නමුත් අපි ජයග්‍රහණය කරන්න නම් මේ දෙක වෙන් වෙන්ව නොසිටිය යුතුයි. මම විශ්වාස කරනවා වත්මන් නායකයෝ පරණ වැරදි අමතක කරලා යළි එක්සත් වෙයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website