හැටට හැටේ කොම්පෝස්ට් හදන ‘බිම් පණු මැෂිම’

ගෘහාශ්‍රිත කාබණික කසල බොහොමයකින් කොම්පෝස්ට්

මුළුතැන්ගෙය තුළත් ‘පණු බඳුනක්’

පළිබෝධකයින් ඈත්කරන සංයෝගත් පණුවන්ගෙන් පිටවෙනවා

වාණිජ විෂය ධාරාව ඔස්සේ මූලික උපාධිය සම්පූර්ණ කල තම බාල පුත්‍රයා, ගණකාධිකාරීවරයෙකු ලෙස භාරත දේශයට සේවය කරනු දකින්නට එම ඉන්දීය දෙමාපිය යුවල මහත් බලාපොරොත්තු ඇතිකරගෙන සිටියහ. බලාපොරොත්තුව කනස්සල්ලක් බවට පත්වීමටද එතරම් කලක් ගියේ නැත. වැඩිමහල් දරුවා ඉතා සාර්ථක ගවපාලන ව්‍යාපාරයක් කරගෙන යන නිසා ප්‍රතීක් බජාජ් නමැති බාලයාද ඒ දෙස බලමින් කෙල හලමින් සිටියා මිස තම සුදුසුකම් වලට සරිලන රැකියාවක් ගැන උනන්දුවූයේම නැත. ඔවුන්ගේ වාසභූමිය වූයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘ඉසාට්නගර්’ නමැති කුඩා නගරයයි.

ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණය කවුන්සිලයට අයත් පශු පර්යේෂණායතනයක්ද, ඊට අනුබද්ධව පවත්වාගෙන යන ‘ක්‍රිෂි විග්යාන් කේන්ද්‍ර’ නමින් හඳුන්වන ගොවිපල විද්‍යා මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටා තිබේ. මෙනමින් හඳුන්වන මධ්‍යස්ථාන දහසකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව පුරා පිහිටුවා තිබුණි. මේවායේ ප්‍රධාන කාර්යභාරය වනුයේ නව පර්යේෂණ තොරතුරු ගොවියා වෙත සම්ප්‍රේෂණය කරවීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

පරිසරයට ඇති නැඹුරුව නිසාම, වයස 20 ක් වත් නොඉක්මවූ අපගේ කතානායක තරුණයා, දිනපතා උදෑසන 10 ට පමණ පුහුණු මධ්‍යස්ථානය වෙතට යන්නටත්, එහි රාජකාරියේ නියැලෙන්නන් ආශ්‍රය කරමින් රස්තියාදු වෙන්නටත් පටන් ගත්තේ කිසිදු මුල්‍යමය ලාභ ප්‍රයෝජනයක බලාපොරොත්තුවක් ඇතිව නොවේ. ඔහුගේ යටි සිතෙහි වූ එකම අරමුණ වූයේ ගව පට්ටියක් දමාගෙන ජීවිතය ගොඩයන හැටි ඉගෙන ගන්නටය. එක පැත්තකින් වරලත් ගණකාධිකරණ අධ්‍යාපනය අතහැර දැමීම නිසා තම වැඩිහිටියන්ගෙන් නැගෙන විරෝධයයි. අනෙක් පැත්තෙන් ගව පාලනය ඇරඹීමට තරම් මුදලක් ආයෝජනය කිරීමට ඔහුට ඇති නොහැකියාවයි. එහෙත් මේ ඉන්දියානුවා පසුබට වෙන පාටක් නැත. තමා ලැබූ ප්‍රායෝගික දැනුම් තොරතුරු හරහා අවම අවදානමක් සහිත ව්‍යාපාරයක් ඇරඹීම වෙනුවෙන් තමා සතු සොච්චම් මුදල ආයෝජනය කිරීමට අවසානයේදී ඔහු විසින් තීරණයක් ගත්තේය.

තම වැඩිමහල් සොහොයුරා ගව පට්ටියෙන් ලැබෙන ගොම, නොමිලේම ගම්වාසීන්ට ඉවත් කරගැනීමට අවසර දී තිබුනත්, එහි ඇති වටිනාකම ඉවෙන් මෙන් හඳුනාගත් ප්‍රතීක්, බිම් පනුවන්ගේ ආධාරය ඇතිව නිපදවෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයකට අතගසන ලදී. හිස ගිනිගත් ඔහුගේ පියා පවා මුලදී මෙම පණු ව්‍යාපාරයට විරුද්ධවූ නමුත්, තම පුත්‍රයාගේ නොපසුබට උත්සාහය දෙස උපේක්ෂාවෙන් බැලූ හෙතෙම, තම විරුද්ධවාදී අදහස් එහා මෙහා කරගැනීමට ඉදිරියට ආවේ නැත. තවමත් වසර පහකට  වඩා කාලයක් ගත නොවුණු මෙම ව්‍යාපාරය මේ වන විට ප්‍රතීක් වෙත වසරකට ලක්ෂ ගණනින් මුදල් උපයා දෙයි. ‘සෙයෝගී බයෝටෙක්’ (Sehyogi Biotech) වශයෙන් හැඳින්වෙන්නේ ඔහු සතු පණු කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයයි. යේ ලෝ කාඩ් (Ye Lo Khaad) යන සන්නාම නාමය සහිතව අලෙවිවන ඔහුගේ ‘පණු කොම්පෝස්ට්’ නොහොත් ‘පණු පොහොර’ පළාතේ ගොවීන් දහස් ගණනකට පොහොර සහනාධාරයක් වනවා පමණක් නොව දේශයේ පවිත්‍රතාවය රැකගැනීම වෙනුවෙන්ද අගනා මෙහෙවරක් ඉටුකරයි.

1960  දශකයේදී දියුණු යයි සම්මත රටවල ක්‍රියාත්මකවූ හරිත විප්ලවය නමැති පරිවර්තනය හරහා, බෝග නිෂ්පාදනයේ හදිසි පිබිදීමක් සමාජය විසින් දැකබලා ගන්නා ලදී. එහි ආශ්වාදය දුප්පත් පොහොසත් භේදයකින් තොරව සමස්ත ලෝකයටම නොදනුනාද නොවේ. එසේ නමුත් ඊට හිලව්වන්නට පරිසරයේ ඇතැම් සංරචක වැනසී ගොස් ඇතිබව මිනිසා දැනගන්නාවිට, අශ්වයා පැනගොස් ඇතිවා පමණක් නොව පාලු ඉස්තාලය වසාදමන්නට දොරපලුවක්වත් ඉතිරි නොවී, ඒවා පවා දිරාපත්වෙන තරමට කාලය ඉක්මගොස් තිබිණ. හරිත විප්ලවයේදී ලංකරගන්නා ලද කෘෂි රසායන ද්‍රව්‍යයන් හේතුවෙන් පරිසරයේ ජීවත්වූ ගොවිතැනට හිතවත් ජීවී සංරචකයන් රැසක් විනාශ විය.

මෙහි අතුරු පලයක් වශයෙන් වටපිටාවෙන් පැමිණෙන රෝග හා පලිබෝධකයින්ට එරෙහිවීම උදෙසා බෝග සතුව තිබූ ස්වභාවික ප්‍රතිරෝධීතාවය තව තවත් හායනයට ලක්වූ අතර, ලොවපුරා සිටින විද්‍යාඥයින්, මේ සඳහා ප්‍රතිකර්ම ගලපමින් සිටියහ. ඇමරිකාව, යුරෝපය හා ඕස්ට්‍රේලියාව වැනි පුළුවන්කාර රටවල් කීපයක් ‘කාබනික ගොවිතැන’ හා ඊට ඈඳාගත් ‘කාබනික ආහාර’ වැනි වචන කීපයක් දවටා ගනිමින් අර්බුදයෙන් ගොඩ එන්නට උත්සාහ දැරුවත්, දුප්පත් රටවලට නම් එය සාධාරණ විසඳුමක් වූයේ නැත. අප අභියෝගාත්මකව අද දිනයේ අතගසා ඇත්තේ එවන් ක්‍රියාකාරකමකටයි.

මුළුතැන්ගෙයින්, ගොවිපොළෙන්, වෙළඳපොලෙන් පරිසරයට මුදාහරින කාබණික කසල, බිම්පනුවාගේ බඩවැල තුලින් යවා පෝෂණ ද්‍රව්‍යයෙන් පොහොසත් ‘පනු පොහොර’ නොහොත් ‘පනු කොම්පෝස්ට්’ නමැති ද්‍රව්‍යයක් නිපදවීමේ හැකියාවට යම් වටිනාකමක් ලැබෙන්නේ මෙවන් පසුබිමකය. සරලව ඇඹරෙමින් බඩවැල තුලින් යනවා පමණක් නොව ඒ තුලදී කසලවලට ලොකු වෙනසක් සිදුවෙන බවද පෙනෙන්නට තිබේ. සත්‍ය යාන්ත්‍රනය හරියටම දන්නේ බිම්පනුවා පමණි. ලොවපුරා විද්වතුන් අඳුරේ අතපතගාමින් උපකල්පන ගොඩදමනවා මිස, අනුභව කල කසල වලට බඩවැල තුලදී සිදුවෙන දෑ නිවැරදිව ඉදිරිපත් කරන්නට තවමත් දත්ත ගොනුකර ගෙන නැත.

සාමාන්‍ය කොම්පෝස්ට් සාදන ක්‍රියාවලියට වඩා වේගවත්ව සිදුවෙන මෙම පණු පොහොර නිෂ්පාදනයේදී පනුවා තුලින් පිටවෙන ද්‍රව්‍යයන්ගේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වැඩිය. ශාක වර්ධක උත්තේජකද අන්තර්ගතය. පලිබෝධ විකර්ෂක ද්‍රව්‍යයන්ගෙන්ද පොහොසත්ය. ඇතැම් විස්තර වල පෙන්වාදී ඇති පරිදි කසල වලින් ‘රත්තරන්’ නිපදවීමේ ජෛව රස විද්‍යාවක් සේද මෙම ක්‍රියාවලිය හඳුන්වාදී තිබේ. ඉන්දියාව වැනි රටවල සාර්ථක ශාක පෝෂණ වැඩසටහනක් ලෙස මෙය ඉදිරියට පැමිණ තිබුනද, අපගේ ගොවිතැනෙහිදී නම් බිම් පනුවාට තවමත් සලකන්නේ පස පෙරලන්නට ගසන උදලු පහරින් දෙකට කැපී, දෙපැත්තට හැකිලී ගොස් අතුරුදහන් වෙන ජීවිතයක් ලෙසයි. ඊට හේතුව නම් අපට තවමත් නොතේරෙන අපබ්‍රංශයකි.

කොම්පෝස්ට් පොහොර නිපදවීම පිළිවෙලකට කල යුතු ක්‍රියාවලියකි. දිරන ද්‍රව්‍ය එකතුවෙහි උණුසුම, තෙතමනය ආදිය ක්‍රමවත්ව පාලනය නොකළහොත් එය කුණුවී ගඳ ගසන්නට පටන්ගනී. බොහෝ දෙනා කොම්පෝස්ට් හදන්නට ගොස් අතරමගදී වැඩේ අතහරින්නේ මේ ආකාරයට නිසි අවධානයකින්, දිරන ‘කුණු ගොඩට’ සලකන්නේ නැති නිසාය. පොතේ හැටියට කොම්පෝස්ට් හදන්න විවේකයක් හා ඉඩ පහසුවක් නැති අයෙකුට, මෙම ඉන්දියානු තාක්ෂනය හරහා ගෘහස්ත මට්ටමෙන් සාර්ථක කොම්පෝස්ට් නිෂ්පාදනයක් කල හැකිවේ.

කුණු කඳු ගොඩගැසෙන රටේ, කුණු කඳු කඩාවැටී මහජනතාව ඒවාට යටවී පණපිටින් වැළලී යන රටේ, කසල කළමනාකරණයට සහයවීමට බිම්පනුවෙක් හෝ පැමිණෙන්නේ නම් එය අපට මහමෙරකට වඩා වටින්නේය. ලංකාවේ කසල වලින් 61% ක් පමණ කාබනික සම්භවයක් සහිත පහසුවෙන් දිරා යන කසල බව හඳුනාගෙන ඇති අතර එයින් 40% ක් වැනි ප්‍රමාණයක් ඉවත ලෑම සඳහා ජනතාව විසින් රජයට භාරදෙනු ලබයි. නිවෙස් වලින් භාරදෙන මේ කසල අතර වැඩිපුරම ඇත්තේ ආහාර කසල සේ හඳුන්වන මුළුතැන්ගෙයින් පිටවෙන අපද්‍රව්‍යයයි. බිම් පනුවාට මෙය හොඳ ආහාරයකි. ඔවුන්ගේ ආහාර මාර්ගය තුලදී මෙම ආහාර මනාව අඹරා, ජීර්ණය කර අවශ්‍යය දෑ සිරුරට උරාගන්නා අතර ඉතිරිය පනුවාගේ මල ද්‍රව්‍ය ලෙස පිටවේ. කොම්පෝස්ට් ලෙස යම් දිනකට පසුව අප හඳුනාගන්නේ මේවාය. පනුවන් නිසා පසට ව්‍යුහාත්මක ස්ථායීතාවයක් ලබාදෙන අතර, වාතනය, ජලය රඳාගැනීමේ හැකියාව ආදියද දියුණුවේ. 1994 දී සිදුකර ඇති පර්යේෂණ වාර්තාවක සඳහන් වන්නේ සාමාන්‍ය කොම්පෝස්ට් වල අන්තර්ගත නයිට්‍රේට් නයිට්‍රජන් ප්‍රමාණය මෙන් හය ගුණයකින් වැඩි නයිට්‍රේට් සාන්ද්‍රණයක් පණු පොහොර තුල අන්තර්ගත බවයි.

“මුළුතැන්ගෙය තුළ බිහිවෙන කසළ ඉතා පහසුවෙන් අපට පුළුවන් පණු කොම්පෝස්ට් බවට පත්කරන්න. පනුවන් සහිත බඳුන ගේ ඇතුලෙම තියාගන්න පුළුවන්. මේ සතුන් ඉර එලිය හමුවට එන්නේ නෑ. ඒ නිසා බඳුන ගේ ඇතුලේ තිබුනත් පනුවන් ඉන් පිටතට ඇවිත් එහෙ මෙහෙ යයි කියල හිතන්න එපා. කෑම පිඟන් වල ඉතිරිවෙන දෑ, එළවලු පිසීමේදී ඉවත් කරන ද්‍රව්‍ය ආදී සියල්ලම පණුවන්ට කෑමට දැමිය හැකියි. මාළු කටු, කුළුබඩු යහමින් යොදා සෑදූ ව්‍යංජන ආදිය දාන්න හොඳ නෑ. බිත්තර කටු උනත් කුඩුකරලා දාන්න පුළුවන් බව පෙනිලා තියෙනවා. හැබැයි මස්, තෙල් සහිත ආහාර, දෙහි සුදුළුණු වැනි සැර ද්‍රව්‍ය දැම්මොත් පනුවෝ මැරෙනවා. එළිමහනේ ඇති බඳුනක් නම්, ගොම, අතුගා එකතුකරන රොඩුබොඩු උනත් පණුවන්ට ආහාර වෙනවා. ඒවත් දාන්න පුළුවන්.

අම්බලන්තොට වී පර්යේෂණ ස්ථානයේ පාංශු විද්‍යාඥ තිලක් මුණසිංහ මහතා පණු පොහොර නිෂ්පාදනයේ විස්තරයට ආරම්භයක් දුන්නේ එලෙසිනි. මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සාමාන්‍ය ක්‍රමයට කොම්පෝස්ට් බවට පත්කරන්නට යාමේදී දිරායාම වෙනුවට කුණුවීමට මෙම ක්‍රමවේදය හරහා ඇත්තේ අල්ප ඉඩකි. එහිදී කසල ද්‍රව්‍ය කුණුවීමට කලින් පණුවන්ට ආහාරයක් ලෙස ලබාදෙන නිසාය. නිතර පනුවන් සොයා ගැනීමට නොහැකිනම්, අඟල් 3-4 ක මතුපිට පස් තට්ටුවක් කසල බඳුනේ පතුලට දමා එයට පනුවන් එකතු කර වැඩේ පටන්ගත හැකිය. එම පස් තට්ටුව අවශ්‍යවන්නේ පනුවන් බෝකිරීමටයි. කුස්සියේ ඉතිරිය දැන් දමන්නේ මේ පස් මතටයි. සිටිනා පනුවන් සංඛ්‍යාව හා එකතුකරන ද්‍රව්‍යයන්ගේ ස්වභාවය මත කොම්පෝස්ට් සෑදීමට ගතවන කාලය තීරණය වන අතර සියල්ල යහපත් නම් එය සති කීපයක් තුල සිදුවේවි. පතුලේ ඇති පස් තට්ටුව කළඹන්නේ නැතිව මතුපිට නිපදවී ඇති කොම්පෝස්ට් ඉවත්කරගෙන අලුත් කසල පිරවිය හැකිය.

“ටිකක් ලොකු ප්‍රමාණයෙන් එළිමහනේදී මෙය කරනවානම් පනුවන්ගෙන් වෙන්කරලා පණු පොහොර ටික ගන්න පහසුම ක්‍රමය තමයි සම්පූර්ණ මිශ්‍රනයම අඟල් කීපයක් ඝනකමට අව්වේ ඇතිරීම. එතකොට පනුවෝ සේරෝම පහලට යනවා. දැන් උඩින් අඟල් දෙකක පමණ තීරුවක් ඉවත්කර ගතහැකි. මේ ක්‍රියාවලිය නැවත නැවතත් කල හැකියි. එහෙම නැත්නම් කොම්පෝස්ට් ගන්නා දිනට දින තුනකට පමණ පෙර මිශ්‍රණයට ජලය යෙදීම නතර කරලා, තරමක් වේලෙන්න හැරලා, දැලකින් හලලා පනුවන් රහිත කොම්පෝස්ට් වෙන්කර ගන්න පුළුවන්. දැන් පනුවන් නැවතත් බඳුනට දැමිය හැකියි. හැබැයි දැලකින් හැලීම වැනි ක්‍රියාවකදී පණුවන්ට හානිවීමේ හැකියාවක් තිබෙන නිසා වඩාත් ප්‍රවේසම් විය යුතුයි.

තිලක් මුණසිංහ මහතා පවසනා පරිදි බිම් පනුවන් වෙසෙන ස්ථානය අනුව කොටස් තුනක් යටතේ ඔවුන්ව වර්ගකෙරේ. පණු පොහොර නිපදවීමට යොදාගත යුත්තේ පස මතුපිට වෙසෙනා රතු පැහැ පනුවන්ය. වීදුරු තහඩුවක් මත තැබූවිට ආලෝකය විනිවිද යන මොවුන්ගේ සිරුර තුල දිවෙන කොළ පැහැ රේඛා දෙකක් මගින් මොවුන් පහසුවෙන් හඳුනාගත හැකිවේ. මීට අමතරව පොළොවේ තරමක් ගැඹුරේ වෙසෙන ගැඩවිලුන් හෝ හොඳටම ගැඹුරේ සිටින අඩි කීපයක් දිග විශාල බිම්පනුවන් වැනි සතුන් පණු පොහොර නිෂ්පාදනයට යොදා ගත නො හැකිය.

වරලත් ගණකාධිකරණය අතහැර පණු පොහොර නිෂ්පාදනය අතට ගත් ප්‍රතීක් බජාජ් තරුණයා මෙන් ව්‍යාපාරික මට්ටමින් වහ වහා මේ වෙත ජනතාව මෙහෙයවන්නට මේ මොහොතේ අප බලාපොරොත්තු නොවන්නෙමු. වසවිස නැති ආහාර වේලක් ගැන සිහින දකින්නන්ට කලක සිටම අප පෙන්වා දෙමින් සිටින්නේ හැකිතාක් දුරට තම භෝජනයට ඇවැසි දෑ ගෙවත්තෙන්ම නිපදවා ගන්නා අයුරුය. සඳලුතලයේ වුවද විනෝදයටත් එක්ක වගාකර ගන්නා ‘පෝච්චි එළවලු’ සඳහා පණු පොහොර බඳුනක් බැල්කනියේම ඇත්නම්, පෑන්ට්‍රියේ ඉවතලන දෑ පණුවන්ට කන්න දී පොහොර ටිකද සාදාගන්නේ නම් ඇතිවන ආහාර සුරක්ෂිතතාවය හමුවේ, ඉඳ හිටලා සර්ප්‍රයිස් එකටත් එක්ක වසවිස චුට්ටක් කෑවත් කමක් නැති තරම්ය. මා මෙසේ කියන්නේ රූපවාහිනියෙන්ද සර්ප්‍රයිස් පෙන්වන්නේ වසවිස චුට්ටක් සමග බැවිනි. පණු පොහොරේ ගුණාත්මය ගැන ඉන්දියානුවන් සොයාගෙන ඇති දෑ අප මවිත කරවන සුළුය. ගෙවත්තේ භාවිතා කරන පෝච්චි පස් මිශ්‍රනයක මෙන් පස් ගුණයක පෝෂණ විවිධත්වයක් පණු පොහොරේ ඇති බව ඔවුන් සඳහන් කරයි. ඒ අතර නයිට්‍රජන් පස් ගුණයක්ද, පොටෑසියම් හත් ගුණයක්ද, කැල්සියම් දෙගුණයක් පමණද, ඇති බව සනාථ කරගෙන ඇතිවාට අමතරව මෙම පොහොර වල පැවැත්ම සාමාන්‍ය මතුපිට පසකට වඩා හය ගුණයක් පමණ වන බවත් පෙන්වා දෙයි. තවත් කියන්නට බොහෝ දේ තිබේ. වැඩේ හිතට ගන්නට අවශ්‍යනම් මේ ටිකත් හොඳටම ප්‍රමාණවත්ය. නොකරන්නේනම් මෙපමනත් අවශ්‍ය නැත.

රසායනික පොහොර නිපදවනු ලබන්නේ පසෙන් උකහා ගන්නා සම්පත් වලින්ය. මේවා ‘අතුරුදහන්වන සම්පත්’ බව විද්‍යාඥයින් තේරුම් ගෙන ඇත්තේ පසේ අන්තර්ගතයටද සීමාවක් ඇති බැවිනි. ඒ නිසා ඉතා හදිස්සියෙන් ගොවියා වෙත විකල්ප ශාක පෝෂණ ක්‍රමවේදයන් ලඟා විය යුතුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අද වැඩි නැඹුරුතාවයක් පෙන්වන්නේ ‘කාබණික ගොවිතැන’ වෙත නොව ‘පාරිසරික ගොවිතැන’ වෙතයි. කාබණික ගොවිතැනේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර නිෂ්පාදනයයි. එහෙත් පාරිසරික ගොවිතැන එතනින් නතර නොවේ. පාංශු පෝෂණය සංරක්‍ෂණය හා වර්ධනය කරමින්, ගොවියාගේ අතමිට සරුකරමින්, ගොවිපොළ හා මානව පරිසර පද්ධතියද ආරක්‍ෂාකරන ආහාර නිෂ්පාදනයක් ගැන පාරිසරික ගොවිතැනේදී කතාකරන නිසා වටිනාකම අතින් කාබණික ගොවිතැනට වඩා එය හුඟක් ඉහලය. පණු පොහොර හරහා කෙරෙන කෘෂිකර්මාන්තයක් වේනම් අන් සියල්ලටම වඩා එය පාරිසරික ගොවිතැනට සමීපය. දේශීය ගොවියා හා බිම්පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවයකින් යුතුව අලුත්කරගැනීමේ කාලය එළඹ තිබේ. ඉන්දියානුවන් හුඟක් ඉදිරියට ගොසිනි. කනස්සල්ලකට තිබෙන්නේ, අපේ ගොවියා තවමත් බිම් පනුවා හා කෙරෙන සංවාදයකට වඩා රසායනික පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණයට ඇලුම් කිරීමයි.

සටහන – සනත් එම්. බණ්ඩාර හිටපු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website