
විදේශ රැකියා මෙරට ආර්ථිකයේ ‘කොඳුනාරටිය’ වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පිළිගැනේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය 2025 දී අපනයන හරහා උපයා ගෙන ඇති සමස්ත විදේශ විනිමය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 17.25ක් වූ අතර 2025 දී සංචාරක පැමිණීම් 2,362,000ක් මඟින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක ආදායමක් උපයා ගෙන ඇත. නමුත් විදේශ ප්‍රේෂණ හරහා 2025 දී ඩොලර් බිලියන 8.7ක් උපයා ගෙන ඇත. අපනයන කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරයට රජය සහ වෙනත් පාර්ශ්ව දක්වන දායකත්වය සහ අවධානය අනුව බලන විට විදේශ ප්‍රේෂණ හරහා උපයා ගන්නා ලද ඩොලර් බිලියන 8.7ක මුදල ‘සුවිශේෂ’ වටිනාකමක් ආර්ථිකයට එක් කරන බව පැහැදිලිය.
වර්තමානය වන විට දේශීය සහ ගෝලීය ප්‍රවණතා අනුව විදේශ රැකියා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවී ඇති අතර තව දුරටත් ‘මැදපෙරදිග ගෘහ සේවිකාවන්’ හෝ ‘නුපුහුණු ශ්‍රමය’ විදේශ රැකියා ක්ෂේත්‍රයේ බහුතර නියෝජනය අතර දැකගත හැකි නොවේ. ඒ වෙනුවට පුහුණු සහ වෘත්තීය ශ්‍රමය ඉදිරියට පැමිණ ඇති අතර මැදපෙරදිග ගෘහ සේවයට ගිය කාන්තාවන් වෙනුවෙන් රටවල් ගණනාවකට ‘පුහුණු’ හෝ ‘වෘත්තීමය’ රැකියා සඳහා විදේශගත වන පිරිමි බහුතරය බවට පත්ව ඇත.
මේ ආකාරයෙන් පුහුණු සහ වෘත්තීය පිරිමින් විදේශගත වීම සම්බන්ධයෙන් ආර්ථික හා සමාජ විද්‍යාඥයින් අතර මිශ්‍ර මතවාද පැවතුණ ද ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂයෙන් දේශපාලනඥයින් මේ ප්‍රවණතාව ගැන සතුටට පත්ව සිටින බවක් දැකගත හැකිය.
- 2025 දී මොකද වුණේ ?
2025 දී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු ගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් විය. නමුත් එම ඉලක්කය පසුකර යාමට 2025 දී ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව 2025 දී ශ්‍රී ලංකාවට වාර්තාගත ඉහළම විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණු බවත්, එය වසර 40ක විදේශ රැකියා ඉතිහාසයේ ඉහළම අගය බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
කාර්යාංශයට අනුව, පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංක්‍රමණික සේවකයින්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.07ක් (රු. බිලියන 2432ක්) ලැබුණු අතර එය 2024 දී ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 6.575ට සාපේක්ෂව 22.8%ක වැඩිවීමකි.
2025 දෙසැම්බර් මාසයේදී ඉහළම මාසික ප්‍රේෂණ වාර්තා වූ අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවකයින් විසින් මුළු ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් ශ්‍රී ලංකාවට යැවීය. ගුණාත්මක කුසලතා ඇති ශ්‍රමිකයන් විදේශගත කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්ති මෙම වර්ධනයට හේතු වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය වසරේ මෙම මුලපිරීම් යටතේ ශ්‍රී ලාංකිකයන් 310,000කට අධික සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශ ගත වී ඇත. මෙම ප්‍රේෂණවල ඉහළ යාමේ ප්‍රවණතාවය රටේ විදේශ විනිමය සංචිත සහ සමස්ත ආර්ථිකයට සැලකිය යුතු තල්ලුවක් බව කාර්යාංශය අවධාරණය කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ට අනුව මෙම අගය 2016 දී අත්පත් කරගත් ඩොලර් බිලියන 7.24 ක පෙර දශකයේ ඉහළම අගය ඉක්මවා යාමකි.
වසර කිහිපයකට පෙර දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් රටකට මෙම ජයග්‍රහණය සැලකිය යුතු හැරීමක් ලෙස ඔහු විස්තර කළ අතර, ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර අලුත් වූ විශ්වාසය මෙම ප්‍රේෂණවලින් පිළිබිඹු වන බව පැවසීය.
ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රේෂණවල නැවත පැමිණීම විශේෂයෙන් කැපී පෙනේ. 2022 දී, ගලා ඒම් වසර 12ක අවම අගයක් වන ඩොලර් බිලියන 3.78 දක්වා පහත වැටුණේය. මෙයින් පසුව 2023 දී තියුණු යථා තත්ත්වයට පත්වීමක් සිදු වූ අතර, ප්‍රේෂණ 57%කින් ඩොලර් බිලියන 5.96 දක්වා ඉහළ ගියේය. 2024 දී මෙම ප්‍රවේගය අඛණ්ඩව පැවති අතර, ආර්ථික බිඳවැටීමෙන් පසු බොහෝ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සොයමින් සිටිය දී පිටතට යන ශ්‍රම සංක්‍රමණයේ වැඩිවීමක් හේතුවෙන් එය ඩොලර් බිලියන 6.57 දක්වා තවත් 10.1% ක වාර්ෂික වැඩිවීමක් විය.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ 2025 දී පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන් 310,915ක් විදේශ රැකියා සඳහා රට හැර ගිය බවත්, ඒ අතර පිරිමින් 190,609ක් සහ කාන්තාවන් 120,036 ක් සිටින බවයි.
විදේශගත වන ශ්‍රමිකයින් සංඛ්‍යාව අඩු වුව ද, සංක්‍රමණිකයන් වැඩි මුදලක් ආපසු ගෙදර යැවීම නිසා ප්‍රේෂණ ගලා ඒම් වැඩි වූ බව පෙන්නුම් කරමින් මුළු පිටවීම් වසරින් වසර 1.2% කින් අඩු වූ බව ඔහු සඳහන් කළේය.
ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ සමස්ත ණය සුදුසුකම් වැඩි දියුණු කිරීමට උපකාරී වන විදේශ විනිමයේ තීරණාත්මක ණය නොවන මූලාශ්‍රයක් ලෙස සේවක ප්‍රේෂණ පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
- ඉහළින්ම සිටන රටවල්
විදේශ රැකියා සහ විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට විදේශ විනිමය ප්‍රමාණය හා සම්බන්ධ සංඛ්‍යාත්මක අගය මෙන්ම එය ලැබුණු ගමනාන්තය (රට) ද වැදගත්ය. 2025 තෙවැනි කාර්තුවේ සහ පොදුවේ 2025 වර්ෂයේ සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරන විට, වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනි. සමස්ත විදේශ ප්‍රේෂණවලින් 10.2%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් නියෝජනය කරයි. 2025 දී ශ්‍රී ලංකාවට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එවන ලද සෙසු රටවල් වන්නේ (පිළිවෙළින්) කුවේට් (10%), මහා බ්‍රිතාන්‍ය (9.5%), සෞදි අරාබිය (9.2%), කටාර් (7.7%), ඉතාලිය (7.1%), එක්සත් ජනපදය (6.1%), දකුණු කොරියාව (5.4%), ඕස්ට්‍රේලියාව (4.7%), ඊශ්‍රායලය (3.8%), ප්‍රංශය (2.9%), වෙනත් (16.5%)ය. මෙම විදේශ ප්‍රේෂණ කලාප වශයෙන් ගත් විට වර්තමානයේ ද මැදපෙරදිග කලාපය ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන කලාපය ලෙස ඉදිරියෙන්ම සිටී.
- ගැටලු සහ අභියෝග
ශ්‍රී ලංකාව වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලිය 08කට අධික මුදලක් (2025 ඩොලර් බිලියන 08.7ක්) විදේශ ප්‍රේෂණ හරහා උපයා ගත්ත ද මේ මුදල මෙරටට එවා ඇත්තේ මෙරටින් විදේශ ගත වූ පුහුණු, නුපුහුණු සහ වෘත්තීමය ශ්‍රමිකයින් බව අප අමතක නොකළ යුතුය.
විදේශ රැකියා සඳහා යොමුවන බහුතර පිරිස අතර පුහුණු ශ්‍රමිකයින් සහ වෘත්තිකයින් සිටීම ආර්ථික වශයෙන් බලවත් අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙන බව Advocata Institute විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
“අපේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා 2022 දී ආර්ථික අර්බුදයෙන් පස්සේ තමයි වැඩිම පිරිසක් ලංකාව දාලා ගියේ, දැන් එක අඩුවෙලා කියලා. නමුත් දත්ත අනුව අපට පේනවා 2025 අවුරුද්දේ පළමු මාස නවය තුළ දත්ත දිහා බැලුවත් තවමත් ලංකාව හැරදාලා යන පිරිසේ අඩුවක් නැහැ. එසේ රට දාලා යන පිරිසෙන් 80.8%ක් තවමත් රැකියා සඳහා සංක්‍රමණය වෙන්නේ ගල්ෆ් කලාපයට වීම විශේෂත්වයක්” ධනනාත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2025 ජනවාරී – සැප්තැම්බර් කාලය තුළ 80.8%ක් මැදපෙරදිග කලාපයට ද, 7.8%ක් ආසියානු කලාපයට ද (දකුණු ආසියාව ද ඇතුළුව), 6.4%ක් යුරෝපය, 3.7%ක් දකුණු ආසියානු කලාපය ද, 0.5ක් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද, 0.9%ක් සෙසු කලාපයන් ද නියෝජනය කරයි.
- බහුතරය කවුද ?
විදේශ රැකියා සොයා ගෙන 1980 දශකය ආරම්භයේ සිට දශක කිහිපයක් විදේශගත වූයේ (මැදපෙරදිග) නුපුහුණු කාන්තා ගෘහ සේවිකාවන් වුව ද වර්තමානය වන විට එහි කැපී පෙනෙන පරිවර්තනයක් සිදුවී තිබෙන බව ඇඩ්වකාටා විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
“මීට දශක කිහිපයකට පමණ පෙර තිබුණ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා” ධනනාත් ප්‍රනාන්දු කීවේය.
ඔහුට අනුව 2025 දී (ජනවාරි – සැප්තැම්බර්) විදේශ රැකියා සොයා සංක්‍රමණය වූ බහුතර පුහුණු ශ්‍රමිකයින් වූ අතර බහුතරය පිරිමින්ය. නමුත් කුවේට් වෙත සංක්‍රමණය වූ බහුතර පිරිස වර්තමානයේ ද කාන්තාවන් බව ඔහු පෙන්වා දුන්නේය.
‘කුවේට්වලට වැඩිපුර කාන්තාවන් ගියත් එක්සත් අරාබි එමීර්, කටාර් ඇතුළු සෙසු මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන බහුතරය පිරිමි’ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
- ගැටලු සහ අභියෝග
විදේශ ප්‍රේෂණ හරහා 2025 දී රටට ලැබුණු ඩොලර් මිලියන 8,076.2ක ආදායම විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට සහ ඉහළ ආනයන පිරිවැයේ බලපෑම අවම කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්න ද එය දේශීය ශ්‍රම වෙළෙඳපොළ තුළ ඇති කළ පීඩනය ද අවධානයට ගත යුතුය.
“මේක ආකර්ෂණිය තත්ත්වයක් වුණත් මේ හරහා රටට වන බලපෑම විශාලයි. විශේෂයෙන් පුහුණු ශ්‍රමිකයින් අවශ්‍ය රැකියාවට බඳවා ගැනීමට ප්‍රමාණවත් තරම් ශ්‍රමිකයින් නොවීමේ ගැටලුවට අද කර්මාන්ත අංශය ද ඇතුළු සමස්ත ආර්ථිකයම මුහුණ දෙනවා. මේ තත්ත්වය තවත් වටයකින් විදේශ ආයෝජකයින් කැඳවා ගැනීමට ද බලපානවා. විදේශ ආයෝජන පැමිණිය ද එම කර්මාන්තවල සේවය කිරීමට අවශ්‍ය පුහුණු ශ්‍රමය ලංකාව තුළ හිඟ වීම බරපතළ තත්ත්වයක්. පුහුණු ශ්‍රමිකයින් සොයා ගැනීමේ බරපතළ ගැටලුවකට අද විදේශ ආයෝජකයින් ද ඇතුළු කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටිනවා” පෙන්වා දුන්නේය.
‘පුහුණුවක් තිබෙන ශ්‍රමිකයින් බහුතරයක් මේ වන විට රටෙන් එළියට ගිහිල්ලා ඉන්නේ’ ඔහු යළි සිහිපත් කළේය.
වත්මන් තත්ත්වය හමුවේ රට තුළ නුපුහුණු ශ්‍රමිකයින් ඉතිරි වී සිටින බවත් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා ගත් බහුතරය රට හැර ගොස් ඇති බවත් ඔහු කීවේය.
මේ තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්ත ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය සැලකිය යුතු ලෙස දුර්වල වී තිබෙන බව ද ධනනාත් පෙන්වා දුන්නේය.
- ලොකු අමාරුවක වැටීම
පුහුණු ශ්‍රමිකයින් සහ වෘත්තිකයින් රට හැර දා යාම කිසිම ආර්ථිකයක යහපත් ප්‍රවණතාවක් නොවන බව පිළිගැනේ. ලංකාවේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වන්නේ වේගයෙන් ජනගහන වර්ධන වේගය ද අඩුවීම හේතුවෙනි.
“අපේ ජනගහන වර්ධන වේගයට අඩුවීම සිදුවන අතර අපේ වැඩිහිටි ජනගහනයත් වේගයෙන් ප්‍රසාරණය වෙනවා. මේ පසුබිම තුළ වැඩකළ හැකි වයසේ පසුවන ජනගහනය වේගයෙන් රට හැර දා යනවා. ඉදිරි වසර කිහිපය තුළ අපට මේ ප්‍රවණතාවේ ඍණාත්මක ප්‍රතිඵල දැක ගන්න පුළුවන්කම ලැබෙයි” ධනනාත් අවධාරණාත්මකව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගත වීමේ තවත් කැපී පෙනෙන ප්‍රවණතාවක් වන්නේ වයස අවුරුදු 19-40 ‘තරුණ’ වයස් කාණ්ඩයේ පිරිමින් රට හැරදා යාමය.
මෙහිදී ධනනාත් පෙන්වා දුන්නේ 2022 -23 ආර්ථික අර්බුද සමයේ විදේශ රැකියා සොයා ගෙන විදේශ ගත වීම් වේගයෙන් වර්ධනය වුව ද වත්මන් ආණ්ඩුව බලයට පත් වීම තුළ ද විදේශගත වීම්වල කැපී පෙනෙන පහළ යාමක් දැකගත නොහැකි බවයි.
- කළ යුත්තේ කුමක් ද ?
පුහුණු ශ්‍රමිකයින් සහ වෘත්තිකයින් ලෙස පිරිමි විදේශගත වීම අදාළ පවුල්වලට වාසිදායක සහ ධනාත්මක තත්ත්වයක් නිර්මාණය කළ ද එය පොදුවේ රටට හා ආර්ථිකයට දිගු කාලීනව බරපතළ ගැටලු නිර්මාණය කරන්නක් බව යළි අවධාරණය කළ ධනනාත් ප්‍රනාන්දු මේ අභියෝගයට මුහුණ දිම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කළේය.
“මේ අභියෝගයට මුහුණ දෙන්න කළ යුතු වැඩ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. නමුත් කළ යුතු වඩාත්ම තිරසර දේ තමයි මේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් කිරීම” ධනනාත් කීවේය.
“අනිවාර්යයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය කළ යුතුයි. ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම වැනි කාලයක් තිස්සේ අවධානය යොමු වෙලා තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි”.
මෙහිදී ධනනාත් පෙන්වා දුන්නේ දේශීය කර්මාන්ත සහ ආර්ථික අංශය තුළ සිදුකරන ප්‍රතිසංස්කරණවලට සමගාමීව දේශීය ශ්‍රම වෙළෙඳපොළ ද විවෘත කිරීමට පියවර ගත යුතු බවයි.
“එවැනි පියවරක් නොගන්නේ නම් අපට තිබෙන ආර්ථිකය පවා ඒ ආකාරයෙන් පවත්වා ගෙන යාමේ අභියෝගයක් තිබෙනවා. මේ අදහසට බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් භූමියේ යථාර්ථය තමයි ඒක” යැයි කී ධනනාත් මේ තත්ත්වය මේ වන විට ද අනීතික ලෙස රට තුළ ක්‍රියාත්මක වන බව කීවේය.
මේ වන විට කෘෂිකාර්මික කම්කරුවන්, ආපනශාලා වල සූපවේදීන් සහ වේටර්වරුන් ඇතුළු අංශ ගණනාවක විදේශීය ශ්‍රමිකයින් සේවය කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
“සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ප්‍රදේශවල අනවසර විදේශ ශ්‍රමිකයින් විවිධ රැකියාවල නිරත වන බව අද කාටත් රහසක් නොවෙයි. ඒ වගේම රට හැරදාලා ගිහින් විදේශගතව සිට රට හදන්න කතා කරන කට්ටිය නැවත රටට ගෙන්වා ගත යුතුයි. ඒත් ඒක අපි හිතන තරම් පහසු සහ කඩිනමින් කළ හැකි දෙයක් නොවෙයි” ධනනාත් පැවසුවේය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 01 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ලිපියකි












