ලංකාවට එන්නේ හිඟන සංචාරකයින් ද ? මේ විවේචනය ඇත්තක් ද ?

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය වන්නේ සංචාරකයෙක් මෙරට තුළ වැය කරන මුදල හෝ රැඳී සිටින දින ගණන නොව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ධාරිතාවය හෙවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිරිස කලාපීය වශයෙන් අඩු අගයක් ගැනීම තුළ බව Advocata පෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් ලෙස දීර්ඝ කාලයක් පුරා සැලකෙන්නේය. ඒ අනුව සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ එහි තිරසාරභාවය වෙනුවෙන් පසුගිය ආණ්ඩු ගත් අඛණ්ඩ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ දී මෙරට විදේශීය සංචාරකයින් 2,333,796 දෙනකු පැමිණි අතර එය එතෙක් ඉහළම සංචාරක පැමිණීම් සංඛ්‍යාව විය.

එහෙත් 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය (ගෝල්ෆේස් අරගලය) හේතුවෙන් සංචාරක පැමිණීම් වේගයෙන් පහළ ගියේය. එහෙත් 2022 දී දේශපාලන ස්ථාවරභාවය යළි තහවුරු වීම, ආර්ථික අර්බුදය සමහන් වීම සමඟ සංචාරක ව්‍යාපාරය යළි සක්‍රීය වූ අතර එහි කූඨප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 වැනිදා සිදුවිය. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිස, එනම් සංචාරකයින් 2,333,797 දෙනකුගේ පැමිණීම වාර්තා කිරීමට එදින ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයේ දී අත්පත් කර ගනිමින් සිටින මෙම ජයග්‍රහණ හමුවේ කර්මාන්තයේ ඵලදායීතාවය, තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු ගැටලු, අභියෝග සහ ප්‍රවණතා ගැන සංචාරක ක්ෂේත්‍රය තුළ සංකීර්ණ අදහස් තිබේ. මේ සම්බන්ධයෙන් පුළුල් විමසීමක් මෙරට ස්වාධීන ප්‍රතිපත්ති චින්තන පර්ශදයක් වන (Independent Policy Think Tank) Advocata Institute කළේය.  එහිදී Advocata පෙන්වා දුන්නේ 2025 වර්ෂය ආරම්භයේ දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් අපේක්ෂා කළ ඉලක්ක වෙත ළඟා වීමට අසමත්ව ඇති බවයි.

“2025 දී අපේ බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකාවට සංචාරකයෝ මිලියන තුනක් පමණ එයි කියලා. එහි අවමය ලෙස ලක්ෂ 26ක් පමණ පැමිණෙයි කියලා අපි ගණන් බලා තිබුණා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ වැදගත්ම සාධකය, ඉපැයීම් ගැන අපි වඩාත් උනන්දු වුණා. 2018 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.38ක ආදායමක් ලබා ගත්තා. 2023 දී අපි සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2.07ක් උපයා ගත් අතර 2024 දී එය ඩොලර් බිලියන 3.17ක් දක්වා වර්ධනය වුණා. ඒ අනුව 2025 දී අපි ඩොලර් බිලියන පහක් (05) අපේක්ෂා කළා.  නමුත් අපි ඒ ඉලක්කය කරා ළඟා වුණේ නැහැ. ඒ කියන්නේ අපේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් සිදු වුණත් අපි අපේක්ෂා කළ වර්ධනය සිදු වුණේ නැහැ. 2025 වර්ෂයේ මුල් මාස 10 තුළ අපි සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 2.65ක් පමණයි. 2025 අවසාන වන විට මේ අගය කෙසේවත් ඩොලර් බිලියන 05ක් දක්වා ළඟා වෙන්නේ නැහැ. ඒ කියන්නේ 2025 දී සංචාරක පැමිණීම් සංඛ්‍යාත්මකව 2018 ඉක්මවා ගිය ද 2018 දී උපයා ගත් ආදායමෙන් 60%ක් දක්වාවත් ආදායමක් උපයා ගන්නේ නැහැ ” Advocata පෙන්වා දුන්නේය.

මෙහිදී Advocata පෙන්වා දුන්නේ මිලියන 2.6ක අවම ඉලක්කය කරා යාමක් ගැන තිබූ අපේක්ෂා දිට්වා සුළි කුණාටුව හමුවේ අභියෝගයට ලක් වූ බවයි.

  • යථා ස්වභාවය දැන ගන්න

මෙහිදී Advocata පෙන්වා දුන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ ඵලදායීතාවය සහ අනාගතය සම්බන්ධයෙන් රජය, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්තයේ පාර්ශ්වකරුවන් පමණක් නොව පොදු ජනතාව පවා නිවැරදි වැටහීමක් ලබාගත යුතු බවයි.

“ප්‍රවෘත්තිවල කියන තරම් සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් ඇත්තටම නැහැ. අපි හිතන තරම් සංචාරයෝ ලංකාවට එන්නේ නැහැ, ඒ වගේම අපි හිතන තරම් සංචාරකයෝ අපේ රට තුළ දී වියදම් කරන්නේ නැහැ” Advocata යළි අවධාරණය කළේය.

සංචාරක මණ්ඩලයේ නිල වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර බහුතර නියෝජනය කරන්නේ ඉන්දියාවයි. ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනයයි. ශ්‍රී ලංකාවේ සංචාරක සංයුතිය තුළ 90%ක් ආසියාව සහ යුරෝපයට හිමවන අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් සාමාන්‍යයෙන් දින අටක් (08) මෙරට ගත කරන අතර දිනකට වැය කරන සාමාන්‍ය ඩොලර් 180කි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් මෙරටේ දී වැය කරන ඩොලර් ප්‍රමාණය සහ රැඳී සිටින දින ගණන අඩු බවට සුලභ වි‍වේචනයක් තිබුණ ද දත්තවලින් පවසන කතාව ඊට වඩා වෙනස්ය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 180ක් පමණ වැය කරද්දී තායිලන්තයට පැමිණෙන සංචාරකයෙක් දිනකට ඩොලර් 140-160ක් ද, වියට්නාමයේ ඩොලර් 110-130ත් අතර, බාලි ඩොලර් 90-110ත් අතර, මැලේසියාවේ දී ඩොලර් 120-140ත් අතර වැය කරන අතර මාලදිවයිනට පැමිණෙන සංචාරකවෙක් දිනකට ඩොලර් 450ක් පමණ වැය කරන්නේ. මේ අගයන් දෙස බැලීමේ දී කලාපීය තරඟකරුවන් අතර ශ්‍රී ලංකාව මාලදිවයිනට පසුපසින් සහ සෙසු රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින්නේය.

එපමණක් නොවේ, සංචාරක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව කලාපීය වශයෙන් ද සංචාරකයෙක් සාමාන්‍යයෙන් යම්කිසි රටක රැඳී සිටින දින ගණන 08-10 අතර වන්නේය. මේ අගය ශ්‍රී ලංකාවට ද ආදාළ ය. මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය තුළ අග්නිදිග ආසියානු තරඟකරුවන් අතර සමාන තරඟකරුවෙක් වන බවයි.

  • සැබෑ ප්‍රශ්නය කුමක් ද ?

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය වන්නේ සංචාරකයෙක් මෙරට තුළ වැය කරන මුදල හෝ රැඳී සිටින දින ගණන නොව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ධාරිතාවය හෙවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිරිස කලාපීය වශයෙන් අඩු අගයක් ගැනීම තුළ බව Advocata පෙන්වා දුන්නේය.

තායිලන්තයට වාර්ෂිකව සංචාරකයින් මිලියන 30ක්, වියට්නාමයට මිලියන 15ක්, බාලිවලට මිලියන 06ක් පමණ සංචාරකයින් පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ එම අගය මිලියන 02කි. එය කලාපීය වශයෙන් ඉතා අඩු අගයකි. මෙහි දී ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණ දෙන්නේ. ඒ ශ්‍රී ලංකාවට නැවත නැවත පැමිණෙන සංචාරකයින් පිරිස සෙසු කලාපීය රටවලට වඩා අඩු අගයක් ගැනීමය. ලංකාවේ මේ අගය 18%කි.

“මෙයින් අදහස් වෙන්නේ ලංකාව සංචාරය කිරීමට සුදුසු රටක්, නිවාඩුවක් ගත කිරීමට සුදුසු රටක් ලෙස සන්නාමකරණය නොවීමයි. ලංකාවට බොහෝ සංචාරකයින් පැමිණෙන්නේ ‘එක් වරක් අත්දැකීමක් ලබා ගැනීමට”යි.” Advocata පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් ලෙස Advocata හේතු කිහිපයක් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොවීම හෙවත් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස සන්නාමකරණය නොවීම මේ අතර ප්‍රධානවේ. ඊට අමතර 2018 සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රකාශයට පත්වන ප්‍රවෘත්ති බොහෝ විට සංචාරක ව්‍යාපාරයට හිතකර ඒවා නොවේ. විශේෂයෙන් ස්වභාවික ව්‍යසන සහ ජනතාව සම්බන්ධ වෙනත් ඍණාත්මක ප්‍රවෘත්ති මේ අතර ප්‍රමුඛ විය.

“2019 පාස්කු දින ප්‍රහාරයේ සිට පසුගිය දිට්වා සුළි කුණාටුව දක්වා අපේ රට ගැන එළියට ගියේ ඒ තරම් හොඳ ප්‍රවෘත්ති නොවෙයි. මේ නිසා නිවාඩුවක් ගත කිරීමට සුදුසු රටක් ලෙස සංචාරකයින් අපේ රට නොදකින්න ඇති. මේක ක්ෂණිකව වෙනස් කරන්න අසීරු වුණත් කාලයත් එක්ක මේක වෙනස් කර ගන්න අපි පියවර ගත යුතුයි” Advocata අවධාරණය කළේය.

  • අපේක්ෂිත ඉලක්ක කරා යා නොහැකි ඇයි ?

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අපේක්ෂිත ඉලක්ක කරා රැගෙන යාම අභියෝගාත්මක කරුණක් බව පැහැදිලිය. එහෙත් ගැටලු සහ අභියෝග හඳුනා ගැනීම ඉදිරි පියවර ගැනීමට වඩාත් වැදගත්ය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ප්‍රමාණවත් පරිදි යටිතල පහසුකම් සංවර්ධනය නොවීම බව පොදු අදහසකි. ගුවන්තොටුපොළේ සිට ප්‍රමාණවත් හා දියුණු යටිතල පහසුකම්වල දුෂ්කරතාවට සංචාරකයින් මුහුණ දෙන බව පැහැදිලි හා පිළිගත් කරුණකි. එසේම බොහෝ සංචාරක ස්ථාන විදේශ සංචාරකයින්ගෙන් විශාල මුදලක් ප්‍රවේශ ගාස්තු ලෙස අය කළ ද එම ස්ථානවල ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නොතිබීම සංචාරකයින් මුහුණ දෙන සුලභ ගැටලුවකි. පොදු ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු සහ ප්‍රමාදයන්, සංචාරක ගමනාන්ත දෙකක් අතර ගමන් කිරීමට විශාල කාලයක් ගත වීම (මෙය කලාපයේ සෙසු රටවල්වලට සාපේක්ෂව විශාල කාලයකි), ඇතැම් සංචාරක ස්ථානවලට යාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මාසයක් වැනි කාලයක් දීර්ඝ කාලයක් ගත විම මෙරටට පැමිණෙන සංචාරකයින් මුහුණ දෙන සුලභ, ප්‍රධාන ගැටලු අතර වේ.

“අපේ රට කුඩා රටක් වුණාට රට ඇතුළේ සංචාරය කිරීමට ගත වන කාලය වැඩියි. ඒක කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව විශාල කාලයක්” Advocata පෙන්වා දුන්නේය.

  • සංචාරකයින්ට සිදුවන පීඩා

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට, විශේෂයෙන් කාන්තාවන්ට විවිධාකාරයේ පීඩාවන්ට මුහුණ දීමට සිදුවීම බරපතළ තත්ත්වයකි. පසුගිය දිනවල නවසීලන්ත ජාතික කාන්තාවකට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් අත්විඳීමට සිදු වූ හිංසනය ලෝකය පුරා වයිරල් විය. මේ අතර ඇතැම් සංචාරක මගපෙන්වන්නන් සංචාරකයින් මුලා කිරීම, රැවටීමට ලක් කිරීම සහ ගසා කෑම ද මෙරට සංචාරක ව්‍යාපාරයට බරපතළ හානියක්, කළු පැල්ලමක් එක්කර තිබේ. මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් එල්ල වන පීඩනය සංචාරක ව්‍යාපාරයට කිසිසේත් යහපත් නොවන බව Advocata හි අදහස ය.

“සංචාරකයෙක්ට මීටර් 200ක්වත් පයින් යන්න බැහැ, ත්‍රිරෝද රථ හිමියෝ ඔවුන්ට විවිධාකාරයෙන් බාධා කරනවා, බලපෑම් කරනවා. මේක කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි” Advocata යළි අවධාරණය කළේය.

මෙම ඍණාත්මක තත්ත්වයක් ක්ෂණිකව විසඳා ගත නොහැකි වුව ද සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයක්, දියුණුවක් අපේක්ෂා කරන්නේ නම් මෙම සුලබ ගැටලුවට කඩිනමින් විසඳුම් සෙවිය යුතු බව ඔවුන් පෙන්වා දුන්නේය.

“මේවා සරල දේවල් ලෙස පෙනුනත් ඒවා සංචාරක ව්‍යාපාරයට කරන හානිකර බලපෑම කිසිසේත් සුළුවෙන් සැලකිය යුතු නැහැ. ඉස්සර වාගේ නෙමෙයි අද මේ වගේ කුඩා සිදුවීමක් වුණත් සමාජමාධ්‍ය හරහා වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා” යැයි පෙන්වා දුන් ඇඩ්වකාටා තවත් සුවිශේෂ කරුණක් ද හෙළි කළේය.

“Z පරම්පරාවේ සංචාරකයින්ගෙන් 90%ක්ම තමන් සංචාරය කළ යුතු රට හෝ ස්ථානය තෝරා ගන්නේ සමාජමාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර අනුව කියලා මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. මේ ගැන අපි වඩාත් සංවේදී විය යුතුයි” ඇඩ්වකාටා පෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන නවතම ගැටලුවක් වන්නේ සංචාරක ව්‍යාපාරය බහුලව සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව විවිධ කල්ලි බිහිවීම සහ ඔවුන් විසින් එහි පාලනය පවත්වා ගෙන යාමය. විශේෂයෙන් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ බලපෑම මේ අතර ප්‍රබල වෙමින් තිබෙන අතර එය කිසිසේත් යහපත් ප්‍රවණතාවක් නොවන බව ඇඩ්වකාටා අවධාරණය කළේය.

  • ප්‍රවණතා ගැන අනවබෝධය

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කාලීන ප්‍රවණතා කිහිපයකට මුහුණ දෙමින් සිටින නමුත් අදාළ පාර්ශ්ව මේ ප්‍රවණතා නිවැරදිව හඳුනා ගෙන නොමැති බව ඇඩ්වකාටා පෙන්වා දුන්නේය. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතර වයස අවුරුදු 30-40 වයස් කාණ්ඩය නියෝජනය කරන අතර ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදි හඳුනා ගෙන ඒවාට ආමන්ත්‍රණය කිරීමෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකිය. එහෙත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් තවමත් අවධානය යොමු කරන්නේ ගුවන් තොටුපොළේ සිට සුඛෝපභෝගී බසයක නංවා ගෙන තරු හෝටලයකට රැගෙන ගොස් අධි සුඛෝපභෝගී බස් රථවලින්ම ර ටවටා සංචාරය කරන සංචාරකයින් වෙත බව කී ඇඩ්වකාටා එවැනි සංචාරකයින් යම් පිරිසක් ලංකාවට පැමිණිය ද (විශේෂයෙන් එංගලන්තය, ප්‍රංශය සහ ජර්මනියෙන් පැමිණෙන වයස අවුරුදු 60-70 වයස් කාණ්ඩය) එම පිරිස ඉතා කුඩා බව ද පෙන්වා දුන්නේය.

“නමුත් අපේ රටට පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතර වයස අවුරුදු 50ට අඩු අය. ඔවුන් කැමැතියි තමන්ගේම අත්දැකීම් ලබා ගන්න, විවිධ ක්‍රියාකාරකම් කරන්න, ඒ වගේම ඔවුන් මුදල් සම්බන්ධයෙන් අති සංවේදීයි. ඔවුන් ඔවුන්ගේ මුදල් සන්නාමවලට, අධි සුඛෝපභෝගී භාණ්ඩ හා සේවාවලට වැය නොකර අත්දැකීම්වලට වියදම් කරන්න කැමැතියි. ඒ වගේම ඔවුන්ගේ ප්‍රවණතා වෙනස්, අපි මේවා නිවැරදිව හඳුනා ගත යුතුයි”

මෙහිදී මෙරට පැමි‍ණෙන සංචාරකයින්ට ගුවන්තොටුපොළේදීම ත්‍රිරෝද රථ පැදවීම සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ යෝජනාවට ඇඩ්වකාටා සිය සහය පළ කළේය. ඔවුන් පෙන්වා දුන්නේ මෙම පියවර අපි නොගන්නේ නම් තරඟකාරී රටක් ඒ පියවර ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවට අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

  • පොහොසත් සංචාරකයෝ අපට අකැපද ?

ශ්‍රී ලංකාවට දුප්පත් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම වෙනුවට වඩාත් ධනවත් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට නොහැකි මන්දැයි යන සුලභ විවේචනයට පිළිතුරු වශයෙන් ඇඩ්වකාටා පෙන්වා දුන්නේ ‘එය වාසිදායක තීරණයක් නොවන බවයි’.

“පොහොසත් සංචාරකයෝ ඉන්නවා, නමුත් රටක ආර්ථිකයට බලපෑම් කළ හැකි ප්‍රමාණයක් එතැන නැහැ, ඔවුන් ගෝලීය සංචාරක ව්‍යාපාරය තුළ ඉතාම කුඩා පිරිසක්” යැයි කී ඇඩ්වකාටා ලංකාව කිසිසේත් කුඩා ජනගහනයක් සහිත මාලදිවයින සමඟ නොසැසඳිය යුතු බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ දීර්ඝ කාලීනව තිරසර දියුණුවක් අපේක්ෂා කරන්නේ නම් සියලුම කණ්ඩවලට අයත් සංචාරකයින් ආකර්ෂණය කරගත යුතු බව ද ඇඩ්වකාටා පෙන්වා දුන්නේය.

“ඇත්තටම බැලුවොත් අපේ රටට එන්නෙත් හිඟන සංචාරකයෝ නොමෙයි, අපිටත් එන්නේ අනෙක් හැම රටකටම යන සංචාරකයෝ තමයි. අපි මේ කර්මාන්තය තුළ ඉහළට යන්න නම් මීට වඩා විවිධත්වය ප්‍රවර්ධනය කරමින් සංචාරකයින්ගේ අවශ්‍යතාවට ආමන්ත්‍රණය කළ යුතුයි. එසේ කළහොත් අපිට අපේ ඉලක්ක කරා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙයි”. Advocata පෙන්වා දුන්නේය.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 ජනවාරි 04 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website