කඳුකරයේ ආපදා හානි අවම කර ගැනීම සඳහා ජාතික භෞතික සැලසුමෙන් පෙන්වා දෙන ක්‍රියාමාර්ග මොනවාද ?

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 256 වැනි කතිකාව පසුගිය ඉරිදා  ‘කඳුකරයේ ආපදා හානි අවම කර ගැනීම සඳහා ජාතික භෞතික සැලසුමෙන් පෙන්වා දෙන ක්‍රියාමාර්ග මොනවාද ?’ යන තේමාව යටතේ පැවැත් වුණේ ය. මහාචාර්ය ජගත් මුණසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නියෝජ්‍ය සභාපති, නීතිඥ භාරත් අරුල්ස්වාමි, නාගරික සැලසුම් ශිල්පී සහන් තෙන්නකෝන් යන සම්පත්දායකයින් මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ ය. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවදානම ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 22කටම දැඩි බලපෑමක් කළ අතර ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගල මරණ 646ක් වාර්තා වූ අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 174කි.

සුළි කුණාටුවේ බලපෑම හමුවේ මධ්‍යම පළාතේ, විශේෂයෙන් මහ නුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල නායයෑම් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ දිවයින පුරා මහා පරිමාණ නායයෑම් 1450කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

නායයෑම් හේතුවෙන් සිදු වූ මානව හා භෞතික සම්පත් විනාශය හමුවේ යළි මෙවැනි ව්‍යසන ඇති නොවීමට ගත යුතු පියවර ගැන සාකච්ඡාවක් සිදු වූ අතර අඩි 5000ට ඉහළින් ඉදිකිරීම් නොකිරීම හා තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීම් සම්බන්ධ යෝජනා මෙන්ම, ක්‍රියාවට නැංවීමට අපහසු හා යථාර්ථවාදී නොවන, අවිද්‍යාත්මක යෝජනා ද මේ අතර ඉදිරිපත් විය.

ජාතික භෞතික සැලසුම

මධ්‍ය කඳුකරයේ සහ නායයෑමේ අවම කර ගැනීමට හෝ හානි අවම කර ගැනීමට නම් ‘විද්‍යාත්මක විසඳුම්’ සොයා යාම අත්‍යවශ්‍ය වන නමුත් නායයෑමේ අනතුරුවලට ‘සංවේදී කලාප’ සම්බන්ධයෙන් අලුතින් සමීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් ද නොපවතී. ඊට හේතුව වන්නේ ‘ජාතික භෞතික සැලැස්ම’ දීර්ඝ කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වීමය. ජාතික භෞතික සැලැස්ම සකස් කිරීම පිණිස 2000 අංක 46 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධිත පනතින් 1946 අංක 13 දරණ නගර සහ ග්‍රාම නිර්මාණ ආඥා පනත සංශෝධනය කර 2000 වර්ෂයේ දී ‘ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව’ පිහිටුවන ලද අතර ප්‍රථමයෙන්ම මෙරට ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ.

2019 දී ඉදිරිපත් කරන ලද ජාතික භෞතික සැලැස්මේ ‘බිදෙන සුළු පාරිසරික කලාප /Fragile ecological zones’ යනුවෙන් කලාපයක් වෙන් කර ඇති අතර මෙම කලාපයට මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන පමණක් නොව කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ ද යම් කොටසක්  බිදෙන සුළු පාරිසරික කලාප අතරට එක්කර  තිබේ.

“ජාතික භෞතික සැලසුම කියන්නේ ජාතික වස්තුවක් කියලා මම හිතනවා. මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු අදාළ විෂය ගැන සංවේදී පාර්ශ්වයන් දැනුවත්ව සිටිය යුතුයි” ජාතික භෞතික සැලසුම සහ එහි අදාළත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසුවේය.

මහාචාර්ය ජගත් මුණසිංහ මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ නගර සහ ග්‍රාම සැලසුම් දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

ආපදාවකදී යළි නැගී සිටීමට පමණක් නොව ජාතියක් වශයෙන් නැගී සිටීමට ද රටක සැලසුමක් අවශ්‍ය වේ. ඒ අනුව ආර්ථික සැලසුම්, සමාජයීය සැලසුම්, පාරිසරික සැලසුම් ආදි වශයෙන් විවිධාකාරයේ සැලසුම් තිබුණ ද මේ සියලු සැලසුම් භූමිය මත ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරණයක් අවශ්‍ය වේ. මේ අනුව ජාතික භෞතික සැලසුම සැලසුම්කරණයේ කේන්ද්‍රීය සාධකයක් බවට පත්වේ.

ජාතික භෞතික සැලසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී වැදගත් කරුණු තුනක් වටහා ගත යුතුය. ඒවා නම්,

  1. ජාතික භෞතික සැලසුම ආපදාවලින් ගැළවීමට පමණක් සකස් කරන ලද්දක් නොවේ. එය අප සතු සම්පත්වලින් උපරිම ප්‍රායෝජන ගැනීමට, අප වටා තිබෙන සියලු ආකාරයේ සම්පත් ප්‍රශස්ත සම්බන්ධීකරණයකට ලක් කිරීමට සම්පාදනය කරන ලද්දක් වේ. ඒ අනුව ආපදාව යනු ජාතික භෞතික සැලසුමක එක් කරුණක් පමණය.
  2. ජාතික භෞතික සැලසුම සකස් කර ඇත්තේ ලංකාව සහ ලංකාව වටා පිහිටි මහද්වීපික තටාකයත් සැලකිල්ලට ගෙනය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ ජාතික භෞතික සැලැස්ම මධ්‍ය කඳුකරය පමණක් නොව ශ්‍රී ලංකාව සතු සමස්ත භූමියම සැලකිල්ලට ගෙන ඇති බවය.
  3. විවිධ මට්ටම් වල සැලසුම් දැකගත හැකිය. එය පළාත් මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පුළුල් පරාසයක් ගත හැකිය.

“මේ එක් එක් සැලසුම්වලට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ජාතික භෞතික සැලැස්ම ඊට වඩා පුළුල් ජාතික තලයේ එකක්. ජාතික තලයේ සැලසුමක් සකස් කරන විට ඒක සැලසුම් කරන්නේ ‘ප්‍රතිපත්තිමය රාමුවක් / policy framework’ තුළයි. එය නාගරික හෝ ග්‍රාමීය මට්ටමේ සැලසුමක් මෙන් සවිස්තරාත්මක භූමි සැලසුමක් නොවෙයි. අන්න ඒ කාරණය අපි තේරුම් ගත යුතුයි” කතිකාවට පුළුල් ශක්තිමත් පදනමක් දමමින් මහාචාර්ය ජගත් මුණසිංහ අවධාරණය කළේය.

මෙහිදී මහාචාර්ය ජගත් පෙන්වා දුන්නේ ජාතික භෞතික සැලසුම පිළිබඳව නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැති පුද්ගලයින්ගේ හෝ සංවිධානය එහි හරය වටහා ගැනීමකින් තොරව, එය කියවීමකින් පවා තොරව ජාතික භෞතික සැලසුම විවේචනය කරන බවයි, ඊට එරෙහිව විරෝධතාවල නිරත වීම සිදු වූ බවයි. මේ හේතුව නිසා ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක තලයට ගෙන ඒමේ දී සවිස්තරාත්මක අනු සැලසුම්වල අවශ්‍යතාව මහාචාර්ය මුණසිංහ පෙන්වා දුන්නේය.

නෛතික පසුබිම

ඔ්නෑම සැලසුමක් ක්‍රියාත්මක කිරීමට නම් එයට නෛතික පසුබිමක් තිබිය යුතුය. ඒ අනුව ජාතික භෞතික සැලැස්ම ද නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනතට 2000 අංක 49 දරණ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනතින් නෛතික බලය ලබා ‌ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය මුණසිංහ, “2000 අවුරුද්දේදී පමණ රජය තේරුම් ගත්තා රටේ සිදුවන සංවර්ධන කටයුතුවල ඒකාත්මිකභාවයක්, තිරසරභාවයක් නැති බව.  ඒ නිසා තනි තනි ආයතන, වෙන වෙනම සංවර්ධන කටයුතු කරනවාට වැඩිය මේ සියල්ල එක්කර තනි භෞතික සැලසුමක් සකස් කළ යුතුයි කියල රජය කල්පනා කළා. ඒ අනුව 2000 දී එවකට පැවැති 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත නැවත සංශෝධනය කරලා ‘ජාතික භෞතික සැලසුමක් සකස් කළ යුතුයි’ කියන වගන්තිය ඇතුළත් කළා. මේ පනත තුළම අදාළ සැලසුම සකස් කළ යුතු ආකාරය, එයට ඇතුළත් කළ යුතු කරුණු, ආමන්ත්‍රණය කළ යුතු ආකාරය ගැන සඳහන් වෙනවා. එය ඉතාම පැහැදිලි ක්‍රියාවලියක් සඳහන් කර තිබෙනවා. ඒ නිසා කිසිම විවේචකයෙකුට ජාතික භෞතික සැලසුම ‘පදනමක් නැති දෙයක්’ ලෙස විවේචනය කළ නොහැකියි”.

මෙහිදී මහාචාර්ය මුණසිංහ අවධාරණය කළේ ජාතික භෞතික සැලැස්ම යම්කිසි ක්‍රියාවලියක් තුළ ක්‍රියාත්මක වන බවයි. ජාතික භෞතික සැලසුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ජාතික භෞතික සැලසුම් සභාව විසින් අදාළ ආඥාව නිකුත් කළ යුතු අතර, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ පාර්ශ්වයන් කැඳවීමක් කර ඔවුන්ගෙන් තොරතුරු ලබා ගත යුතුය.

“මේකට ලොකු උපදේශන ක්‍රියාවලියක් තියෙනවා” මහාචාර්ය මුණසිංහ පෙන්වා දුන්නේය.

“අපි මේ ගැන සෑහෙන පිරිසක් සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ අදහස් ලබා ගෙන, අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටු වල අදහස් ද ලබාගත යුතුයි. ඔවුන්ගෙන් ද ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර, ඊට පසුව තාක්ෂණික කමිටුවේ ද (මේ පිරිස අදාළ විෂය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පත්කරන ලද විශේෂඥයින්ය) අදහස් ලබා ගත යුතයි. මේ ක්‍රියාවලිය තවත් ඉදිරියට යනවා. ඊට පසුව විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සමාජ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු  කණ්ඩායම් සමඟ කණ්ඩායම් සාකච්ඡා  කළ යුතුයි. මේ දීර්ඝ ක්‍රියාවලියෙන් පසු, ජනාධිපතිවරයා විසින් පත් කරන ජාතික භෞතික සැකසුම් සභාවට මේක ඉදිරිපත් කළ යුතුයි. මෙම ක්‍රියාවලියෙන් පසුව තමයි ජාතික භෞතික සැලසුම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒ අනුව තමයි  2019 දී ජාතික භෞතික සැලසුම යාවත් කාලීන කිරීම සිදු වුණේ”

මෙහිදී මහාචාර්ය ජගත් මුණසිංහ පෙන්වා දුන්නේ 2027 දී නිර්මාණය කළ  පළමු ජාතික භෞතික සැලසුම 2011 දී ගැසට් කරන ලද බවයි.

“මෙවැනි සැලසුමක කාලය සාමාන්‍යයෙන් වසර 10ක් පමණ වෙනවා. ඒකට හේතුව තමයි සමාජය පරිණාමය විම, තාක්ෂණය දියුණු විම, ජාතික අවශ්‍යතා වෙනස් වීම, දේශපාලන ප්‍රවණතා ආදිය හේතුවෙන් ජාතික භෞතික සැලසුමක් වසර 10කට වරක් යාවත්කාලීන කළ යුතුයි. ඒ අනුව තමයි 2007 දී නිර්මාණය කළ සැලසුම අපි 2019 දී යාවත් කාලීන කරන්නේ. මේ වන විට යළිත් ජාතික භෞතික සැලසුම යාවත්කාලීන කරමින් සිටිනවා” මහාචාර්ය ජගත් මුණසිංහ කීවේය.

ප්‍රතිපත්ති හතරක්

ජාතික භෞතික සැලසුමක් නිර්මාණ කිරී‌මේ දී මූලික ප්‍රතිපත්ති හතරක් වෙත අවධානය යොමු කෙරේ. ඒ අනුව,

  1. සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ- සංරක්ෂණය කළ යුතු මර්මස්ථාන, සමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන ඇතැම් සම්පත් සහ ඇතැම් ප්‍රදේශ ජාතික භෞතික සැලසුම යටතේ සංරක්ෂණය කළ යුතුය. ඒ සඳහා ‘කවර හෝ මිලක්’ ගෙවීමට වුව ද සූදානම් විය යුතුය.
  2. ඔ්නෑම රටක් දියුණු වීමට නම් එරට ජනතාව සෞඛ්‍යසම්පන්න විය යුතුය. ඔවුන් සෞඛ්‍යසම්පන්න වීමට නම් ‘ජීවත් වීමට සුදුසු’ පරිසර තත්ත්වයන් තුළ වාසය කළ යුතුය. මෙහිදී ‘බලහත්කාරයෙන් නැවත පදිංචි කිරීමක්’ අපේක්ෂා නොකෙරේ. ඔවුන් අදාළ ප්‍රදේශ වෙත ආකර්ෂණය කර ගැනීමට පියවර ගත යුතුය. (රැකියා සහ යටිතල පහසුකම් ලබාදීම තුළින්)
  3. ප්‍රායෝජනයට ගත හැකි පරිසර සම්පත් මෙන්ම ඌන උපයෝගී යටිතල පහසුකම් ද රට තුළ පවතී. මෙවැනි යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට පියවර ගත යුතුය. මෙහි සරල අදහස වන්නේ ‘ප්‍රශස්ත මට්ටමින් අපසතු සම්පත් ප්‍රයෝජනයට ගැනීමය.
  4. භාවිතයට නොගත් සංවර්ධන විභවයන් හඳුනා ගැනීම සහ ඒවා උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට ද අවධානය යොමු ක යුතුය.

“මෙන්න මේ ප්‍රතිපත්ති හතර මත සිට තමයි ජාතික භෞතික සැලසුම සකස් කරලා තියෙන්නේ’ මහාචාර්ය ජගත් මුණසිංහ පැවසුවේය.

ජාතික භෞතික සැලසුම සිතියම් ගත කිරීමේ දී අති සංවේදී කලාප (ජීවත් වීමට නුසුදුසු) සිතියම් ගත කර ඇති බව පෙන්වා දුන් මහාචාර්ය මුණසිංහ ශ්‍රී ලංකාව තුළ එවැනි අති සංවේදී පරිසර පද්ධති ගණනාවක් තිබෙන බව ද පැහැදිලි කළ‍ේය.

“අපේ මානව සම්පත්, ජල සම්පත, වනජීවි සම්පත් සහ පරිසර සම්පත් රැක ගන්න නම් අපි මේවා උපරිම ලෙස සංරක්ෂණය කළ යුතුයි” ඔහු අවධාරණය කළේය.

මෙහි මහාචාර්ය මුණසිංහ යළි අවධාරණය කළේ ජාතික භෞතික සැලසුම පූර්ණ අධීක්ෂණයක්, පුළුල් සංවාදයක් සහ සහභාගීත්වයක් තුළ සංවර්ධනය කළ එකක් බවයි.

“මෙහිදී තවත් කරුණක් අවධානයට ලක් කළ යුතුයි. ලංකාව තුළ පිහිටා තිබෙන සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ජනශූන්‍ය කළ යුතු බව කිසිසේත් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ එම භූමිය සංරක්ෂණය කළ යුතු බව පමණයි” මහාචාර්ය ජගත් මුණසිංහ තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද ප්‍රකාශ කළේය, “මේ ආකාරයෙන් මෙම ප්‍රදේශ සංරක්ෂණය වෙනවා නම් අනාගතයේ දී ජනතාව පදිංචි කළ යුත්තේ කොහෙද ?, කියන කාරණය ගැනත් ජාතික භෞතික සැලසුම අවධානය යොමු කර තිබෙන අතර එම භූමි සිතියම් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ වගේම අනාගතයේ දී සංවර්ධනය කළ යුතු යටිතල පහසුකම් ආදිය සම්බන්ධ සියලු තොරතුරු ද මේ සැලසුම යටතේ දක්වා තිබෙනවා”.

ුකරයේ අවදානම

මෙහිදී ජාතික භෞතික සැලසුමේ සිතියම් ඇසුරින් මහාචාර්ය මුණසිංහ පෙන්වා දුන්නේ පසුගිය දිනවල විශාල වශයෙන් නායයෑමට ලක් වූ මධ්‍ය කඳුකරයේ ප්‍රදේශ සම්බන්ධයෙන් නිරවුල් පැහැදිලි කිරීමක් ජාතික භෞතික සැලසුම හරහා ලබාගත හැකි බවත් ඒවා ‘සංරක්ෂණය කළ යුතු ප්‍රදේශය’ ලෙස ජාතික භෞතික සැලසුමේ දක්වා තිබූ බවත්ය.

‘මධ්‍ය කඳුකරය ඇතුළු ප්‍රදේශයට අපි කියනවා ‘මධ්‍ය බිදෙන සුළු කලාපය’ කියලා. ඒකට මහ නුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ මොනරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසකුත්, රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල කොටසක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේලත් ඇතුළත් වෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටසක් සහ දකුණු පළාතේ දෙනියාය ප්‍රදේශයේ කොටසකුත් මේකට ඇතුළත් වෙනවා”යැයි කී මහාචාර්ය මුණසිංහ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විටත් අදාළ ප්‍රදේශ හඳුනා ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

“මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය තමයි මෙවැනි අවධානමක් හඳුනා ගෙන සිටියදීත් ව්‍යසනයක් වෙනතුරු හිටිය එක” මහාචාර්යවරයා කීවේය.

“අවුරුදු දහයකට පමණ කලින් අපි මේ බව දැන ගෙන හිටියත් මේ ව්‍යසනය වෙන තෙක් අපි ඇයි මේ ගැන අවධානය යොමු නොකළේ. එහෙම කළා නම් මේ ව්‍යසනය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට අපට හැකියාව තිබුණා. මේක අවාසනාවන්ත තත්ත්වයක්” මහාචාර්ය ජගත් මුණසිංහ පැවසුවේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ‘අධි අවදානම්’ ලෙස නම් කළ ප්‍රදේශ රැසක මහ නුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව පදිංචි වී සිටිති.  මෙම ජනතාව කැමැත්තෙන් මේ ස්ථානවල පදිංචි වූ ජනතාව නොවන අතර බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වතු වගාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවන් විසින් මේ ජනතාව අදාළ ස්ථානවල පදිංචි කර ඇත.

මෙම ජනතාව අධි අවදානම් කලාපවලින් ඉවත් කරන වෙනත් ප්‍රදේශවල යළි පදිංචිකරවන ලෙස දීර්ඝ කාලයක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ ඉල්ලීමට බලධාරීන් අවධානය යොමු කර නැත.

“අවාසනාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හෝ අදාළ අමාත්‍යාංශවලින් අපේ ගැටලුවට හෝ ඉල්ලීම්වලට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ” කතිකාවට එක් වෙමින් නීතිඥ භාරත් අරුල්ස්වාමි පැවසුවේය.

මේක වතු ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි

“මේ ආණ්ඩුව පමණක් නොවෙයි මේ දක්වා බලයට පත් වුණ හැම ආණ්ඩුවක්ම කල්පනා කළේ මේක වතු හාම්පුතුන්ගේ සහ වතු කම්කරුවන්ගේ ප්‍රශ්නයක් මිස රටේ, දේශීය ප්‍රශ්නයක් නොවෙයි කියලා.  නමුත් පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ මේක වතු ජනතාවගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි සමස්ත රටටම අදාළ ප්‍රශ්නයක් කියලා රටට පැහැදිලි වුණා” යැයි කී භාරත් සෑම ගැටලුවකටම සැලසුම් තිබුණ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ දී බරපතළ දුර්වලතා පවතින බව කීවේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු වතු ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග පැහැදිලි කරමින් නීතිඥ භාරත් පැවසුවේ පවුල් 4000කට අධික පිරිසක් අවතැන්ව සිටින බවත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට නැවත වතුවල පදිංචි විමට හැකියාවක් නොමැති බවයි.

“ඒත් ප්‍රශ්නය තවම තිබෙනවා. මේ ජනතාව යළි පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ නැහැ” ඔහු පෙන්ව දුන්නේය.

“අයවැයට මාස දෙකකට පමණ පෙර නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා අප සමඟ සාකච්ඡා කළා. එහිදී එතුමා පෙන්වා දුන්නා ලංකාවේ වර්ග කිලෝ මීටර් 65,610ක් තිබුණත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් එයින් වර්ග කිලෝ මීටර් 10,0000කට ආසන්න ප්‍රමාණයක් කියලා. මේක වැදගත් තොරතුරක්. නිසි සැලසුමක් නොතිබුණොත් අපට මේ ඉඩම්වලින් ප්‍රයෝජන ගන්න නොහැකියි. ඒනිසා වතු වලට මහල් නිවාස හදා දෙන සැලසුමක් එතුමා ඉදිරිපත් කළා. මෙහි දී අපි කිව්වා, වතු වලට පමණක් නෙවෙයි මුළු රටටම ජාතික නිවාස සැලසුමක්, ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. එවැනි ජාතික සැලසුමක්, ප්‍රතිපත්තියක් නොමැතිව අපට ඉදිරියට යා නොහැකි බව අපි පෙන්වා දුන්නා. අවදානම් ස්ථානවල නිවාස හදාගෙන යළි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට අපි සූදානම් නැති බව අපි පෙන්නලා දුන්නා. අපි යෝජනා කරන්නේ සිංගප්පූරුවේ වාගේ මහල් නිවාස සංකීර්ණ ආකෘතියක්” භාරත් වැඩි දුරටත් පැහැදිලි කළේය.

මෙහිදී නීතිඥ භාරත් අරුන්ස්වාමි අවධාරණය කළේ ආපදා අවස්ථාවේ දී පමණක් ජාතික නිවාස ප්‍රතිපත්තියක් ගැන කතා කිරීම ඵල රහිත ක්‍රියාවක් බවත් එය ‘ජාතික ප්‍රශ්නයක්’ ලෙස සලකා විසඳුම් සෙවිය යුතු බවත්ය. විශේෂයෙන් දේශගුණික විපර්යාල අවධානම ඉහළ යාම සමඟ ඉදිරියේ දී තත්ත්වය තව දුරටත් සංකීර්ණ විය හැකි බව නීතිඥ භාරත් අරුල්ස්වාමි පෙන්වා දුන්නේය.

යළිත් වතු ජනතාව මුහුණ දෙන ආපදා අවධානම ගැන පැහැදිලි කරමින් ඔහු අවධාරණය කළේ වතුකරයේ ජනතාව ස්ව කැමැත්තෙන් අධි අවදානම් කලාපවල පදිංචි වී නොසිටින බවයි.

“අපිට වෙනත් විකල්පයක් නැහැ ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීමට. අපි දිගින් දිගටම මේ ගැන ඉල්ලීම් කළා. ඒත් කිසිම ආණ්ඩුවක් අපේ ඉල්ලීම්වලට කන්දෙන්නේ නැහැ ඔවුන් හිතන්නේ මේක වතුහාම්පුතුන් සහ වතුකම්කරුවන් අතර ප්‍රශ්නයක් කියලා. මේක වැරදි අදහසක්. දැන් වුණත් මේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න කාලය තිබෙනවා” නීතිඥ භාරත් යළි අවධාරණය කළේය.

පවුල් 20,000,000ක් පීඩාවට පත් කළ, පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් මරණයට පත් කළ පමණක් නොව දිස්ත්‍රික්ක 22/25ක් ආපදාවට ලක්කළ දිට්වා සුළි කුණාටුව කිසිසේත් ‘ස්වභාවික ආපදාවක්’ පමණක් ලෙස සලකා ලඝු කළ නොහැකිය. එය සරලව පැහැදිලි කරන්නේ නම් රටේ සමස්ත ජනගහනයෙන් 10%ක් පීඩාවට පත් කළ ආපදා තත්ත්වයකට ලංකාව මුහුණ දුන්නේය. දිට්වා සුළි කුණාටුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක භෞතික හානියක් සිදු වූ අතර රටේ යටිතල පහසුකම්වලට සිදු වූ හානිය එක්සත් ජනපද ඩොලර් 1.73ක් ලෙස ලෝක බැංකුව විසින් ගණනය කර ඇත.

“දිට්වා සුළි කුණාටුවෙන් ඇති වුණ ආර්ථික හා සමාජයීය හානිය අපට පහසුවෙන් දරා ගන්න බැහැ. නමුත් මේ සමඟ අපට ඇති වුණ ප්‍රශ්නය තමයි ‘මේ වාගේ දැවැන්ත හානියක් වළක්වා ගැනීමට අපට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නැද්ද ? කියන කාරණය. මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා උපකල්පනය කරන්න තරම් ප්‍රමාණවත් දත්ත අපි සතුව නැද්ද ?, යම්කිසි යාන්ත්‍රණයක්, ක්‍රමවේදයක් අප සතුව නැද්ද කියන කාරණය අපි යළි යළි කල්පනා කළා. මේක තරුණ ප්‍රජාව ලෙස අපටත්, පොදුවේ රටේ ජනතාවටත් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්” කතිකාවට එක් වෙමින් සහන් තෙන්නකෝන් පැවසුවේය.

ප්‍රශ්න පිට ප්‍රශ්න

මෙවැනි ආපදාවක් සිදුවන බව උපකල්පනය කිරීමට තරම් දත්ත සහ එයට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් යාන්ත්‍රණයක් අප සතුව තිබුණේ නම් ඒවා ක්‍රියාත්මක නොවූවේ හෝ ප්‍රමාණවත් නොවූවේ ඇයි ? යන ප්‍රශ්නය ඊළඟ ඇති වන බව සහන් කීවේය.

“මෙන්න මේ ගැටලු දෙකට තමයි  උත්තර අවශ්‍ය වෙන්නේ” සහන් තෙන්නකෝන් සඳහන් කළේය.

“මම හිතන ආකාරයට ජාතික භෞතික සැලසුම කියන්නේ මම ඉහතින් සඳහන් කළ ගැටලු දෙකටම පිළිතුරු ලබා දෙන්න පුළුවන් උපකරණයක්. ඒ ව‌ගේම මෙවැනි අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන් යාන්ත්‍රණ අප සතුව තිබනවා” සහන් තෙන්නකෝන් උදාහරණ සහිතව තම මතය තහවුරු කළේය.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානය 2019 දී වාර්තාවක් නිකුත් කළා. එම වාර්තාව පැහැදිලිව සඳහන් කරනවා, ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක්, වර්ග කිලෝ මීටර් 13,000කට අධික ප්‍රමාණයක් නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ කියලා. මෙහිදී නායයෑමේ අවදානම සහිත ප්‍රදේශයක් හඳුනා ගන්නේ කොහොමද ? කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවට දත්ත නැද්ද, මේවා සිතියම් ගත කරලා නැද්ද ? කියන ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට ගියොත් මේ ගැටලුව පහසුවෙන් නිරාකරණය කර ගන්න පුළුවන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 10ක්  හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේම අදාළ දිස්ත්‍රික්කය තුළත් ‘වඩාත් අවදානම්’ ප්‍රදේශ හඳුනා ගෙන තිබෙනවා. මෙහිදී ඔවුන් පැහැදිලිව අවධාරණය කරනවා අදාළ ස්ථානවල පදිංචි වුණොත් ජීවිත හා දේපොළ හානි වෙන්න පුළුවන් කියලා.  මේ අනුව අපට මනාව පැහැදිලි වෙනවා අපි මේවා හඳුනා ගෙන තිබෙනවා,  විශ්ලේෂණය කර තිබෙනවා.  දියුණු රටවල් තරමට නැති වුණත් අපට පුළුවන් තරමට අපි මේ කටයුතු කරලා තියෙනවා, අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය තරම් දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙනවා” සහන් තෙන්නකෝන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

ප්‍රතිපත්ති සම්පාදනය

මෙහිදී සහන් තෙන්නකෝන් පෙන්වා දුන්නේ ජාතික භෞතික සැලැස්ම හරහා ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය මග පෙන්වීම් ලබා දෙන බවයි.

“මේ ප්‍රදේශවල පදිංචි කිරීම ආවධානම්  කියලා ප්‍රතිපත්තිමය වශයෙන් මාර්ගෝපදේශ ලබාදී තිබෙනවා. මේකෙන් කියන්නේ කුමක් ද ? නායයෑම් වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් දත්ත අප සතුව තිබිලා තියෙනවා. මේ දත්ත නිසි පරිදි භාවිතා කරමින් නිවැරදිව ජනාවාසකරණය නොකළ එක තමයි ගැටලුව” සහන් තෙන්නකෝන් පෙන්වා දුන්නේය.

ගංවතුර තත්ත්වයට මුහුණ දීමේ දී අනුගමනය කළ යුතු වඩාත්ම තිරසර මාවත පැහැදිලි කරමින් සහන් පැවසුවේ ගංගාවකට වැසි සමයේ ලැබෙන ජල අතිරිත්තය පහසුවෙන් බැහැරට ගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

මෙවැනි ස්වභාවිත ආපදාවන්ට සාර්ථකව හා තිරසර ලෙස මුහුණ දීමට අවශ්‍ය දැනුම හා හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව යළි යළිත් අවධාරණය කළ සහන් තෙන්නකෝන් පෙන්වා දුන්නේ තාක්ෂණය සම්බන්ධයෙන් යම්කිසි දුර්වලතා තිබිය හැකි වුවත් ප්‍රමාණවත් දත්ත හා අවශ්‍ය යාන්ත්‍රණයක් තිබියදීත් දිට්වා වැනි ව්‍යසනයකට සාර්ථකව මුහුණ දීමට ලංකාවට නොහැකි වූයේ මෙරට ‘භූමි පාරිභෝජනයේ’ පවතින ගැටලු හේතුවෙන් බවයි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website