අපි විශ්වාස කරනවා විගණනය කියලා කියන්නේ මූලිකව ස්වාධීනත්වය මත පදනම් වුණ කාර්යභාරයක්. විගණනයේ පදනම වන්නේ ස්වාධීනත්වයයි. මේ ස්වාධීනත්වය දැඩි කැපවීමකින් ආරක්ෂා කර ගත්ත නිලධාරීන් තමා රාජ්‍ය විගණන සේවයේ ඉන්නේ. අපි විශ්වාස කරනවා රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන්ගෙන් එහා ගිය ස්වාධීනත්වයක් වෙනත් අංශයක් තුළින් බලාපොරොත්තු වීම අපහසුයි කියලා. ඒ නිසා ජාතික විගණන සේවයේ නිලධාරියෙක් විගණකාධිපති ධුරය සඳහා පත්කර විගණන ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රසන්න ඇළපාත – සභාපති, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය
- ‘විගණනය’, විගණන වාර්තා ආදිය ගැන රාජ්‍ය සේවකයින්ට යම් අවබෝධයක් තිබුණත් සාමාන්‍ය ජනතාවට ඒ ගැන එතරම් අවබෝධයක් නැහැ. ඇත්තටම ‘විගණනය’ කියලා කියන්නේ කුමක් ද ?, ජනතාවට ඒක වැදගත් වෙන්නේ ඇයි ?
විගණනය කියන වචනය සරලව පැහැදිලි කළොත් ‘ස්වාධීනව පරීක්ෂා කර වාර්තා කිරීම’ කියලා කියන්න පුළුවන්. මේ පරීක්ෂා කිරීම විවිධාකාරයෙන් සිදුවෙනවා. ජාතික විගණන කාර්යාලයට (2018 අංක 19 දරන ජාතික විගණන පනත අනුමත වීමට පෙර විගණන දෙපාර්තමේන්තුව) පැවරිලා තිබෙන කාර්යභාරය තමයි රටේ ‘ව්‍යස්ථාපිත විගණනය’ සිදු කිරීම. ව්‍යවස්ථාපිත විගණනය කියලා කියන්නේ රජය විසින් කරනු ලබන වියදම් සම්බන්ධ, ආදායම් සම්බන්ධ, මෙහෙයුම් සම්බන්ධව වියදම් පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම.
මේ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මොනවාද යන්න පැහැදිලි කළොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවේ සිට 154 ව්‍යවස්ථාව දක්වා ව්‍යවස්ථාවල ‘රාජ්‍ය මූල්‍ය පාලනය’ සම්බන්ධයෙන් විධිවිධාන ඇතුළත් වෙනවා. 148 ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ‘රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුවට’ පැවරෙනවා. පාර්ලිමේන්තුව ආදායම් රැස් කිරීමේ දී සහ විදයම් දැරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය 149,150, 151,152 ව්‍යවස්ථාවල සඳහන් වෙනවා. 153 ව්‍යවස්ථාවේ ‘විගණකාධිපතිවරයෙක්’ ගැන සඳහන් වෙනවා. 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථය සම්බන්ධයෙන්, එසේ නැතිනම් විගණකාධිපතිවරයා විගණනය සඳහා පැවරෙන රාජ්‍ය ආයතන මොනවා ද?, ඒ විගණන කටයුතු කළ යුතු ආකාරය කුමක් ද? වැනි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් සඳහන් කළ යුතුයි. අමාත්‍යාංශයක් යටතට නොවැටෙන රාජ්‍ය ආයතන දෙකයි ලංකාවේ තියෙන්නේ. එකක් ජාතික විගණන කාර්යාලය, අනෙක මැතිවරණ කොමිෂම. මෙයින් අපේක්ෂා කරන්නේ ජාතික විගණන කාර්යාලය ස්වාධීනව පවත්වා ගෙන යාමයි.
- විගණනය සහ ජනතා පරමාධිපත්‍ය අතර සම්බන්ධයක් තිබෙන බව කියනවා නේද ?
ඔව්, විගණනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්, ජනතාව සතු පරමාධිපත්‍ය බලතල විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පවරා දෙනවා. පාර්ලිමේන්තුව පවරන ලද ‘ව්‍යවස්ථාදායක බලය’ තුළ ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. නීති පැනවීම, සහ රාජ්‍ය මූල්‍ය පාලනය මේ මූලික කාරණා දෙක ලෙස සැලකෙනවා. මේ අනුව ව්‍යවස්ථාදායකයට පවරන ලද රාජ්‍ය මූල්‍ය පාලනය ව්‍යවස්ථාදායකය විසින් ක්‍රියාත්මක කරන්නේ අයවැය ලේඛනයක් අනුමත කිරීම, බදු පැනවීම සම්බන්ධ සීමා නියම කිරීම, රාජ්‍ය ණය ගැනීම සම්බන්ධ සීමා නියම කිරීම තුළින් පාර්ලිමේන්තුව, මේ සීමා නියම කළ පසු මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ, මෙහෙයවන්නේ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලින් සුසැදි රාජ්‍ය යාන්ත්‍රණය හරහායි. පාර්ලිමේන්තුව අපේක්ෂා කරන ආකාරයට, පාර්ලිමේන්තුව පනවන ලද සීමාවන්ට යටත්ව, පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතිරීතිවලට යටත්ව මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වීමේදී මේ ආයතන ක්‍රියාත්මක වූවා ද කියලා පරීක්ෂා කරලා ස්වාධීන වාර්තාවක් ලබා ගැනීම තමයි විගණකාධිපතිවරයා හරහා කරන්නේ. මෙහිදී විගණකාධිපතිවරයාට පැවරෙන්නේ ‘විධායකය මෙහෙයුම් කටයුතු කරන ආකාරය’ ස්වාධීනව පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. විගණකාධිපතිවරයා ජනතාව වෙනුවෙන් තමයි මෙය පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ. මේ අනුව ජනතා පරමධිපත්‍ය බලය ඔප්නැංවීමේ මූලික මෙවලමක් ලෙස රාජ්‍ය විගණනය හදුන්වන්න පුළුවන්. මෙය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සිදුවන ‘විගණන සම්ප්‍රදාය’.
- හිටපු විගණකාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේ විශ්‍රාම ගිය පසු නව විගණකාධිපතිවරයා පත් කිරීම මේ දක්වා සිදුකර නැහැ. ආණ්ඩුව, විපක්ෂය, සිවිල් සමාජය සහ ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වනවා. විගණන සේවා සංගමය මේ තත්ත්වය දකින්නේ කොහොමද ?
විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවේ විධිවිධාන ඇතුළත් වෙනවා. 153 ව්‍යවස්ථාව තුළ විගණකාධිපතිවරයා පත් කිරීම, ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයාට සිය ධූරයෙහි වන කාර්ය ඉටුකිරීම ට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා වැඩ බලන විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් වෙනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් මේ විධිවිධාන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් සංශෝධනය කළේ නැහැ. නමුත් මේ වන විට, ‘රාජ්‍ය මූල්‍ය පාලනය වඩාත් ශක්තිමත් විය යුතුයි’ කියලා යම් ඉල්ලීමක් ආවා.
- මේ සම්බන්ධයෙන් යම්කිසි ජාත්‍යන්තර බලපෑමකුත් සිදු වුණා ද ?
ඔව්, උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර එකමුතුව / International Organization of Supreme Audit Institutions (INTOSAI) රටක විගණකාධිපතිවරයාගේ කාර්යභාරය, එසේ නොමැති නම් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා වීම සඳහා පැවතිය යුතු මූලික නිර්ණායකයන් 1977 දී ‘ලීමා ප්‍රකාශනය’ මඟින් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ වගේම 2007 දී ‘මෙක්ෂිකෝ ප්‍රකාශනය’ මඟින් ජාත්‍යන්තර වශයෙන් විගණනයේ ස්වාධීනත්වය ආරක්ෂා වීමට පැවතිය යුතු මූලධර්ම ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඊට අමතරව 2009 දී එක්සත් ජාතීන් විසින් මේ ප්‍රකාශනවලට අනුකූලව තමන්ගේ සාමාජික රටවල රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලියට අදාළ නෛතික පසුබිම් සකස් විය යුතු බවත්, ඊට අදාළ ක්‍රියාවලීන් ක්‍රියාවට නැගිය යුතු බවත් පිළිගෙන තිබෙනවා. ඊට අනුකූලව රාජ්‍ය විගණන කටයුතු සිදුවිය යුතු බව තමයි ජාත්‍යන්තර පිළිගැනීම. මේ නිර්ණායක අනුව රටක විගණනයේ පදනම ලෙස සලකන්නේ ‘ස්වාධීනත්වය’යි. ඒ ස්වාධීනත්වය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් යුක්තයි. ඒනම් විගණකාධිපතිවරයාගේ පරිපාලන, මෙහෙයුම් හා මූල්‍ය ස්වාධීනත්වය වේ. මේ නිර්ණායකයන්ට අනුකූලව ඒය තහවුරු කිරීම රජයකට වගකීමක් වෙනවා .
- 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙහි දී ඉතාම වැදගත් නේද ?
ඔව්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් සංශෝධන ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එමගින් ‘විගණන සේවා කොමිෂන් සභාව’ ස්ථාපිත කිරීම මෙන්ම ඒතෙක් විගණකාධිපතිවරයාගේ විෂය පථයට ඇතුලත් නොවූ රාජ්‍ය සමාගම් පාර්ලිමේන්තු මූල්‍ය පාලනයට යටත් කිරීම ඒමගින් සිදුවනවා.
- විගණකාධිපතිවරයා සහ විගණන සේවා කොමිෂන් සභාව අතර සම්බන්ධය කුමක් ද ?
විගණකාධිපතිවරයා සහ විගණන සේවා කොමිෂන් සභාව ආයතන දෙකක්. රාජ්‍ය විගණන කටයුතු සම්බන්ධ මූලික වගකීම පැවරෙන්නේ විගණකාධිපතිවරයාට. විගණන සේවා කොමිෂන් සභාවට ප්‍රධාන කාර්යයන් හතරක් පැවරිලා තිබෙනවා. ඒවා තමයි, විගණකාධිපතිවරයාගේ පරිපාලන ස්වාධීනත්වයට තහවුරු කිරීම සඳහා රාජ්‍ය විගණන සේවයක් පිහිටුවීම, විගණකාධිපතිවරයාගේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීම වෙනුවෙන් විගණකාධිපතිවරයාගේ අයවැය ලේඛනය පිළියෙළ කර ජාතිය අයවැයට එකතු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම, (වර්තමානයේ මෙය අනුමත වන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා හරහා), රාජ්‍ය විගණනයට අදාළ විගණන ප්‍රමිත තීරණය කිරීම හා රාජ්‍ය විගණන ප්‍රමිත හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම (විගණන මෙහෙයුම් සම්බන්ධ ස්වාධීනත්වය තව දුරටත් තහවුරු කිරීම) සහ නීතිය මඟින් පවරන වෙනත් කාර්යයන් විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස සැලකෙනවා. විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය සරලව පැහැදිලි කළොත්, විගණකාධිපතිවරයාගේ පරිපාලන, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය ශක්තිමත්ව තහවුරු කිරීම සඳහා තමයි විගණන සේවා කොමිෂන් සභාව පිහිටුවා තිබෙන්නේ.
- හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේ විශ්‍රාම ගියාට පසු මාස අටකට අධික කාලයක් ගත වෙලත් ඇයි නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම නො හැකි වුණේ ?
හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම ගත්තේ 2025 අප්‍රේල් මාසේ 08 වැනිදා. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විගණකාධිපතිවරයෙක් විශ්‍රාම යාමට මාස තුනකට පමණ පෙර ඔහුගේ විශ්‍රාම යාම පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දෙනවා. ඒ අනුව යමින් හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාම සම්බන්ධයෙනුත් මේ සම්ප්‍රදාය අනුව ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා.
- වර්තමානයේ දී, ඒ කියන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව විගණකාධිපතිවරයා පත් කිරීම ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ඔව්, ඊට පෙර පැරණි තත්ත්වය ගැන අවබෝධයක් ලබාගත යුතුයි. 1978 ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා පත් කිරීම සිදු වුණේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි. ඒක ඔහුගේ විධායක බලතල යටතට ඇතුළත් වුණා. නමුත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ‘ස්වාධීන කොමිෂන් සභා’ ස්ථාපිත කිරීම සමඟ ආණ්ඩුවේ සෙසු උසස් නිලතලවලට නිලධාරීන් පත් කිරීමට හඳුන්වා දුන් ක්‍රමය විගණකාධිපතිවරයා පත් කිරීමටත් අදාළ වුණා. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව තමයි ජනාධිපතිවරයාට විගණකාධිපතිවරයා පත් කිරීමට සිදු වුණේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා මෙන්ම 2022 දී සම්මත කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිවරයා වෙනුවෙනු වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධ ප්‍රතිපාදන යළි සංශෝධනය කරනවා. ඒ අනුව විගණකාධිපති ධුරයේ ‘වැඩ බැලීම’ සඳහා කරන පත් කිරීමත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු ලෙසට රටේ මූලික නීතිය සංශෝධනය වී තිබෙනවා.
- එතකොට වත්මන් අර්බුදය නිර්මාණය වුණේ කොහොමද ?
හිටපු විගණකාධිපතිවරයා 2025 වර්ෂයේ අප්‍රේල් 08 වැනිදා විශ්‍රාම යාමට නියමිත නිසා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ඒම තනතුරට පත් කරන ලෙස ජාතික විගණන කාර්යාලයේ අංශ ප්‍රධානීන්ගේ සංසදය ඒහි සාමාජිකත්වය දරන ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරණ නියෝජනය කරන සියළු අංශ ප්‍රධානීන්ගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමයත්, අනෙකුත් ප්‍රධාන වෘත්තීය සමිතිත් එකතු වෙලා ජනාධිපතිවරයාගෙන් ඒම ඉල්ලීම කර තිබෙනවා. ජාතික විගණන කාර්යාලයේ අපේ නිලධාරීන්ට තිබෙන එකම ප්‍රධාන තනතුර මෙය පමණයි. අපේ නිලධාරීන් වෙනත් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජාතික විගණන සේවයේ ඉන්න නිලධාරීන්ට තිබෙන ‘එකම ඉහළ තනතුර’ විගණකාධිපති ධුරය පමණයි. විශේෂ අවස්ථා කිහිපයක දී හැරෙන්න මේ තනතුර අපේ නිලධාරියෙකුට ලබාදීම සාම්ප්‍රදායිකව සිදු වුණා. ඒ අනුව අපේ නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් විගණකාධිපතිවරයෙකු විශ්‍රාම යාමට නියමිත අවස්ථාවකදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදුවී තිබෙනවා. අපේ ඉල්ලීම අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමකින් තොරව ජනාධිපතිවරයා විසින් දින 14ක කාලයක් සඳහා වැඩ බැලීමට ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා වූ ධර්මපාල ගම්මන්පිල මහතාව පත් කරනවා. මේ අතරතුර ඒය දවස් 31 කින් දීර්ඝ කිරීමෙන් පසු වැඩ බැලීමේ කාලය අවසන් වුණාට පස්සේ ජනාධිපතිවරයා විසින් රාජ්‍ය විගණන සේවයේ නොවන නමක් ස්ථිර විගණකාධිපති තනතුර සඳහා පසුගිය මැයි මාසයේ ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කළා. නමුත් ව්‍යවස්ථාදායක සභාව විසින් ඒ නම ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ නැවත වරක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව මාස හයක කාලයක් සඳහා විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට ධර්මපාල ගම්මන්පිල මහතාව පත් කරනවා. ඒ කාලය සීමාව පසුගිය දෙසැම්බර් 06 වැනි දා අවසන් වුණා. ඊට පසු වැඩ බැලීමේ කාලසීමාව තුල ඔහු විගණකාධිපති තනතුරෙහි සියළු ව්‍යවස්ථාපිත රාජකාරියන් ඒනම්, පාර්ලිමේන්තුව වෙත නියමිත දිනයන්ට විගණිත වාර්තා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ COPE හා COPA කාරක සභා සඳහා සහය වීම ඇතුළු කාර්යයන් නිසි පරිදි ඉටුකර තිබෙන බව අප විශ්වාස කරනවා. ජනාධිපතිවරයා ඔහුගේම නම මාස තුනක කාලයක් සඳහා ‘වැඩ බැලීමේ පදනමින්’ ව්‍යවස්ථාදායක සභාවට නැවත නිර්දේශ කරනවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව ඒය නිර්දේශ නොකරන්නේ ‘වැඩ බැලීමේ පදනමින් දිගින් දිගටම මේ තනතුර පවත්වා ගෙන යාම සුදුසු නොවන බව’ට වන පදනම මත ස්ථිර පත් වීමක අවශ්‍යතාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වුණා.
- මේ ඉල්ලීමට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය කුමක් ද ?
ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ රාජ්‍ය විගණන සේවයේ නොවන හමුදා නිලධාරියෙකුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව ඒ නමත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ රාජ්‍ය විගණන සේවයේ කටයුතු කරන තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරියකගේ නමක් ‘වැඩ බැලීමේ පදනමින්’ යෝජනා කරනවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව නැවතත් විගණකාධිපති ධුරයට ස්ථිර පත් කිරීමක් කළ යුතු පදනම මත ඒම වැඩ බැලීමේ පත්වීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වුණේ. මේ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නම් හතරක් නිර්දේශ කර තිබුණා. මේ අතරින් දෙදෙනෙක් රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වුවත් මේ නම් දෙකම ඉදිරිපත් කළේ ‘වැඩ බැලීමේ පදනමින්’ පත් කිරීමට පමණයි. ස්ථිර පදනමින් විගණකාධිපති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ප්‍රතික්ෂේප කර තිබෙන්නේ නම් දෙකක් පමණයි. ඒ දෙදෙනා රාජ්‍ය විගණන සේවයෙන් පරිභාහිර අයයි. මේ සන්දර්භය තුළ තමා පසුගිය දෙසැම්බර් 06 වැනිදා සිට විගණකාධිපති ධුරය පුරප්පාඩුව පවතින්නේ.
- ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම තුළ මතුවිය හැකි අර්බුද හෝ ගැටලු මොනවා ද ?
‘විගණකාධිපතිවරයා විසින්ම ඉටුකළ යුතු’ බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජාතික විගණන පනතේ සඳහන් වන යම් යම් කාරණා තිබෙනවා. විශේෂයෙන් ආ.ක්‍ර.ව්‍ය. 154 (6) ව්‍යවස්ථාව අනුව ‘විගණික ආයතන සම්බන්ධ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කළ යුතු වන්නේ විගණකාධිපතිවරයා’විසින්. ඊට අමතරව විශේෂ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකියි. ඒමෙන්ම ස්ථාවර නියෝග 119, 120 තුළ සඳහන් වන ආකාරයට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව කටයුතු කළ යුතුයි. ඒ අනුව මේ කාරක සභා රැස්වීමේ ගැටලුකාරී තත්ත්වයක්ද නිර්මාණය විය හැකියි.
2026 වර්ෂයේ අයවැය ලේඛනය මඟින් ජාතික විගණන කාර්යාලයේ වෙන්කල මුදල් වියදම් දැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දියයුතු වෙනවා. ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානියා නොමැති වීම වන මේ දක්වා ඒ බලතල පවරා දී නැහැ. ඒ අනුව මේ වන විට වියදම් දැරීම සම්බන්ධයෙන්ද ගැටළුකාරී තත්වයක් පවතිනවා.
- ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ මෙහි අවසානය දකින්නේ කෙසේ ද ?
අපි විශ්වාස කරනවා විගණනය කියලා කියන්නේ මූලිකව ස්වාධීනත්වය මත පදනම් වුණ කාර්යභාරයක්. විගණනයේ පදනම වන්නේ ස්වාධීනත්වයයි. මේ ස්වාධීනත්වය දැඩි කැපවීමකින් ආරක්ෂා කර ගත්ත නිලධාරීන් තමා රාජ්‍ය විගණන සේවයේ ඉන්නේ. අපි විශ්වාස කරනවා රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන්ගෙන් එහා ගිය ස්වාධීනත්වයක් වෙනත් අංශයක් තුළින් බලාපොරොත්තු වීම අපහසුයි කියලා. ඒ නිසා ජාතික විගණන සේවයේ නිලධාරියෙක් විගණකාධිපති ධුරය සඳහා පත්කර විගණන ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විගණකාධිපතිවරයා පත්කර ගැනීමට දක්වන මේ උනන්දුව හා කැපවීමෙන් ඒහා ගිය උනන්දුවකින් කැපවීමකින් විගණන වාර්තා හරහා හෙළි කරන වැරදි වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම හා දඩුවම් ලබා දීම, පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේදී අත්‍යවශ්‍ය වෙනවා. ඒ බව තහවුරු වන පරිදි කටයුතු කරන ලෙස අප දේශපාලනඥයින්, ජනමාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 18 වැනිදා ප්‍රකාශයට පත් කළ ලිපියකි












