කෘෂිකාර්මික ගොවිපොළ සඳහා ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන භාවිතයේ වැදගත්කම කුමක් ද ?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

පෘථිවි වායුගෝලයේ සිදුවන විපර්යාස නිසා ගොඩනැ‍ගෙන පරිසර තත්ත්ව හේතුවෙන් ඇතිවන බලපෑම් සඳහා නිතරම මුහුණදීමට අපට සිදුවේ. එවැනි තත්ත්වයන් පිළිබඳ තොරතුරු පූර්ව වශයෙන් දැනගැනීම ඉන් ආරක්ෂාවීම උදෙසා ඉතා වැදගත්වේ. විශේෂයෙන්, ශ්‍රමදායකත්වය හා තාක්ෂණික ක්‍රියාකාරකම් හැරුණවිට කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලවනුයේ දේශගුණික විපර්යාස Climate change මගිනි. එසේම වැවිලි කර්මාන්ත හා සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ සෑම අංශයකම ක්‍රියාකාරකම් කෙරෙහි ද එමගින්වන බලපෑම ද සුළුපටු නොවේ. අනෙකුත් සාධක වලින් බැහැරව මෙම අංශ සියල්ලෙහිම නිෂ්පාදන ඵලදායිතාව කෙරෙහි බලපාන ප්‍රබල හේතුකාරකය ලෙස කාලගුණය Weather හැඳින්විය හැකිය.

  • පරිසර තත්ත්ව

කාලගුණික වෙනස්කම් මත කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය  හා සත්ත්ව පාලන කටයුතු කෙරෙහි බලපාන ගැටළු ගණනාවක් අප අත්දැක තිබේ. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොමැති වූ විට කෘෂි හා වැවිලි බෝග නිෂ්පාදනය පහත වැටෙනු ඇත. එසේම, අධික වර්ෂාපතන හේතුවෙන් වගා බිම් සෝදාපාළුවී බෝග මෙන්ම අස්වනු පවා විනාශවීමට භාජනය වේ.  එමෙන්ම  නියං  තත්ත්වය හමුවේ  සුළං ප්‍රවාහ හා උෂ්ණත්වය ඉහළ යාමෙන් වගාබිම් ස්වාභාවිකව ගිනි ගැනීමට ද නතුවිය හැකි ය. එපමණක් නොව මෝසම් කාලසීමා ආරම්භයේ දී මෙන්ම අන්තර්මෝසම් කාලසීමාවන්හිදී ද හටගන්නා  සුළං ධාරා අස්වනුවලට අසාමාන්‍ය ලෙස හානි ගෙනදිය හැකි අතර සත්ත්ව ලෙඩ රෝග මෙන්ම, බෝග වගාවන්හි පළිබෝධකයින්ගේ ව්‍යාප්තියටද එය හේතු වනු ඇත.

විශේෂයෙන්ම, පාරිසරික සාධක ලෙස ගැනෙන සූර්ය විකිරණ ප්‍රමාණය මත පසේ වාෂ්පීකරණය හා ශාක උත්ස්වේදන – වාෂ්පීකරණය Evapotranspiration සැලකිය යුතු ලෙස රඳා පවතීයි. තවත් වැදගත් සාධකයක් වන ආර්ද්‍රතාව, ශාක පත්‍ර වර්ධනය, ප්‍රභාසංස්ලේෂණය, පරාගණය හා රෝග පැතිරීම කෙරෙහි බලාත්මක වේ. ඒ අනුව, ඉතා ඉහළ හෝ ඉතා පහළ සාපේක්ෂ ආර්ද්‍රතාව, බෝගයන්හි පරාගණය නිසි ලෙසින් සිදුනොවීමට බලපාන එක් හේතු සාධකයකි. අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව බෝගයන්හි උත්ස්වේදන වාෂ්පීකරණය ඉහළ නැගීමටද හේතුවේ. ශාක පත්‍ර මත දිලීර බීජාණු මේරීමට ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාව හේතුකාරක වේ. එසේම ඉතා ඉහළ ආර්ද්‍රතාවන් යටතේ කෘමි හානි පැතිරයාම හා රෝගකාරක ව්‍යාප්තිය ද ඉහළ යනු ඇත.

තවදුරටත් ඒ ගැන විමසීමේදී, පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ විවිධත්වය හා ක්‍රියාකාරිත්වය සහ බෝග කායික ක්‍රියාවලිය කෙරෙහි පාංශු උෂ්ණත්වය බලපැවැත්වෙන ආකාරය දැකගතහැකි වේ. පසේ ගැඹුර, වර්ගය, පස මතුපිටට පතිතවන සූර්යවිකිරණ ප්‍රමාණය, වාතයේ උෂ්ණත්වය හා කාලය අනුව මෙකී පාංශු උෂ්ණත්වය රඳා පවතී. එසේම බෝග වර්ධන අවදියේදී පරිසර උෂ්ණත්වයේ වෙනස්වීම එහි නිෂ්පාදකත්වය කෙරෙහි බලාත්මක වේ. එහෙයින් පරිසර උෂ්ණත්වය මෙන්ම පාංශු උෂ්ණත්වයේ වෙනස්වීම පිළිබඳව ගොවීන් තම අවධානය නිරතුරුව යොමුකර කටයුතු කිරීම වැදගත් වේ.

විශේෂයෙන්ම පශු සම්පත් නිෂ්පාදනය කෙරෙහිද, කාලගුණයේ වෙනස්වන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස බලපවත්වන ආකාරය විද්‍යාමාන වේ. ඒ අනුව අධික උණුසුම මත ගොඩනැගෙන තාප ආතතිය  Heat Stress කිරි නිෂ්පාදනය හා සතුන්ගේ ප්‍රජනන කාර්යක්ෂමතාවය අඩුකරයි. තාප ආතතියට ලක්වූ සතුන් දෛනික ආහාර පරිභෝජනය අඩුකර, වැඩියෙන් ජලය පරිභෝජනය කරයි. සතුන්ගේ කිරි අස්වැන්න අඩු කරවන අතර කිරිවල ගුණාත්මකභාවය ද පහත හෙළයි. එසේම උෂ්ණත්වය ඉහළ යාම කුකුළන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. විශේෂයෙන් අධික උණුසුමට හුරු නොවූ ප්‍රදේශවල කුකුළන් තාප ආතතිය මත ආහාර පරිභෝජනය අඩු කරයි. බිත්තරවල ගුණාත්මකභාවය පහත වැටේ. සතුන් මරණයට පවා ලක්විය හැකි ය. උණුසුම් උෂ්ණත්වයන් රෝග වාහකයන්ගේ භූගෝලීය පරාසය පුළුල් කළ හැකි අතර වසංගත අවදානම වැඩි කරයි.

මෙම තත්ත්වයන් පාලනය කරගැනීමට හා ඒවාට සාර්ථකව පිළියම් යෙදීම සඳහා ගොවීන්ට පෙර සූදානම්විය හැක්කේ ඒ පිළිබඳව පුර්ව දැනුම්වත්වීමක් ලබා තිබේ නම් පමණි. කාලගුණය පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් ගොවීන් සතුව පැවතීම ඒ උදෙසා මහත් පිටුබලයක් වනු ඇත. එසේ වුවහොත් එකී තොරතුරු පදනම්කරගෙන නිවැරදි තීරණමත ස්වකීය බෝග වගාවන් නඩත්තු කිරීමට හා සත්ව පාලන කටයුතු සාර්ථක කරගෙන යාමට ගොවීන්ට හැකියාව උදාවනු ඇත.

  • කාලගුණ නිරීක්ෂණ සේවාව

කෙසේ වුවද කාලගුණය පිළිබඳව ගොවීන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව දැනගත  හැක්කේ එවැනි සේවාවක් ඔස්සේ පමණි. ඒ උදෙසා පෘථිවි කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙන්ම රේඩියෝසොන්ඩ් උපකරණය සහිත ගුවනට යොමුකරන බැලූන, ඩොප්ලර් රේඩාර්, කාලගුණ චන්ද්‍රිකා, ගමනාගමනයේ යෙදෙන නැව් ද, සාගරයේ රැඳවූ විවිධ ස්වරූපයේ බෝයාවල් Buoys සහ සමහර අවස්ථාවක කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණය කරන ගුවන් යානා ඇසුරෙන් Aircraft Meteorological Data Relay ක්‍රමවේදය ඔස්සේ කාලගුණ දත්ත එක්රැස්කර ගනු ලැබේ. එසේම සෑම දිනයකම නිශ්චිත කාල පරාසයන් තුළදී, කාලගුණ තොරතුරු රැස්කර වාර්තාගත කිරීම පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයන්හි සේවයේ නිරත මානව නිරීක්ෂකයින් Meteorological Observers විසින් සිදුකරනු ලැබේ. දෛනිකව මෙසේ එක්රැස් කරන කරන දත්ත, මාස හා වසර ගණනාවක් පුරා රැස්කළ දත්ත සමඟින් විශ්ලේෂණය කිරීම හා ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම ලොව පුරා කාලගුණ විද්‍යාඥයන් Meteorologists විසින් කරනු ලැබේ. මේවනවිට ලෝකයේ බොහෝ රටවල  දිනපතා එක්රැස් කරන කාලගුණික දත්ත වසර 200 කට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම්පායි. එසේ වුවද, පුද්ගල නිරීක්ෂණ පෘථිවි කාලගුණික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා විශාල  පිරිවැයක් හා ශ්‍රමදායකත්වයක් දැරීමට සිදුවීම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඒ වෙනුවට ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන Automatic Weather Station ස්ථාපිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි.

වාසනාවකට මෙන් අප දැන් සිටින්නේ කාලගුණ දත්ත අඛණ්ඩව ස්වයංක්‍රීයව එකතු කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති විද්‍යුත් උපාංග නිෂ්පාදන තාක්ෂණ හැකියාව ඉහළ වකවානුවක ය. විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුළ ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ නිවැරදිව කාලගුණ පරාමිතීන් ලබාගැනීම සඳහා ස්වයංක්‍රීය තාක්ෂණය වඩාත් සරල හා සුහුරු ලෙස භාවිතයට පැමිණීමයි. ඒ අනුව ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයන්හි ස්ථාපිත සංවේදක වෙතින් කාලගුණ පරාමිතීවල අගයයන් ස්වයංක්‍රීයව වාර්තා වන අතර ඒ හේතුවෙන් එම පද්ධතියක් ඇසුරෙන් ඕනෑම වේලාවක, එම දත්ත සෘජුවම දැනගත හැකි වේ. එපමණක් නොව දින කිහිපයක් සඳහා ඉදිරියට කාලගුණ ස්වරූප පිළිබඳව පුරෝකථනය කළහැකි පරිගණක ආශ්‍රීත වැඩසටහන්ද ඒ සමගම භාවිතයට පැමිණ තිබේ.

  • පද්ධති සංරචක

එවැනි ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් සංරචක කිහිපයක එකතුවක් ලෙස ගොඩනැගේ. ඒ අනුව දත්ත සටහන් තබන Data Logger/Collector ඒකකයක්, සන්නිවේදන මොඩියුලයක් Communication module, අකුණු සන්නායකයක්, සූර්ය බලශක්ති පැනලයක්, බැටරියක් හා ඉන්වේටරයක් සහ එක් එක් කාලගුණ පරාමිතී Parameters මැන ගැනීම උදෙසාවන විවිධ සංවේදක Sensors මගින් එය සමන්විත වේ. එකී නිරීක්ෂක පද්ධතියේ උපයෝගීතාව අනුව එය සතු සංවේදක වර්ග, දත්ත ගබඩාව වෙත රැහැන් මගින් හෝ රැහැන් රහිතව Wi-Fi or RF signals ක්‍රමවේද මත සම්බන්ධ කෙරේ. මෙම පද්ධතියක් සක්‍රීය කළ පසුව ස්වයංක්‍රීයව දත්ත රැස්කිරීම සහ සම්ප්‍රේෂණය කිරීම උදෙසා මෙම ඒකක සියල්ලම එක්ව ක්‍රියා කරයි.  ඒ අනුව කාලගුණ සංවේදක අඛණ්ඩව විවිධ කාලගුණ පරාමිතීන් නිරීක්ෂණය කර මනිනු ලබයි. සංවේදක මගින් එකතු කරන දත්ත බොහෝවිට ඇනලොග් සංඥා වන අතර, එය ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සඳහා සංඥා සකසනය වෙත එසැණින් යොමු කෙරේ. එහිදී සැකසූ ඩිජිටල් සංඥා තවදුරටත් සැකසීම සහ විශ්ලේෂණය සඳහා මධ්‍යම සැකසුම් ඒකකය CPU වෙත සම්ප්‍රේෂණය කෙරේ. පෙර සැකසූ ඇල්ගොරිතම සහ ආකෘති අනුව එක් එක් කියවීමේ දිනය සහ වේලාව සමඟ මෙම දත්ත එමගින් විශ්ලේෂණය කරයි. ඒ සමඟම, පසු භාවිතා කිරීම හෝ සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙලෙස සැකසූ දත්ත එහි අභ්‍යන්තර මතකයේ ගබඩා කරගැනීම ද සිදුකරයි. මෙසේ එකතු කරන ලද කාලගුණ දත්ත පසුව මධ්‍යම සේවාදායකයක Central Server වෙත හෝ අන්තර්ජාලය ඔස්සේ ඕනෑම දුරක සිටින, අවසාන පරිශීලකයින් End User වෙත සෘජුවම සම්ප්‍රේෂණය කෙරේ.

ඒ අනුව මෙම තොරතුරු කාලගුණ නිරීක්ෂකයෙකුහට හෝ කාලගුණ විද්‍යාඥයෙකුහට ස්වකීය පරිගණකය වෙත ලබාගැනීමට ද හැකියාව පවතීයි. එම තොරතුරු ලැබුණු පසු ඒවායෙහි ප්‍රවණතා සහ විෂමතා, පරිගණක වැඩසටහන් ඔස්සේ ස්වයංක්‍රීයව හෝ කාලගුණ විද්‍යාඥයින්හට භෞතිකව හෝ හඳුනාගැනීමට හා විශ්ලේෂණය කිරීමට හැකි වේ. එය වඩාත් සාක්ෂාත් කරගත හැකිවන්නේ, පවතින යටිතල පහසුකම් හා උපයෝගීකරගන්නා සන්නිවේදන ක්‍රමවේද GSM/GPRS/LTE පද්ධති වල ක්‍රියාකාරිත්වය පදනම් කරගෙනයි. මෙම දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලියේදී, දත්තවල ආරක්ෂාව සහ විශ්වනීයත්වය සහතික කිරීම සඳහා මෙවැනි කාලගුණ පද්ධතියක් / ඒකකයක් වුවද කේතනයකර සත්‍යාපනය කිරීම ඉතා වැදගත් වේ.

එසේම විශ්ලේෂණය කරන ලද එම තොරතුරු දර්ශනීය රූපමය සිතියම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමටද ඔවුන්හට හැකිවී තිබේ. මෙම තොරතුරු මෘදුකාංග යෙදුම් හරහා පර්යේෂකයින්හට, කෘෂිකර්ම වෘත්තිකයින්හට හා ජනමාධ්‍යකරුවන්හට පරිශීලක අතුරුමුහුණත් ඔස්සේ දැකබලා ගැනීමට ද සලස්වනු ලැබේ. එපමණක් නොව අදාල කාලගුණික තත්වයන් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයේ සිට ඕනෑම පරිශීලකයෙකු වෙත දැන ගැනීමට ද පහසුකම් සැලසිය හැකි වේ.

අවාසනාවකට මෙන් ගොවියෙකුගේ අවශ්‍යතා උදෙසා කාලගුණය පිළිබඳව පසු ගෙවුම් පදනම මත හෝ ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත හෝ දුරකථන ඇමතුම් හරහා අවශ්‍ය තොරතුරු  ලබාගැනීමට ඇති හැකියාව තවමත් මෙරට අවම මට්ටමක පවතීයි. එහෙයින් ගොවිතැනෙහි නිරතවන ඔබට ඔබගේ ගොවිපොළ ආශ්‍රීතව කුඩා පරිමාණයේ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරගැනීමට හැකිනම් එය වඩාත් ඵලදායී වනු ඇත. කුඩා හෝ විශාල පරිමාණයේ ගොවිපල උදෙසා වුවද මෙවැනි ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරගැනීමට පළමුව ඔබගේ අවශ්‍යතා සපුරා ගතහැකි හොඳම මාදිලිය හා මෝස්තරය තෝරා ගත යුතු ය. ඒ උදෙසා පළමු පියවර විය යුත්තේ ඔබගේ ගොවිපොළ කටයුතු සඳහා අවැසි කෘෂි කාලගුණික පරාමිතී තීරණය කිරීමයි. එසේම ඔබ ස්ථාපිත කිරීමට අදහස් කරන කාලගුණ සංවේදක පද්ධතියට අනාගතයේදී  ගොවිපොළ කටයුතු සඳහා වැදගත්වන තවත් අතිරේක සංවේදක එකතු කිරීම සඳහා පහසුකම් ඇති ආකාරයේ නිරීක්ෂණ පද්ධතියක් වීම වාසිදායක තෝරාගැනීමක් විය හැකි ය. ඕනෑම ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් අවම වශයෙන් සුළං වේගය හා දිශාව සහ පරිසරයේ උෂ්ණත්වය මැනීම සිදු කෙරේ. සම්මත මධ්‍යස්ථාන එකී මූලික පරාමිතී තුනට අතිරේකව වර්ෂාපතනය, ආර්ද්‍රතාව හා වායුගෝලිය පීඩනය කියවීම ද එකතු කරයි. මෙම තොරතුරු ඔබගේ ගොවිපොළ බෝග වගාවේ රෝපණ කටයුතු, ජලසම්පාදන කටයුතු හා සත්ත්ව පාලන කටයුතු සැළසුම්කර ඉදිරියට පවත්වාගෙන යාමට උපකාරීකරගත හැකිවේ.

  • සංස්ථාපනය

මෙලෙස කාලගුණ තොරතුරු ලබාගැනීම සඳහා බාහිර සංවේදක සහිත කුලුන පිහිටුවනු ලබන ස්ථානය අවට හොඳ නිරාවරණයක් පැවතීම ඉතා වැදගත් වේ. ස්වයංක්‍රීය කාලගුණ විද්‍යා  මධ්‍යස්ථානයක් සඳහා අවම වශයෙන් බාධක නොමැති මීටර් 18 x 15 විවෘත බිම් ප්‍රමාණයක් අවශ්‍යවන අතර, උත්ස්වේදන-වාෂ්පීකරණය පිළිබඳ නිසි ඇගයීමක් ලබාගැනීම සඳහා තෘණ හෝ උසට නොවැඩෙන බෝගය සහිත ගොවිපොළක නම් ඒ සඳහා මීටර් 15 x 15 පමණ වන විවෘත අවකාශයක් ප්‍රමාණවත් වේ. එහෙයින් ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නේ කුමන ස්ථානයක ද යන්න පළමුව නිගමනය කළයුතු වේ. විශේෂයෙන්ම මෙම කුලුන ස්ථාපනය කරනු ලබන ස්ථානය කඳු හෝ ආනත භූමි වෙතින් ද, උසට වැඩුණු හෝ වැඩෙන ගස් හෝ තට්ටු ගොඩනැගිලි වෙතින්ද, ඈත්වූ හෝ මුක්ත විවෘත බිමක් වීම වැදගත් වේ. නැතහොත් එවැනි බාධකයක උස මෙන් සිව්ගුණයක් ඊට ඈතින් මෙවැනි ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ කුලුනක් පිහිටුවීම කළ යුතුවේ. එසේම ජලාශයක හෝ ගංගාවක සිට මීටර 30 ක් දුරස්ව එය ස්ථාපිත කිරීමට සැලකිළිමත් විය යුතු වේ.

සාමාන්‍ය ස්වයංක්‍රීය කාලගුණ ඒකකයක් / පද්ධතියක් සඳහා පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයක් උදෙසා භාවිතවන ගොඩනැගිලි පහසුකම් අවශ්‍ය නොවේ. මෙවැනි ඒකකයක සිට මීටර 100 – 200 ක් පමණ දුර පරාසයක අදාල දත්ත සියල්ල ඔබගේ අවශ්‍යතාව මත ලබාගත හැකි අතර, එම තොරතුරු අවශ්‍ය  පරිශීලකයින් වෙත අන්තර්ජාලය ඔස්සේ යොමුකිරීමට ද හැකියාව ද පවතී. එය අනෙකුත් ගොවීන්ගේ සුබ සිද්ධියට ද හේතුකාරක වේ. එමෙන්ම වගා බිම් ප්‍රදේශ ආශ්‍රීතව කාලගුණ දත්ත සොයා බැලීමට සහ විශ්ලේෂණය කිරීමට විවිධ පුද්ගලයින් ඔබගේ ගොවිපොළ වෙත එළඹෙනු ඇත. අවැසිනම් මේ අනුව සජීවී කෘෂි-කාලගුණ වාර්තා වෙබ් අඩවියක් වුවද ගොවියෙකුහට පවත්වා ගෙන යාහැකි වේ. මක්නිසාදයත් ස්වයංක්‍රීය කාලගුණ ඒකකයක් පවත්වාගෙන යාමට සුවිශේෂී පරිගණක තාක්ෂණඥයෙක් වීමටද අවශ්‍ය නොවීම ඊට හේතුවයි.

එසේ වුවද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුනොකෙරේ නම්, මෙවන් පද්ධතියක පැන නැගිය හැකි දෝෂ මත අක්‍රමවත් දත්ත සැපයීම හේතු කොටගෙන විවිධ ගැටළු ඇති විය හැකි ය. එහෙයින් ස්වයංක්‍රීය කාලගුණ නිරීක්ෂණ ඒකකයට / පද්ධතියට අදාල සංවේදක, බැටරි, සන්නිවේදන උපාංග, සහ දත්ත කළමනාකරණ පද්ධති නිවැරදිව ක්‍රියාත්මකවීම සඳහා නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම අවශ්‍ය කෙරේ. සමහරවිටකදී මෙම උපාංග වෘත්තීයමය හැකියාව සහිත පුද්ගලයෙකු වෙතින් පරික්ෂාකර ගැනීමට, ප්‍රතිස්ථාපනයකර ගැනීමට හෝ මෘදුකාංග යාවත්කාලීන කරවා ගැනීමට අවශ්‍ය විය හැකි ය. කෙසේ වුවද මෙවැනි ඒකකයක් තම ගොවිබිමක ස්ථාපනයේදී ඒ උදෙසා වන ආයෝජනය හා කාලීන නඩත්තු අවශ්‍යතාවයන් වෙනුවෙන් වන පිරිවැය පිළිබඳව ගොවීන් තම අවධානය යොමුකළ යුතුවේ.

එමෙන්ම කාලගුණ දත්ත නිවැරදිව භාවිත කර විශ්වාසදායක තීරණ ගැනීම සඳහා එකී මෘදුකාංග සහ දත්ත පද්ධති සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව වන තාක්ෂණික දැනුම, ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය සහ දත්ත කළමනාකරණ හැකියාව ලබාතිබීම ගොවීනට වැදගත් වේ. මේ උදෙසා ඊට අදාළ වෘත්තීයමය පුහුණු සැපයීම මෙන්ම එවැනි අවස්ථා උදෙසා ඉඩකඩ විවරකරදීම මෙම ක්ෂේත්‍ර හා සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ගේ වගකීම හා යුතුකම ද වේ. නැතහොත් මෙවැනි පද්ධතියක් ඇසුරෙන් සම්පූර්ණ ප්‍රතිලාභ අත්පත් කරගැනීමට ඇති හැකියාව අවම වනු ඇත.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website