යෝජිත අභිචෝදක කාර්යාලය ඵලදායී ලෙස යථාර්ථයක් කරගත හැක්කේ කෙසේ ද ?

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 260 වැනි කතිකාව පසුගිය ඉරිදා (01) ‘යෝජිත අභිචෝදක කාර්යාලය ඵලදායී ලෙස යථාර්ථයක් කරගත හැක්කේ කෙසේ ද ? යන තේමාව යටතේ පැවැත් විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, මහාචාර්ය දිනේෂා සමරරත්න, මහාචාර්ය දීපිකා උඩුගම යන විද්වතුන් සහභාගී වූ අතර  මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව ජාතික ජන බලවේගය විසින් පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කළ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, ‘නීතිය මත පාලනයක් – සම්ප්‍රවේශී අධිකරණ පද්ධතියක්’ යන පරිච්ඡේදයේ නීතිපති දෙපාර්තමේන්තුව යන අනු ඡේදයේ සඳහන් කර තිබුණේය.

“රජය වෙනුවෙන් නඩු මෙහෙය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීම” (පිටුව 202)

එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද 2023 දී මේ සම්බන්ධයෙන් යෝජනා කර තිබුණේය.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට රජය පසුගිය වසරේ උත්සාහයන් කිහිපයක් ගත්තේය. ඒ අනුව 2025 පෙබරවාරී මාසයේ දී අධිකරණ අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව 2025 ඔක්තෝබර් මාසයේ දී අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දුන්නේය. ඊට පසුව සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවේ දී මේ දක්වා අවධානය යොමු නොකළ ක්ෂේත්‍ර කිහිපයක් පවතින අතර ව්‍යවස්ථා නීතිය හා පොදු නීතියේ දෘෂ්ටිකෝණයෙන් මේ සම්බන්ධ අවධානය යොමු කිරීම වැදගත්ය. එසේම මේ සම්බන්ධයෙන් තාර්කිකව සහ ක්‍රමානුකූලව උදාහරණ සහිතව පිළිතුරු සොයා ගත යුතුය.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් සලකා බලන විට සමාජගත වී තිබෙන්නේ ‘අදහසක්’ ලෙස පමණක් වන අතර ඉන් එහා ගිය විස්තරයක් අප වෙත ලැබී නැත. මේ පසුබිම තුළ ප්‍රශ්න තුනක් මතුවේ,

  1. මේ යෝජනාව ක්‍රියාත්මක විය යුතුද ?
  2. එසේ විය යුතු නම් එය ක්‍රියාත්මක විය යුතුතේ කෙසේද ?
  3. කුමන පදනමක් මත ද ?

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පුවත්පත් ඇතුළු ජාතික මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් සංවාදයක් සිදුවන අතර මගේ මතය අනුව විකල්ප තුනක් අප හමුවේ පවතී.

පළමු විකල්පය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ආයතනක් ලෙස අධ්‍යනය කර ප්‍රතිසංස්කරණය කිරීමය. මෙම ක්‍රමවේදය සඳහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, නීති සම්පාදනය, මූලධර්ම ප්‍රකාශන සහ ආචාරධර්ම පිළිබඳ සංග්‍රහයක් සම්පාදනය කළ යුතුය.

දෙවැනි විකල්පය වන්නේ, සම්මුතීන්, සිරිත අනුව කටයුතු කිරීම (Business as usual approach) අපරාධ නඩු පැවරීම කෙරෙහි සීමිත අවධානයයි. මෙහිදී අභිචෝදක කටයුතු පමණක් මූලික කරගෙන ප්‍රතිසංස්කරණ කළ යුතුය. මෙහි දී විකල්ප දෙකක් හඳුනා ගෙන ඇත. ඒවා නම්, නීතිපති දෙපාර්තමේන්තුව තුළ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම (අභ්‍යන්තරව වෙන් කිරීම), නීතිපති දෙපාර්තමේන්තුවට පිටින් අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම (විභේද කොට ස්ථාපිත කිරීම) හා ඒ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව හරයාත්මක කිරීම. (අද සමාජයේ සාකච්ඡාවට ලක්වන්නේ මෙම විකල්පයයි).

තෙවැනි විකල්පය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කර එහි ප්‍රධාන කර්තව්‍යයන් අලුතින් ස්ථාපනය වන ස්වාධීන ආයතනවලට පැවරීමය.

ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි ?

ඔ්නෑම ප්‍රතිසංස්කරණයක් කිරීමේ දී ‘ප්‍රතිසංස්කරණ කළ යුත්තේ ඇයි ?’ද යන ප්‍රශ්නය විමසිය යුතුය. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සමාජය තුළ සැලකිය යුතු අවබෝධයක් පවතී.

ස්වාධීන අභිචෝදක කාර්යලයක් ස්ථාපිත කිරීම හරහා විසඳීමට සූදානම් වන්නේ නෛතික ගැටලුවක් පමණක් නොවේ. ඒ තුළ දේශපාලනික සහ සමාජයීය ගැටලුවක් ද පවතී. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇති ගැටලු වෙත අවධානය යොමු කළ යුතුය. පොදුවේ ගත්විට නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතී. ඒවා අතර, නඩු කටයුතු ප්‍රමාද විම (ඇතැම් විට අවුරුදු 17ක් පමණ ගතවීම), පොදු නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලනීකරණය වීම, නිර්ධනයින්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක වීම, වරදකරු නියෝග ප්‍රතිශතය අවම වීම (4%?), තීන්දු තීරණවල විනිවිධභාවයක් නොමැති වීම, එක් ආයතනයක් තුළ පැනනඟින බැඳියා පිළිගැටුම, වරදකරුවන්ට දුර්විපාක නොලැබීම, වින්දිතයින්ට යුක්තිය ඉටු නොවීම හෝ දැඩි ලෙස ප්‍රමාද වූ යුක්තිය, පොදු නීති කටයුතුවලදී අපගේ අවශ්‍යතා නියෝජනය නොවීම, නොකිරීම හෝ නියෝජනය දුර්වල වීම, අපගේ අයිතිවාසිකම්වලට සහ සමෘද්ධියට බොහෝ විට හානි වන නීති සම්පාදනය, ප්‍රතිපත්ති හා වෙනත් තීරණ ප්‍රවර්ධනය කිරීම.

ඉහත දක්වන ලද කරුණු අනුව පැහැදිලි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැලකිය යුතු ඍණාත්මක අදහසක් නිර්මාණය වීමට තරම් ගැටලු සහ දුර්වලතා නීතිපති දෙපාර්තමේන්තුව තුළ පවතින බවය.

දැනට යෝජිත විසඳුම

ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පද්ධතිය හා එහි ආයතන ගණනාවක් දීර්ඝ කාලීනව හේතු ගණනාවක් නිසා නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය ආරක්ෂා කිරීමට අපොහොසත්ව තිබේ. නමුත් මෙය අපරාධ නීතියට පමණක් සීමා වූ ගැටලුවක් ලෙස දැකීම යම්තාක් දුරකට ගැටලුකාරී තත්ත්වයකි. මෙය සකීර්ණ තත්ත්වයක් වන අතර, පරිපාලන නීතිය, ව්‍යවස්ථා නීතිය සහ අන්තර්ජාතික නීතිය යන සියලු නීති ක්‍රියාත්මක කිරීමේ දී අපට මෙම ගැටලුව දැකගත හැකිය.

වර්තමාන සාකච්ඡාව කේන්ද්‍ර වන්නේ වත්මන් ආණ්ඩුව ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් සහ අධිකරණ අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන පියවර තුළය. මේ විසඳුම පිළිබඳ සාකච්ඡාවේ දී අප විසින් සලකා බැලිය යුතු ගැටලු කිහිපයක් තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉහත දක්වන ලද ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අප අතර එකඟත්වයක් තිබේ නම් ‘යෝජිත විසඳුමෙන්’ අපට කොපමණ දුරකට විසඳුම් ලබා ගත හැකි ද ? යන්න විමසා බැලිය යුතුය.

අපට නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය ගැටලුවලට යෝජිත ප්‍රතිසංස්කරණයෙන් ඍජු විසඳුම් ලබා ගත නොහැකිය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කිරීමේ දී එහි බහුතරයක් කටයුතු සිදුවන්නේ ‘සම්මුතීන්’ට අනුවය. යෝජිත සැලසුමෙන් මෙකී සම්මුතීන් යම්තාක් දුරකට (අපරාධ යුක්තිය සම්බන්ධයෙන්) ලේඛනගත කළ හැකිය. නමුත් ලේඛනගත කළ යුතු සම්මුති ගණනාවක් ද පවතී. ඉන් ඔබ්බට නීතිපති දෙපාර්තමේන්තුවේ ආයතනික සංස්කෘතිය, ආචාරධර්ම පිළිබඳ ඍණාත්මක සංජානනය වැනි දේවල් වෙනස් කළ හැකි ආකාරය අපගේ අවධානයට ලක්විය යුතුය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ සදාචාරාත්මක හැසිරීම් සම්බන්ධ ගැටලු ද තිබෙන අතර මේවාට විසඳුම් සෙවීම පොදු සහ නීති අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සමඟින් වැඩි වශයෙන් සම්බන්ධ වේ.

මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තවත් ආයතන ගණනාවක් සමඟ කටයුතු කරන බව සිහියේ තබා ගැනීමය. (පොලිසිය, අධිකරණ අමාත්‍යාංශය වැනි) මෙම ආයතන තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු ද නීතිපති දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය ඉටු කිරීමේ දී ඍජුව බලපාන්නේය.

ඒ නිසා අපගේ තර්කය වන්නේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ගැන පමණක් සාකච්ඡා කිරීමට යන්නේ නම්, නීතිපති දෙපාර්තමේන්තුව ගැන අධ්‍යයනය කිරීමේ දී කොටස් වශයෙන් හෝ කොටසක් ගැන පමණක් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව කතිකාවකට සීමා වීමය.

ඉන් ඔබ්බට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතාම වැදගත් කාර්යයන් දිගින් දිගටම කරගෙන යන්නේ කෙසේ ද, ඒ තුළින් උද්ගත වන ගැටලුවලට විසඳුම් සොයන්නේ කෙසේ ද, යන ප්‍රශ්නය තව දුරටත් පවතී.

ඊට අමතරව අප සාකච්ඡා කරන ගැටලු වලට බලපාන ප්‍රධාන සාධක සඳහා තිරසාර විසඳුමක් ලබා ගැනීම මෙම යෝජනාවෙන් හැකියාවක් පවතී ද ? යන්න ද සොයා බැලිය යුතුය.

වෙනත් වැදගත් සලකා බැලීම්

රජයක් විසින් යම් යම් දේශපාලන අවශ්‍යතා මත ආරම්භ කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක දී එය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්නේ කෙසේ ද, එතුළින් අපගේ අයිතිවාසිකම්, අපේ නිදහස සහ සමද්ධිය කෙරෙහි අවධානය යොමු කරන බව අප සහතික කර ගන්නේ කෙසේ ද ? යන්න කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය.

එසේම  මෙවැනි ප්‍රතිසංස්කරණ මුලපිරීම් සඳහා අපගේ අවධානය යොමු කළ යුතු ‘පළමු මූලධර්ම’ මොනව ද ?, සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපගේ පරීක්ෂාවට සහ විවාදයට ලක් කරන්නේ කෙසේ ද ?, එය සාක්ෂි මත පදනම් වූ, තාර්කික සහ පළමු මූලධර්ම අදාළ කරගෙන ඇති බවට අපි සහතික කර ගන්නේ කෙසේ ද ?  යන්න දෙසත් අප වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් අවශ්‍ය ද ?

මේ සම්බන්ධයෙන් සැලකිය යුතු කාලයක් පුරා විවාදයක් පවතින අතර අවුරුදු 30ක් පමණ විටින් විට මේ ගැන සාකච්ඡා සිදුවී තිබේ. විශේෂයෙන් ව්‍යවස්ථානුකූලව නීතිපති දෙපාර්තමේන්තුව දෙස බල විට පැහැදිලි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවය.

නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු 142ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහි ප්‍රතිසංස්කරණ සිදු නොවීම හේතුවෙන් ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය හානියක් සිදුව තිබේ. ඒ හානිය තේරුම් ගෙන නීතිපති දෙපාර්තමේන්තුව දෙස සමස්තයක් ලෙස සාකච්ඡා කළ යුතුය. මෙය කළ නොහැක්කක් නොවන අතර කළ හැකි දේ කර ඉතිරි කොටස ගැන පසුවට කල්පනා කළ හැකිය.

මේ සඳහා 2005 දී බ්‍රිතාන්‍ය විසින් සම්මත කළ  Constitutional Reform Act 2005 ආදර්ශයට ගත හැකිය. මේ පනත හරහා සියවසකට පමණ පසුව බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ අතර දැන්වීම් ප්‍රසිද්ධ කර,  සම්මුඛ පරීක්ෂණයක් පවත්වා අග විනිසුරුවරයා බඳවා ගැනීම දක්වා ප්‍රතිසංස්කරණ පුළුල් විය.

මෙවැනි ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීම් ශ්‍රී ලංකාව තුළ ද කළ හැකිය. මෙවැනි ධනාත්මක ප්‍රවණතා දෙස අපගේ අවධානය යොමු විය යුතුය.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් ජනගත වී තිබෙන බවක් දැන ගැනීමට නැත. නමුත් වත්මන් සංවාදය ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට පමණක් සීමා වී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, මැතිවරණ ප්‍රතිංසස්කරණ ඇතුළු නොයෙකුත් ආකාරයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සංවාදයක් මේ වන විට රට තුළ පවතී.

නමුත් අභිචෝදක කාර්යාලය සම්බන්ධ සාකච්ඡාවකදී ‘ප්‍රධාන මූලධර්ම’ කුමක් ද ? යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. ඊට හේතුව වන්නේ මෙරට ප්‍රතිසංස්කරණයක් 100%ක් සාර්ථක වූ බවට දැන ගැනීමට නොහැකි වීමය. මෙය ශ්‍රී ලංකාව තුළ පමණක් පවතින තත්ත්වයක් නොවේ. කිසිම රටක ප්‍රතිසංස්කරණයක් 100%ක් සාර්ථක වන්නේ නැත.

ආදර්ශයට ගත හැකි රටවල්

ස්වාධීන අභිචෝදක කාර්යාලය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය දීපිකා උඩුගම මෙසේ පැවසුවාය. “අපි බැලිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින අසුභවාදී තත්ත්වයට ක්‍රමිකව හෝ විසඳුම් සොයා ගැනීම ගැනයි. මගේ අදහස අනුව මත විමසීමක් වුණා නම් ඉතාම හොඳයි. යම්කිසි සංකල්ප පත්‍රිකාවක් ජනතාවට ඉදිරිපත් කරලා ඔවුන්ගේ අදහස් විමසීමක් කරනවා නම් ඒක ඉතාම හොඳයි. මේ සම්බන්ධයෙන් පවතින ව්‍යුහාත්මක විකල්ප ඉතාම පැහැදිලියි. අපේ අධිකරණ පද්ධතිය අපට ලැබුණෙ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී නිසා අපි බොහෝ විට බලන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය  රටවල් වල පවතින උදාහරණ දෙසයි. පොදු රාජය මණ්ඩලයීය රටවල් වලින් අපට උදාහරණ ගණනාවක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා හොඳම උදාහරණය මහා බ්‍රිතාන්‍යය. දේශීය වශයෙන් ක්‍රියාත්මක වන නීතිපති කාර්යාලය සහ රජයට උපදෙස් දෙන නීතිපති කාර්යාලය වෙන වෙනමයි ස්ථාපිත කරලා තිබෙන්නේ. නමුත් ඒ දෙකම නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම නීතිපතිවරයා කැබිනට් මණ්ඩලයේ රැස්වීම්වලට පවා සහභාගී වෙනවා. නමුත් දීර්ඝ කාලීන දේශපාලන සම්ප්‍රදාය නිසා නීතිපතිවරයා දේශපාලන බලපෑමට ලක් වුණ බවක් අපට දැක ගන්න නැහ”.

ලංකාවට ඇති අභියෝගය

මෙහිදී ලංකාවට ඇති අභියෝග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දුන්නේ ‘ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉතාම වැදගත්’ බවයි.

“මේක අතිෂයින්ම වැදගත්. අපේ නීතිපතිවරයාගේ කර්තව්‍ය අතර ඉතාම පැහැදිලිව ලැබැඳියාවන්ගේ ගැටීමක්’ තිබෙනවා. රජයේ නීති උපදේශකවරයා ලෙස උපදෙස් ලබාදීමේ දීත්,  රජයේ නඩු පවරන්නා  ලෙස කටයුතු කිරීමේ දීත් එහි විශාල ලබැඳියාවන් අතර ගැටුමක් තිබෙනවා” යැයි පෙන්වා දුන් මහාචාර්ය දීපිකා උඩුගම ‘මේ නිසාම ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතුයි’ අවධාරණය කළාය.

මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන අතරතුර පෙන්නුම් කළ යුතු වැදගත්ම කරණු කිහිපයක් මහාචාර්ය දීපිකා පෙන්වා දුන්නාය.

“ඒ පිළිබඳ තිබිය යුතු මූලික මූලධර්ම කුමක් ද ? කියන එක අපි පෙන්වා දිය යුතුයි. එසේම මූලික වශයෙන් ස්වාධීන අභිචෝදක කාර්යාලයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි. ඒ අනුව පත් කිරීම, ඉවත් කිරීම, කාර්යභාරය, මූල්‍ය ප්‍රතිපාදන සහ වෙනත් සම්පත් ලබා දීම ආදිය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් අපට තිබිය යුතුයි. ඒ වගේම ස්වාධීන අභිචෝදක කාර්යාලය කටයුතු කරන්නේ කොහොමද ?, එය කටයුතු කරන්නේ අග නුවර ප්‍රධාන කාර්යාලය තුළ පමණ ද, එසේ නොමැති නම් පළාත්බදව එහි කාර්යාල ස්ථාපිත කරනවාද ? ආදි ව්‍යුහාත්මක කාරණා අපි ගැඹුරින් සලකා බැලිය යුතුයි” මහාචාර්ය උඩුගම වැඩි දුරටත් පැහැදිලි කළාය.

බියවීමට හේතු

ඉහත දක්වන ලද කාරණා අනාගතයේ දී සම්පාදනය කරන නීතියක පැහැදිලිව අන්තර්ගත වුව ද ප්‍රායෝගික තලයේ දී එහි ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය දීපිකා උඩුගම මෙසේ ද සඳහන් කළාය., “මම දන්න ජ්‍යෙෂ්ඨ නීතිඥයින් කිහිප දෙනෙක් මේ යෝජනාවට කැමැති නැහැ. ඔවුන් මේකට අකමැති ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන නිසා නොවෙයි ඔවුන් තුළ විශාල බියක් තිබෙනවා. අපේ ඉතිහාසය දිහා බලන විට (මෑත ඉතිහාසය ද ඇතුළත්ව) අපට කියන්න පුළුවන් ‘නොයෙකුත් ප්‍රතිසංස්කරණ සිදු වුණත් ප්‍රායෝගික තලයේ දී අවශ්‍ය වන ප්‍රතිඵල ලැබිලා තිබෙනවාද ? කියන ප්‍රශ්නය තිබෙනවා. ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයම මේකට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි ස්වාධීන අභිචෝදක සඳහා නාම යෝජනා අනුමත කළ යුත්තේ කියලා. මෙහිදී අපි නිගමනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉතාව විශිෂ්ඨ ආකාරයට, බොහොම පරිණත ආකාරයෙන් මේ ගැන සලකා බලලා, සුදුසු පුද්ගලයින්ගේ නම් යෝජනා කරයි, එසේ නොමැති නම් අනුමැතිය පළ කරයි කියන එක. නමුත් ‘ඒක එසේම වෙයි ද ? කියලා බියක් තිබෙනවා. නමුත එවැනි බියක් තිබෙනවා කියලා, චකිතයක් තිබෙනවා කියලා මෙවැනි ප්‍රතිසංස්කරණ නොකර සිටීම යහපත් දෙයක් නෙවෙයි”.

ප්‍රධාන ප්‍රශ්නය

ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ කරුණු – කාරණා නොදැනීම නොවන බව කී මහාචාර්ය උඩුගම, ලංකාවට සුදුසු ආකාරයේ ආකෘතියක්, නැතහොත් විකල්ප ආකෘතියක් සකස් කර ගැනීමට හැකියාව තිබෙන විශේෂඥයින් සිටින බව ද පෙන්වා දුන්නාය.

ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මහාචාර්ය දීපිකා උඩුගම මෙසේ ද පැවසුවාය, “ඒක කරන්න පුළුවන්, නමුත් මම හිතන්නේ අපට තිබෙන ප්‍රධාන අභියෝගය තමයි මෙහි ස්වාධීනත්වය ව්‍යුහාත්මක වශයෙන් බොහොම තදබල ලෙස රැක ගන්නේ කොහොමද ? කියන එක. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් වෙනම කාර්යාලයක් ලෙස ස්ථාපිත කළත්, නීතිපති දෙපාර්තමේන්තුව තුළ එය ස්ථාපිත කළත්, මෙතැන වෙනස වෙන්නේ නීතිපතිගේ මූලික කාර්යභාරය විශාල වශයෙන් වෙනස් වීමයි. ඒ කියන්නේ මූලික වශයෙන් නීතිපතිගේ කාර්යභාරය උපදෙස් ලබාදීමට මූලික වශයෙන්ම සීමා වෙනවා. ඒ නිසාම යම්කිසි වෙනසක් සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මගේ මතය නම් ක්‍රමිකව හෝ, එක පාරට 100%ක් ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වුණත් මේ ප්‍රතිසංස්කරණවට යා යුතුයි”.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම ‘අත්‍යවශ්‍ය වූ  වෙනස්කමක් ද ?’ යන ප්‍රශ්නය තිබෙන අතර, ඒ වෙනස්කම ඇති කිරීමට අවශ්‍ය හේතු මොනවා ද? යන කාරණා සම්බන්ධයෙන් වටහා ගැනීම මූලිකවම වැදගත්ය.

“මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 22ක කාලයක් සේවය කරලා, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කරලා සේවයෙන් ඉවත් වුණා. මම සේවයෙන් ඉවත් වන විට එවකට සිටි ජනාධිපතිවරයා විසින් මට නීතිපති ධුරය භර ගන්න කියලා ආරාධනා කළා. නමුත් මට වඩා ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක් සිටි නිසා මම නීතිපති තනතුර භාර ගන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි මගේ යම්කිසි ලැඳියාවක් තිබෙනවා. ” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් ශ්‍රීනාත් පෙරේරා මහතා තමා ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.

නීතිපති කරන්නේ කුමක්ද ?

“මගේ ප්‍රශ්නය තමයි විවිධ තැන්වල වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. වෙනස්කම් කළ යුතු තැන් වලදී වෙනස්කම් කළ යුතුමයි. නමුත් ප්‍රශ්නය මේකයි, වෙනස්කම් කළා කියලා ලෝකයට ප්‍රකාශ කිරීමට පමණක්ම නම් ඒ වෙනස්කම සිද්ධ වෙන්නේ, ඒක ප්‍රතිඵල රහිතයි. නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු 142ක් පරණ ආයතනයක් කියන කතාව හරි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රධාන කාර්යයන් තුනක් ඉෂ්ඨ කරනවා. අපරාධ සම්බන්ධ පැමිණිල්ල මෙහෙයවීම සහ ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම, රජයේ සිවිල් නඩු කටයුතු සඳහා සම්බන්ධ වීම, ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයට රාජ්‍ය දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් වන නීති ප්‍රශ්නවල දී උපදෙස් ලබා දීම. මේ සම්බන්ධයෙන් වන කාර්යය පසුගිය අවුරුදු 142 තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉෂ්ඨ කරලා තිබෙනවා”

අඩුපාඩු

පසුගිය වර්ෂ 142 පුරා නීතිපතිවරයා විසින් ප්‍රධාන කර්තව්‍යයන් තුනක් ඉටුකළත් එකී කර්තව්‍යයන් ඉටු කිරීමේ දී යම් යම් අඩුපාඩු සිදු වූ බව තමා ද පිළිගන්නා බව ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේය.

“ඒක ගැන විවාදයක් නැහැ. නමුත් මෙවැනි අඩුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩු වීමට හේතු වූ කරුණු  ගැන විමසලා ඒක නිවැරදි කර ගෙන ඉදිරියට යන්න පුළුවන් ද ?, එසේ කිරීමට නොහැකි නම් පමණක් සමාජයේ අභිවෘද්ධිය සඳහා වෙනස්කමක් කිරීම අත්‍යවශ්‍ය වේ නම් ඒ වෙනස්කම් කිරීම කළ යුතුයි” ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේය.

1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම සමඟ රාජ්‍ය අංශයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් සිදු වූ බව කී ශ්‍රීනාත් පෙරේරා, 1978 ව්‍යවස්ථාව යටතේ එක පුද්ගලයෙකුට අසීමිත බලතල ලැබීම ඊට හේතුව වූ බව ද කීවේය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු කීවේ, පත් වීම් ලබාදීමට, උසස් වීම් ලබාදීමට සහ සේවයෙන් පහ කිරීමට විධායක ජනාධිපතිවරයාට අසීමිත බලතල ලැබුණු බවයි.

“මං හිතන්නේ රාජ්‍ය සේවය යම්කිසි ප්‍රමාණයකට තමන්ගේ ස්වාධීනත්වය අහිමිකර ගත්තා. නමුත් මම හිතන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව යම් ප්‍රමාණයකට තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත්තා. ඒක ගැන තර්කයක් නැහැ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් ප්‍රමාණයකට බලයේ සිටින ආණ්ඩුවේ අතකොළු බවට පත්කර ගෙන ඉවරයි (අවශ්‍ය නම් මාව නිවැරදි කළ හැකිය). මෙවැනි තත්ත්වයක් තුළ තමයි නීතිපති දෙපාර්තමේන්තුව යම් ප්‍රමාණයකට හෝ ස්වාධීනත්වය ආරක්ෂා කර ගෙන, රැකගෙන ඉදිරියට යන්නේ”

මෙහිදී ශ්‍රීනාත් පෙරේරා මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ යම් යම් අඩුපාඩු තිබෙන බව යළි යළි පිළිගත් අතර නඩු කටයුතු කිරීමේ දී සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බව ද පිළගත්තේය. මෙකී කටයුතු සම්බන්ධයෙන් ද නීතිපති දෙපාර්තමේන්තුවට ‘පූර්ණ චෝදනාව’ ඉදිරිපත් නොකළ යුතු බව පෙන්වා දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නිලධාරී හිඟය ද ඇතූ කාරණා කිහිපයක් මෙකී ප්‍රමාදයන්ට ඍජුව බලපාන බව ද පැහැදිලි කළේය.

“අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ නිලධාරීන් 250ක් පමණයි. ඒ වගේම මේ දක්වා පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. සිංගප්පූරුව ගත්තොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන නිලධාරීන් 2000කට වැඩි පිරිසක් ඉන්නවා. මේ තත්ත්වය තුළ ප්‍රමාද වීම් පිළිබඳ යම් ගැටලුවක් ඇති වෙනවා නම් ඒකට උචිත පිළිතුර වන්නේ ඒ නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරලා, ඒ නිලධාරීන්ට තිබෙන පීඩනය අඩු කිරීමයි” ශ්‍රීනාත් පෙරේරා නිදර්ශන සහිත ලංකාව මුහුණ දෙන අර්බුදයේ තරම පෙන්වා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් එම ආයතනය සුණු විසුණු කර අලුත් ආයතනයක් පිහිටුවීම සමාජයේ උන්නතියට හේතු වන කාරණායක් වේවි ද යන ප්‍රශ්න තමා හමුවේ පවතින  බව ද ඔහු කීවේය.

“ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියන්නේ කඩෙන් බඩු ගන්නවා වාගේ පවත්වා ගෙන යන්න පුළුවන් ආයතනයක් නොවෙයි” හිටපු ජ්‍යෙෂඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

“කඩෙන් බඩු ගන්නවා වාගේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පටන් අරං, ඒකට නිලධාරීන් පත්කර ගෙන, එහෙම දුවන්න පුළුවන් ආයතනයක් නෙමෙයි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියන්නේ” මෙහි දී ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ ‘ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අරමුණ කුමක් ද? කියා රජය අදාළ පාර්ශ්ව කඩිනමින් දැනුවත් කළ යුතු බවයි.

“ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ඇති කිරීමේ අවශ්‍යතාව මොකක්ද ? කියන එක මට නම් තාම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අපට වටහා දෙන්න” ශ්‍රීනාත් පෙරේරා යළි අවධාරණය කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website